තණ්හාව කියන එකේදී ගෑස් සභාපති ද දොස්තර මහත්තුරු ද කියලා වෙනසක් නෑ | සිළුමිණ

තණ්හාව කියන එකේදී ගෑස් සභාපති ද දොස්තර මහත්තුරු ද කියලා වෙනසක් නෑ

 ‘සරසවි ශිෂ්‍යයෝ කඳුළු ගෑස්වලට බය නෑ. දැක්කද?’

‘ඔව් කඳුළු ගෑස් උණ්ඩ අහුලලා ආපහු විසික් කරපු හැටි’

‘වතුර පාර කාගෙන ඉස්සරහට ගියේ පුදුම චිත්ත ධෛර්යයකින්’

‘බැටන් පොලූ පාර වදින කොට විතරයි චුට්ටක් බය වෙලා දුවන්න ගත්තේ’

‘ඒ බයට නෙමෙයි වතුර පාරට වඩා බැටන් පොලූ රිදෙන හින්ද’

‘සරසවි ශිෂ්‍යයෝ විතරයි පාරෙ හිටියේ. කෝ අර ඒ ගොල්ලන්ට මග පෙන්වන සපයන ජීඑම්ඕඒ වෛද්‍යවරු’

‘ඒ අය ප‍්‍රවෘත්ති සාකච්ඡාවලදි විතරයි වීරයෝ වෙන්නේ ’

‘සයිටම් නෙමෙයි කිසිම දෙයක් වෙනුවෙන් පරිප්පු කන්න ඒ අය ලෑස්ති නෑ’

‘සැපසේ කරන වීරකම් පමණයි’

‘ගොඩක් දොස්තර මහත්තුරුන්ට තේරෙන්නේ ලාභයයි සල්ලියි විතරයි.’

‘අනේ අර දුප්පත් ළමයි මැණිකක් අහුලාගන්නවා වගේ කඳුළු ගෑස් උණ්ඩ ආපහු උස්සලා විසික්කරන හැටි’

‘බළල්ලූ ලවා කොස් ඇට බාවනවා කියන්නේ ඕක තමයි’

‘ඒ කියන්නෙ?’

‘තමන්ගේ ප්‍රාඩෝවල ඒසීවල ඉඳගෙන කැම්පස් කොල්ලෝ ටික තමනගේ සටන වෙනුවෙන් කුලියට පාරට යවනවා’

‘කැම්පස් ළමයි එච්චර මෝඩ ද? එතකොට කොහොමද ඒ ලෙවල් පාස් වුණේ’

‘ඒක තමයි මාත් කල්පනා කරන්නෙ?’

‘ ඕනෑම බුද්ධිමතෙකු වුණක් කයිරාටියෙකුට පුළුවන් කඬේ යවන්න’

‘කඬේ යන්න ඕනෑම කෙනෙකුට මානව අයිතිවාසිකමක් තියෙනවා කියලා කියන්න පුළුවන් ද?’

‘එතකොට කඬේ යවන එකත් මානව අයිතිවාසිකමක්ද?’

‘ජීඑම් ඕඒ මහත්තුරු නම් එහෙම අයිතියක් තමන්ට තියෙනවා කියලා හිතනවා වගේ’

‘අනේ වැඩි තණ්හාව විනාසෙට මුල කියලා පෙන්නුවේ දොස්තර මහත්තුරු විතරක් නෙමෙයි’

‘එහෙනම්’

‘ඇයි වයිට් කොලරේ විදිහට බැංකු කඩන්න ගිය අය’

‘සල්ලි දැක්කාම අන්ධ වෙනවා කියන එකට හොඳම පාඩමක්’

’ඔව් සල්ලි නැති අයත් නෙමෙයිනේ. වැඩි තණ්හාව’

’ඇත්තටම වැඩි අපරාධ කරන්නේ සල්ලි නැති දුප්පත්තු නෙමෙයි. වැඩි තණ්හාව ඇති මුදල් ඇති අය’

’සමහර දොස්තර මහත්තුරුත් එහෙමද?’

’තණ්හාව කියන එකේ දි ගෑස් සමාගම් සභාපති ද දොස්තර මහත්තුරු ද කියලා වෙනසක් නෑ’

’අර හොඳෙට සල්ලි බාගේ තියෙන රේගු මහත්තුරුත් වැඩි තණ්හාවට කෝටි ගණන් පගා ගන්න ගිහින් හිරේ විලංගුවේ වැටෙන්නේ’

’එතකොට සරසවි ශිෂ්‍යන්ටත් වීරයෝ වෙන්න වැඩි තණ්හාවක් තියෙනවද?’

‘ඔව් වීරයෙක් වෙනවා කියන එක කඳුලූ ගෑස් උණ්ඩයක් උස්සලා ආපහු ගහනවා වගේ පහසු වැඩක් නෙමෙයි’

මගේ සිහිනය මහ පාරෙ අරගලයක සිර වී පැවතණි. මා සිටින්නේ සිසු අරගලයක් මැද මහ පාරෙ ද නින්දේ ද යන්න මම නොදනිමි. මහපාර ද සරසවි සිසුන් දකින සිහිනයක් යැයි මට සිතේ. හන්තාන කන්දට සේ ම කොළඹ ප්‍රධාන පාරවල්වලට ද ඔවුන් මහත් සේ ආදරය කරති. මාසකයට වරක් ඒවා අත්පත් කරගන්නේ ඒ නිසාය.

Comments