දෙමළ අභියෝගයට බියගුළු උත්තර සෙවීමේ ආනිසංශ | සිළුමිණ

දෙමළ අභියෝගයට බියගුළු උත්තර සෙවීමේ ආනිසංශ

 වාර්තාවන පරිදි මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් හතරක් මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවට අයත් වේ. ඒ අනුව ජනකපුර, කිරීබ්බන්වැව, නව ගජබාපුර හා ඇහැටුගස්වැව ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව තම ඡන්දය පාවිච්චි කර නියෝජිතයන් පත් කර යැවිය යුත්තේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවට ය.

එසේම වැලිඔය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉතුරු ග්‍රාම නිලධාරී වසම් පහ වන ගජබාපුර, කල්‍යාණපුර, ඇතාවැටුනවැව, නිකවැව දකුණ හා නිකවැව වම යන ග්‍රාම නිලධාරී වසම් වව්නියාව උතුර (නෙදුන්කර්නි) ප්‍රාදේශීය සභාවට ය. ඒ අනුව එම ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව තම ඡන්දය පාවිච්චි කර නියෝජිතයන් පත් කර යැවිය යුත්තේ වව්නියාව උතුර (නෙදුන්කර්නි) ප්‍රාදේශීය සභාවට ය.

එකම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක වාසය කරන ජනතාවට ප්‍රාදේශීය සභා දෙකකට තම නියෝජිතයන් පත් කර යැවීමට සිදුවීම සංකීර්ණ පරිපාලන ආරවුලකි. එසේම වැලිඔය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රාදේශයේ සාතිශය බහුතරය සිංහල ජනතාව වන අතර ඔවුන් දෙමළ බහුතරයක් වාසය කරන මුහුදු බඩ පත්තුව හා නෙදුන්කර්නි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි ඡන්දදායකයන් බවට පත් කිරීම ද අනවශ්‍ය ගැටළු මතු කරන්නකි.

වව්නියාව පරිපාලන දිස්ත්‍රික්කයට අයත් බෝගස්වැව ප්‍රදේශයේ අලුත් පදිංචිකරුවන්ට ද මෙවැනිම අභාග්‍යයක් උදා වී තිබේ. 2011 පමණ රාජපක්ෂ රෙජීමයේ මැදිහත්වීමෙන් ජනාවාස කළ බෝගස්වැව (i), නන්දිමිත්‍රගම, සැළලිහිණිගම, නාමල්ගම හා බෝගස්වැව (ii) යන ගම්මානයන් මේ වනවිට තමන් කුමන පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වන්නේදැයි නොදැන අසරණව සිටී. ඊට හේතුව රාජ්‍ය පරිපාලකයන්ගේ සහාය නොලබා මුළුමනින්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මහ වනය කපා ත්‍රිවිධ හමුදාවේ සහායෙන් මේ ජනපදකරණය කිරීමය. ත්‍රිවිධ හමුදාව පරිපාලන නීති ගැන නොතකමින් තමන්ට ලැබුන දේශපාලන අණ ක්‍රියාත්මක කරමින් තැන තැන කැළෑව කපා මිනිසුන් පදිංචි කර තිබේ.

එම ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනක මායිමක් නිසා බෝගස්වැව ප්‍රදේශය අයිති වන්නේ කුමන දිස්ත්‍රික්කයට ද කුමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ද කුමන ප්‍රාදේශීය සභාවට ද යන්න නිශ්චිත නැතිව මහජනතාව දැඩි දුෂ්කරතාවට වැටී සිටිති. මේ නිසා වව්නියාව උතුර (නෙදුන්කර්නි) ප්‍රාදේශීය සභාව, වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව හා පදවිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනයන් හතර අතර මෙම ජනතාවගේ ඡන්ද අයිතිය දෝලනය වෙමින් පවතී. බෝගස්වැව ප්‍රාදේශයේ ආසන්න ගමක් වන වෙහෙරතැන්න පදවිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බව දැනටමත් සොයාගෙන ඇත.

මේ සිංහලයන් අසරණ වී ඇතත් ඔවුන් මේ ජනශූන්‍ය ප්‍රදේශයන්හි පදිංචි කරවමින් ජනාවාස ඇති කළ දේශපාලනය නම් අහිංසක නැත. වැලිඔය ජනාවාස කිරීම ආරම්භ වූයේ අසූව දශකයේ මුල ය. එහිදී ඊට නායකත්වය දුන් සිංහල දේශපාලකයන්ගේ හා රජයේ ඉහළ නිධාරීන්ගේ අවශ්‍යතාව වූයේ යාන් ඔය නිම්නයේ සිට නෙදුන්කර්නි දක්වා සිංහල ජනතාව පදිංචි කර උතුරු හා නැගෙනහිර පළාත් අතර මිනිස් බැම්මක් බැදීමට ය. එමගින් දෙමළ විමුක්ති ව්‍යාපාරයෙන් එල්ල වූ මිලිටරිමය අභියෝගයට මුහුණ දෙන්නට ය.

දෙමළ ජනතාවට අයත් වූ කුඩා හා විශාල ගොවිපළවල් මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව තිබූ අතර 1965 දී ආණ්ඩුවෙන් අනූනව අවුරුදු කාලයකට බදු ගත් විශාල ගොවිපළ ද ඒ අතර විය. ඒවා අතර අක්කර දහයේ සිට පනහ දක්වා වූ වපසරියක ඉඩම් හිමිකරුවෝ ද වූහ. ඊට අමතරව විශාල වැවිලිකරුවන් ද වූ අතර ඔවුන් දහසයදෙනෙකුට අක්කර දහස ඉක්මවන ගොවිපළ හිමි විය. එවැනි විශාල ගොවිපළ අතර නාවලර්, සිලෝන් තියටර්, කෙන්ට්, රේල්වේ ගෘප්, පෝස්ට් මාස්ටර් ගෘප් හා ඩොලර් වැනි ගොවිපළ විය. මෙම ගොවිපළ වල මහන්සි වී කෘෂිකාර්මික කටයුතුවල නිරත වූයේ කන්ද උඩරට ජීවත් වූ එහෙත් 1977 වාර්ගික ගැටුම් වල දී අනාථ වූ ඉන්දියන් දෙමළ ජනතාව ය.

මේ විශාල ගොවිපළ සිංහල ජනපදකරණයට විශාල බාධාවක් බව පාලකයෝ කල්පනා කළහ.

අවසානයේ තීන්දු වූයේ ඔවුන් එළවා දමා තමන්ගේ උපක්‍රමික සැලසුම වූ යාන් ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. ඒ සදහා ශක්ති සම්පන්න ධෛර්යමත් ත්‍රාඩ සිංහලයන් අවශ්‍ය වූ බැවින් ඔවුන් තෝරා ගත්තේ බන්ධනාගාරවල දඩුවම් විදින සිංහල වරදකරුවන් ය. එක්තරා සැලසුම්ගත ක්‍රියාවලියකින් පසුව ඉන්දියන් දෙමළ ජනතාව නැවතත් කන්ද උඩරට එළවා දමමින් ඩොලර් හා කෙන්ට් ගොවිපළ විවෘත බන්ධනාගාර රැදවුම් භූමියක් ලෙස ප්‍රකාශ කරමින් ඒවායේ පෙර කී ත්‍රාඩ සිංහල රැදවියන් ස්ථාන ගත කළහ.

අතීත පාලකයන් ප්‍රශ්නයන්ට විසදුම් සෙවූ අන්දමින්ම රාජපක්ෂ යුගයේ දී ද විඳුම් සොයන්නට විය. ඔවුහු වව්නියාවේ බෝගස්වැව ප්‍රදේශයේ ජනපදකරණයක් ව්‍යාප්ත කරමින් රටේ නන්දෙසින් රැගෙන ආ මිනිසුන් එම ප්‍රදේශයේ පදිංචි කළහ. එම ප්‍රදේශයේ අතීත සිංහල ජනාවාස තිබුණා යැයි කියමින් සිදු කළ එම ජනපදකරණය නිසා විශාල පාරිසරික ගැටළු මෙන්ම පරිපාලන ගැටළු ද නිර්මාණය වී තිබේ. දේශපාලන අවශ්‍යතා මත සිදු කළ එම ජනපදකරණය නිසා කිසිම පහසුකමක් නොමැතිව එම සිංහල ජනතාව අපා දුක් විදිමින් සිටිති.

ජාතික ප්‍රශ්නයට ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙලකින් යුතුව මුහුණ දෙන්නට නොහැකිව පාලකයන් තෝරා ගත්තේ මිලිටරිමය හා වාර්ගිකව පිරිසිදු කිරීමේ උපක්‍රමයන් ය. එහෙත් ඒවායේ මුග්ධ බව නිසා වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ එම අදූරදර්ශී දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි අහිංසකයන් පිරිසකට ය. දේශපාලකයන්ගේ පටු දෘෂ්ටිය නිසා ඔවුහු දිගින් දිගටම පීඩා විදිමින් සිටිති. ජාතිකත්වයන් අතර සහජීවනය ඇති කිරීමේ දී ඉතිහාසයේ සිදුවූ මෙවැනි වරද නිවැරදි කිරීම ද අවශ්‍යයෙන්ම කළ යුතුය.

එවැන්නකින් තොරව ජාතික ප්‍රශ්නයට කල් පවත්නා විසඳුමක් සෙවීම අතිශය දුෂ්කර කටයුත්තකි.

අබරන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.