අධිවේගයෙන් යා යුතු මධ්‍යම අධිවේගය | සිළුමිණ

අධිවේගයෙන් යා යුතු මධ්‍යම අධිවේගය

 මෙරට බලයට පත් සෑම රජයකම ප්‍රධාන ඉලක්කය වුයේ මෙරට ආර්ථික සංවර්ධනය කලාපයේ ඉහළම ස්ථානයකට ගෙන ඒමයි. ඒ උදෙසා විවිධාකාර සැලසුම් හා ව්‍යාපෘති රාශියක් ඉතිහාසය පුරා ක්‍රියාත්මක කෙරෙණි. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීම, මහවැලි ව්‍යාපාරය, ජල විදුලි බලාගාර ව්‍යාපෘති,ඇගලුම් කම්හල් ඇතුළු අපනයන කලාප,නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යපෘති මෙරට ජපන් රජයන් එලෙස ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතර කැපී පෙනේ එලෙස නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ශිඝ්‍ර ආර්ථීක වර්ධනයක් කරා ගෙන යෑමේදී මුහුණ පෑ බාධකයන් කිහිපයක් මෙරට ආර්ථික විද්වතුන් විසින් හඳුනාගනු ලැබුණා විශේෂයෙන් අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට සිමා වු ප්‍රධාන කර්මාන්ත කලාපයන්, ඒ රටේ අනෙකුත් ප්‍රදේශවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට තිබු විවිධ බාධාවන් වැනි හේතු රැසක් එහිදී හඳුනාගනු ලැබුණා.

එවන් කරුණු රැසක් වෙත අවධානය යොමු කිරීමේදී රට පුරා විහිදුනු දියුණු මාර්ග පද්ධතියක වැදගත්කම මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රබලතම සාධකයක් විය. රට පුරා විවිධ ප්‍රදේශවල සිදුකෙරෙන කෘෂිකාර්මික, අපනයන, වෙ‍ෙළඳ නිෂ්පාදනයක් අගනුවර ඇතුළු ඉල්ලුම පවතින අනෙකුත් ප්‍රදේශ වෙත ආරක්ෂිතව හා කඩිනමින් ප්‍රවාහනය කිරිම, වරාය, ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අවශ්‍ය අවස්ථාවේදී යොමුකිරිමට ප්‍රවාහන පද්ධතිය අතිශයින් වැදගත් මෙහෙවරක් සිදුකරනු ලැබේ.

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් මෙරට ප්‍රධාන පළාත් යා කෙරෙමින් අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරිමේ සැලසුම් සකස් වුයේ බොහෝ කලකට ඉහතය. 2001 වසරේ මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව මුල්වරට යෝජනාවක් ඉදිරිපත් වුයේ එත්සත් ජාතික පක්ෂ රජය සමයේදීය. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මැලේසියානු ආයෝජකයෙකුද ඉදිරිපත් වුවද එවකට සිදුවු දේශපාලන බල පෙරලිය හේතුවෙන් එම වටිනා අවස්ථාව මඟහැරිනි.

පසුව ඉදිවු දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය හේතුවෙන් මෙරට ආර්ථිකයට ලැබෙන්නේ විශාල දායකත්වයකි. ඒ අනුව යමින් රටේ අනෙකුත් පළාත් කරාද අධිවේගී මාර්ග ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කරනු ලැබුහ. 2015 වසරේ ඇති වු බල පෙරලියත් සමඟ නතර වී තිබු කොළඹ -නුවර අධිවේගී මාර්ගයේ හා උතුරු අධිවේගී මාර්ගයේ විෂය පථයන් ඒකාබද්ධ කරමින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කිරිමට පියවර ගනු ලැබුණි. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය මඟින් කොළඹ හැරුණු විට ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර යන දිස්ත්‍රික්කවල ජනතාවට අත්වන්නේ වීශාල ආර්ථික හා සාමාජිය දියුණුවකි. ඉදිරියේදී මහනුවර කේන්ද්‍ර කරගත් විශේෂ සංචාරක කේන්ද්‍රස්ථානයක්, කෘෂි තාක්ෂණීක සංවර්ධන ව්‍යාපෘතියක්, තොරතුරු තාක්ෂණ උද්‍යානයක් මෙන්ම ජපානය යෝජනා කර තිබෙන කර්මාන්තපුරය ද මහනුවර ප්‍රදේශයේ ස්ථාපනය කිරිමට නියමිතය. මෙම සෑම දැවන්ත ව්‍යාපෘතියක් උදෙසාම මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිවීම තුළින් හිමිවන්නේ ප්‍රබල පිටුවහලකි.

විශේෂයෙන් ආර්ථික වශයෙන් සහල්, පොල් ඇතුළු කෘෂි නිෂ්පාදන රැසක් සිදුකෙරෙන කුරුණෑගල වැනි ප්‍රදේශවල නිෂ්පාදන අගනුවරටත්, මහනුවර හරහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙතත් ප්‍රවාහනය කිරීමට ගතවු දීර්ඝ කාලය අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ ඉතා සුළු කාලයකට සීම‍ා වනු ඇත.

එසේම රටේ ප්‍රධානතම කෘෂි වෙළඳ මධ්‍යස්ථානයක් වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයක් වෙත උඩ රට ඇතුළු අනෙකුත් ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන එළවළු, පලතුරු වේගවත්ව ප්‍රවාහනය කිරීමට හැකිවීම තුළින් ගොවිජනතාවටත්, පාරිභෝගිකයන්ටත් හිමිවන්නේ වීශාල වාසියකි. දෛනිකව විවිධ අවශ්‍යතා වෙනුවෙන් සහ රැකියා සඳහා මෙම ප්‍රදේශවලින් අගනුවරට හා අනෙකුත් ප්‍රදේශවලට පොදු ප්‍රවාහන සේවා සහ පෞද්ගලික වාහන මඟින් පැමිණෙන ජනතාවට ඒ සඳහා ගතවු කාලය හරි අඩකට වඩා අඩුකරගැනීමේ හැකියාව අධිවේගී මාර්ගය මඟින් හිමිවේ.

මේ වන වි‍ටත් ව්‍යපෘතියේ ඉදිකිරිම් ක්‍රියාත්මක වන කඩවත-මීරිගම, මීරිගම - කුරුණෑගල අදියරයන්හි ඉඩම්වල වටිනාකම ඉතා ශිඝ්‍රයන් ඉහළ ගොස් ඇත. මෙරට පැමිණෙන විදේශීය සංචාරකයන් අතර ජනප්‍රියතම සංචාරක ගමනාන්තයක් වන මහනුවර ලෝක උරුම නඟරයට හා ඒ අවට සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශයන්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටද අධිවේගී මාර්ගය මගින් වාසියක් හිමි වේ.

බෞද්ධ බහුතරයක් ජනතාව වෙසෙන ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල සිට මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව ඇතුළු සිද්ධස්ථාන වන්දනා මාන කිරිමට දිනපතා වීශාල පිරිසක් පැමිණෙන අතර ඒ සඳහා ඔවුන්ට ගතවන කාලය අවම කිරිම මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බලාපොරාත්තුවකි.

Comments