සෝමා­ලි­යානු ජන­තාව ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව වීදි බසිති | Page 2 | සිළුමිණ

සෝමා­ලි­යානු ජන­තාව ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව වීදි බසිති

සෝමාලියාවේ පසුගියදා සිදුවූ අති ප්‍රබල බෝම්බ පිපිරීමෙන් පසුව මහත් කම්පනයට පත් වූ එරට ජනතාව සති අන්තය වන විට සිය දහස් ගණනින් වීදි බැස ත්‍රස්තවාදයට විරෝධය පළ කර තිබේ. මේ බෝම්බ පිපිරීම පසුගිය 14වැනි සෙනසුරාදා සිදු වූ අතර ප්‍රහාරයට ලක්ව මියගිය සංඛ්‍යාව හාරසීයකට අධික බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

සෝමාලියාවේ අගනුවර නවතා තිබූ ට්‍රක් රථයක සහ තවත් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක මේ බෝම්බ අටවා තිබූ අතර මේ පිපිරුම් දෙකම අධි බලැති පිපිරුම් ලෙස සඳහන් විය. ට්‍රක් රථයේ අටවා තිබු බෝම්බය කිලෝ ග්රෑම් 350කට අධික බව වාර්තා විය. වෑන් රථයේ වූ බෝම්බය දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කරවූ බව සෝමාලියානු පොලීසිය සැක පහළ කර තිබේ.

මේ බ‍ෝම්බ පිපිරීම් හේතුවෙන් අති විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ අතර එය සෝමාලියාව පමණක් නොව මුළු ලෝකයම කම්පාවට පත් කරවන සුළු විය. හාරසීයකට අධික වූ මියගිය පිරිස අතරින් මළ සිරුරු 350ක් පමණ හඳුනාගෙන අැති අතර තවත් සිරුරු 160ක් හඳුනා ගැනීමට නොහැකිවූවන් ලෙස සලකා වළ දමා තිබේ.

මේ පිපිරීම් දැනට කලාපයේ ක්‍රියාත්මක අල් ෂබාබ් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස හඳුනා‍ගෙන ඇති නමුත් මේ ත්‍රස්තවාදී කණ්ඩායම මේ දක්වා බෝම්බ පිිපිරීමේ වගකීම බාර ගෙන නැත.

කෙසේ වුවද පිපිරීමෙන් සිදු වූ මහා ව්‍යසනයෙන් කම්පාවට පත් සෝමාලියානු ජනතාව සති අන්තය වන විට වීථි බසිමින් ත්‍රස්තවාදයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන්නට වූහ. එහිදී උද්ඝෝෂකයන් අතරින් වැඩි පිරිසක් රතු පැහැති ඇඳුමෙන් සැරසී හෝ රතු පැහැ පටි අත්වල හෝ හිස‍ේ ගැටගසා ගනිමින් විරෝධතාවට එක් වූ බව වාර්තා විය.

ත්‍රස්තවාදය ලෝකයේ බොහෝ රටවලට හිසරදයක් වී ඇති මෙවන් මොහ‍ොතක පොදු ජනතාව තුළින්ම එයට විරෝධය එල්ල වීම සැලකිය හැකි වන්නේ ධනාත්මක කරුණක් ලෙසිනි. ඒ මන්ද යත් පොදු ජනතාව අන් කිසිම යුද හමුදාවකට වඩා ප්‍රබල ‍වන බැවිනි.

හමුදාවකින් එල්ල වන ප්‍රහාරවලට වඩා පොදු ජනතාව අතරින් ප්‍රතික්ෂේප වීම සිදුවන්නේ නම් කිසිම ත්‍රස්ත සංවිධානයකට කිසිම රටක් තුළ සාර්ථකව ක්‍රියාත්මක වීමට නොහැකි වන බැවිනි.


මාර්ෂල් දූපත් අසල මුහුදේ ගුවන් යානා සොහොනක්

මාර්ෂල් දූපත් අසල මුහුදේ සැතපුම් පහක පමණ ප්‍රදේශයක තිබී මුහුදට කඩා වැටුණු ගුවන් යානා මහත් රාශියක් සොයා ගැනීමට මුහුද යට ඡායාරූප ගැනීමේ නිරත වන ඡායාරූප ශිල්පිනියක් සමත් වී තිබේ. බ්‍රැන්ඩි මුලර් නම් වන ඇය කුඩා කළ සිටම දිය යට ඡායාරූප ගැනීමේ නිරත වූ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පිනියකි. ඇය විනෝදාංශයක් ලෙස නවසීලන්තය, තස්මේනියාව, මාර්ෂල් දූපත්, බහමාස් දූපත් සහ කොස්ටරිකාව අසල මුහුදු පත්ලේ ඡායාරූප ගැනීමේ නිරත වී තිබේ. මේ ගුවන් යානා ඇයට දක්නට ලැබී ඇත්තේ එලෙස ඡායාරූප ගැනීමේ නිරත වී සිටියදීය.

මේ ඡායාරූප ප්‍රදර්ශනයට තැබීමත් සමග ඇයට මහත් අවධානයක් හිමි වූ අතර මේ ඡායාරූප ලොව පුරා අගය කිරීමටද ලක් විය. ඇය එහිදී පවසා ඇත්තේ මුහුදු පත්ලෙන් අති විශාල ප්‍රදේශයක් ගිලී ගිය නෞකා සහ ගුවන් යානාවල යකඩවලින් වැසී ඇති බවයි.

විශේෂයෙන්ම මාර්ෂල් දූපත් අසල තිබූ සොයා ගැනීමට හැකි වූ ගුවන් යානා සොහ‍ොන ගැන සඳහන් කළ මුලර් පවසා ඇත්තේ මේ ගුවන් යානා දෙවැනි ලෝක යුද්ධ සමයේදී මුහුදට කඩා වැටුණු ගුවන් යානා බවයි. ඒ අතර අමෙරිකා ගුවන් හමුදාවට මෙන්ම ජපාන ගුවන් හමුදාවටද අයත් යානා ඇති බවට සාක්ෂි ඇයට හමු වී තිබේ. මේ ගුවන් යානා ඉතා විචිත්‍රවත් ලෙස මුහුදු පත්ලේ තැන්පත් වී ඇති බව ඇයගේ ඡායාරූපවලින් සනාථ වූ අතර මේ යානා අතරින් බහුතරය මේ වන විට විවිධ මුහුදු ජීවින්ගේ නිවාස බවට පත්ව මුහුදු පත්ල සුන්දර කරමින් පවතින බවද ඇයගේ ඡායාරූපවලින් සනාථ වී තිබේ. 

Comments