ඔන්ල­යින් ප්‍රේමය | සිළුමිණ

ඔන්ල­යින් ප්‍රේමය

 අකුරු හතරක් වචනයක් වී පුද්ගල හදවතේ ගැඹුරු ම තැන ස්පර්ශ වී නම් එය “ආදරය” යි. ලොකු, කුඩා, බාල, මහලු කොයි කාගේත් පුද්ගල සන්තානගත චෛතසිකයන් තුළ මුකුලිත වන ප්‍රේමය හරි පුදුමාකාරය. එය හරි සුන්දරය. ආදරයක පුද්ගලයකු ජීවත් කිරීමටත් ඔහුව මිය යෑමටත් අමුතු අද්විතී්‍ය බලවේගයක් ඇත.

මෙවන් වූ ආදරය වර්තමාන පෙම්වතුන් හැඳින සිටින්නේ ද යන්න මා හට පැනකි. ගෝලීයකරණය හා බැඳි වානිජමය ලෝකයක මුදල් පසුපස හඹා යමින් වර්තමාන මිනිසා “ප්‍රේමය” සොයයි. එහෙත් ඔහුට සැබෑ ප්‍රේමය හමුවේද? ඔහු හති වැටෙනවා මිසක ඔහුට හිමි යමක් වේද?

ඉස්සර පෙම්වතුන් ආදරය කළ අයුරු හරිම සුන්දරය. සඳ පායා එන ගොම්මන් වෙලාවට සුවඳ කොළ ගෙන, ඈත අහස දෙස බලමින්, තෙලිතුඩින් තම සුපෙම්වතියට නිදහසේ සිතට ගලා එන සියලු දේ ලීවේය. නැතිනම් කවියට නැගුවේය. එය පසුදා උදෑසන පොත් පිටු අතර සඟවාගෙන ගොස් සුපෙම්වතාට, සුපෙම්වතියට දෙන ලදී. මෙය හොර රහසේ සිදු වුණ ද හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කළ ‘ආදරය’ විය.

නමුදු අද වන විට පෙම් කවි කුරුල්ලන් එෆ්.බී. කුරුල්ලන් බවට පරිවර්තනය වී ඇත. සැඳෑ කළුවර දෙස බලමින් කවි මුමුණන, ලියවෙන වෙනුවට සිංග්ලීෂ් වර්ඩ් වලින් එස්.එම්.එස්. රජ කරයි. මේ අරුමය කිමෙක්ද?

දම්මි - සුගත්ගේ, නොරිකො - දෙවොන්දොරාසංගේ ආදරය අද වියැකී ගොස්ය. ඒ වෙනුවට

“ඩේටා වලින් හුස්ම ගන්න

බැටරියෙන් හදවත ගැහෙන

සයිබර් ලෝකෙක

දහසක් වුන් පිරිවරා

තනිවුන ජීවිත අතර

‘ඔන්ලයින් ප්‍රේමය’ රජ වී ඇත”

ඉස්සර සිතින් සිත යාවුණු ඒ ආදරය, ප්‍රේම වෘත්තාන්ත අද ‘ඔන්ලයින් ප්‍රේමය’ වී අවසන, කාමරයක සුණු විසුණු වී යයි. අප පැතූ අප සෙවූ සැබෑ ආදරය මෙය වේද? ගතින් නොබැඳුණ ද සිතින් බැඳුනු ආදරය සැබෑ ප්‍රේමය නොවෙද? එසේ වී නම් හපොයි! අද රටට වී ඇති හදිය කුමක්ද?

“හායි ස්වීට් හව් ආ යූ” යන පොෂ් වචන, පොර ටෝකින් සහ හයිෆයි ලුක් එක සමඟින් එස්.එම්.එස්. මෙහෙන් එහෙටත්, එහෙන් මෙහෙටත් ක්ෂණිකව හුවමාරු වේ. පෙම්වතා පෙම්වතිය කාගේ කවුරු වුවද, ඔවුන් නොදැකපු අය වුවද කම් නැත. ඔවුනොවුන් ඔන්ලයින් මඟින් ඔවුනොවුන්ගේ ලයිෆ් එක ම වී ඇත. ප්‍රේමය අන්ධ වී ඔන්ලයින් පෙම්වතා හෝ පෙම්වතිය සමඟ මාලය උකසට තබා ජීවිතය බෙදා ගන්නට තරම් වර්තමාන ප්‍රේම කුරුල්ලන් අසරණ වී ද, මෝඩ වී ද, නැතිනම් උන්මන්තකයින් වීද, යන්න සිතීම බැරෑරුම් ප්‍රශ්නයකි. මෙවැනි කරුණු කාරණා අපට නිරන්තරයෙන් ජනමාධ්‍ය හා සමාජමාධ්‍ය හරහා අසන්නට, දකින්නට ලැබීම අද වන විට සාමාන්‍යකරණය වී ඇත. විටෙක මේ ඔන්ලයින් ප්‍රේමය වර්තමාන තරුණ තරුණියන්ට ජීවන ජීවිතයේ අවසානය පවා අභාග්‍ය ලෙස උදාකර දෙන්නේය.

එදා සුවඳ පිටු අතර සෙමින් ලියා, හොර රහසේ දුන් සුවඳ හසුන පෙම්වතුන්ට මහමෙරක් විය. එය විටෙක දුක් කඳුළු හෝ සතුටු කඳුළු පිරි තොටුපළක් විය. නමුදු දැන් මෙය වර්තමාන තරුණ තරුණියන්ට හාස්‍යය උත්පාදන කාරණයකි. එදා පොත්වල පිටු අතරින් සුවඳ හසුන් මාරු වූ අතර අද පොත්වල පිටු අතරින් දුරකථනය රඳවා එස්.එම්.එස්. යවන කාලයක් උදාවී ඇත. කාලය අරුමය. නමුදු එය කරුමය ද යන්න මම නොදනිමි .

“නෝ ජෝකින්ග් බට් ෆීලීංග්”

“වයි ඩාර්ලිං නොට් ලීවිං”

“සෝ හොට් බඩී ලව් යූ මගේ මැණික”

යන ආදර හැඟුම් දුරකථනයේ එස්.එම්.එස්. අතර උඩු දුවයි. බො‍‍හෝවිට මේ ආදර හැඟුම් මුමුණනුයේ කෙදිනකවත් ජීවිතයට නොදැකපු පෙම්වතුන්ය. නමුත් හසුන් අතර රැඳි ආදරය මෙන් නොව නොදැකත් ළඟින් ම ද‍ැනෙන ලෙස චැට් කරයි. සතියකින්, දෙකකින් ඔවුන් මුණ ගැසෙයි. ඉන්පසු ඔන්ලයින් වන මුකුලිත වූ ප්‍රේම වෘත්තාන්තය කාමරයක මිලින වී යයි. ඉන්පසු ඔවුනොවුන් සොයා ගැනීමට පවා නොහැකි වේ.

අතීතයේ වෙරළ ඉමේ, වෙල්යායේ, වැට අද්දර, දොළ අද්දර හෝ වැව් ඉස්මත්තේ හිඳ දෑත් දෙනෙත් පටලා මිමිණු ආදරය, පාසලේ සුදුපාට රැළි ගවුම අතර සැඟවුණු ආදරය නැතිනම් සුන්දර පාසල් ප්‍රේමය අද කොයි ද? අද ඒවා මියැදී ගොස් ද? ඒ වෙනුවට ‘ඔන්ලයින් ප්‍රේමය’ ආක්‍රමණය කර ඇත්ද?

“නොදැකත් ළඟින් දැනෙනවා චැට් කරන නිසා

ඉස්සර පෙම්වතුන් දැන් ඔන්ලයින් වෙලා”..... 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.