ප්‍රතිසන්ධිය සහ ධර්මාවබෝධය අතර බැඳීම | සිළුමිණ

ප්‍රතිසන්ධිය සහ ධර්මාවබෝධය අතර බැඳීම

 සිදු කරන ලද කුසලයන් පාදක කොටගෙන එයට අනුරූපීව උපදවන ලද ප්‍රතිසන්ධීන්හි ස්වභාවය පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලදි. එසේ කර්මයට අනුව උපදවන ප්‍රතිසන්ධිය ධර්මය අවබෝධ කිරීම සඳහා කවර ආකාරයේ දායකත්වයක් සපයන්නේ ද යන්න මෙහි දී සාකච්ඡා කළ යුතු වැදගත් ම කරුණකි. කර්මයේ දුබල සහ ප්‍රබල ස්වභාවය අනුව ප්‍රතිසන්ධිය ත්‍රිවිධාකාර වන අයුරු සාකච්ඡා කොට ඇත. ඤාණසම්ප්‍රයුක්ත වූ ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකි. අමෝහය යන නාමය ධර්මය තුළ භාවිත කරනුයේ ප්‍රඥාව සඳහා ය. ප්‍රඥාව නොයෙදුණු සිත ඤාණවිප්පයුත්ත සිතකි. ඤාණවිප්පයුත්ත සිතින් ගෙන දුන් ප්‍රතිසන්ධිය මේ ජීවිතයේ දී ධර්මාවබෝධය ලැබීමට සමත් බවක් නොදක්ව යි. ඤාණසම්ප්‍රයුත්ත හෙවත් ප්‍රඥාව යෙදුණු සිතින් ගෙන දුන් ප්‍රතිසන්ධිය ම ධර්මාවබෝධය ලැබීමට සමත් බවක් දක්වයි. මෙම කරුණු මෙවැනි ආකාරයෙන් සිදු වනුයේ කවර හේතූන් පාදක කොටගෙන ද යන්න විමසිය යුතු ය. විශේෂයෙන් ම ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය පමණක් ධර්මය අවබෝධයට උපකාරී වනුයේ කවර හේතූන් නිසා ද යන්න නුවණින් අවබෝධ කළ යුතු කරුණකි.

මනුෂ්‍ය භවය

පසුගිය ලිපියෙහි ද්විහේතුක ප්‍රතිසන්ධි දෙකක් පිළිබඳ විග්‍රහ කොට ඇත. ත්‍රිහේතුක ඔමක කුසලයෙන් ලබාදෙන ද්විහේතුක ප්‍රතිසන්ධිය හා ද්විහේතුක උත්කෘෂ්ට කුසලයෙන් ලබා දෙන ද්විහේතුක ප්‍රතිසන්ධිය වශයෙනි. මේ ප්‍රතිසන්ධි දෙක ම ද්විහේතුක වුව ද සමාන නොවන බව තේරුම්ගත යුතු ය. ත්‍රිහේතුක ඔමක කුසලයෙන් ලබා දෙන ද්විහේතුක ප්‍රතිසන්ධිය ද්විහේතුක උත්කෘෂ්ට කුසලයෙන් ලබා දෙන ද්විහේතුක ප්‍රතිසන්ධියට වඩා බොහෝ උසස් බව තේරුම් ගත යුතු ය. මනුෂ්‍ය ලෝකයේ අහේතුක ප්‍රතිසන්ධි ලබා දෙනුයේ ද්විහේතුක ඔමක කුසලයේ විපාකයක් වශයෙනි. උපතින් අන්ධ, ගොළු, බිහිරි, මන්ද බුද්ධික ආදි විවිධ දුර්වල පුද්ගලයින් දකින කළ බොහෝ දෙනා ඔවුන් අකුසලයකින් මේ ලෝකයේ උපන් අය බව සාකච්ඡා කරති. එය අසත්‍යයක් බව මේ විග්‍රහයෙන් පැහැදිලි වේ. මනුෂ්‍ය භවය යනු කුසලයක විපාකයකින් ලැබෙන්නකි. යමෙක් මනුෂ්‍යයකු අකුසලයකින් මේ ලොව උපන්නේ යැයි පවසන්නේ නම් එය මුසාවක් බව පැහැදිලි වේ. එය ධර්ම විරෝධී ප්‍රකාශයකි. හේතුව නම් පුද්ගලයින්ට යම් යම් වැරදි සිදු වුව ද කර්මයට හෝ කර්ම විපාකයට කිසිදු වැරදීමක් සිදු නොවන හෙයිනි. ප්‍රතිසන්ධිය තේරුම් ගැනීමෙන් අනතුරුව ප්‍රතිසන්ධි සිත ධර්මාවබෝධය ලැබීමට හෝ නොලැබීමට හේතු වන්නේ කවර අයුරින් ද යන්න විග්‍රහ කළ යුතු වේ.

පුද්ගලයා

යමෙකු අවම වශයෙන් ප්‍රථමධ්‍යානය දක්වා හෝ සිත දියුණු කිරීමට නම් ඔහු ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකයකු විය යුතු ය. සිත දියුණු කිරීමට ප්‍රඥාව අවශ්‍යය වේ. ප්‍රඥාව අවම වන විට චිත්ත දියුණුව ද අවම ස්වභාවයක් ගනී. එයට හේතු කවරේ ද යන්න විමසිය යුතු ය. මෙම කරුණ තේරුම් ගැනීම සඳහා ප්‍රතිසන්ධිය ලැබීම සඳහා උපනිශ්‍රය වන කර්මය හා ද්විහේතුකාදි වශයෙන් කර්මය බෙදී යන ආකාරය පිළිබඳ නිරවුල් අවබෝධයක් පැවතිය යුතු ය. කර්මයේ ස්වභාවය නම් කර්මයට අනුරූපීවම විපාකයක් ලබා දීමය. එය බාහිර යම් කෙනකු විසින් සිදු කරන්නක් නොව කර්ම නියාමයට අනුව ම සිදු වන්නකි. ඤාණසම්පයුත්ත සිතකින් ලබා දෙනුයේ ඤාණසම්පයුක්ත වූ ප්‍රතිසන්ධියකි. ඤාණවිප්පයුත්ත සිතකින් ලබාදෙනුයේ ඤාණවිප්පයුත්ත වූ ප්‍රතිසන්ධියකි. යමෙකුට ප්‍රතිසන්ධිය ලැබීම සඳහා ඤාණසම්පයුත්ත සිතක් හේතු වී නම් ඔහුගේ භවය ඤාණසම්පයුත්ත වූවකි. එහෙයින් උපතින් ම හෙතෙම ප්‍රඥාවන්තයෙක් වේ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධික නාමයෙන් හඳුන්වනුයේ එසේ උපතින් ම ප්‍රඥාව හිමි වූවන්ට ය. යමෙකුට ප්‍රතිසන්ධිය සඳහා උපනිශ්‍රය වූයේ ඤාණවිප්පයුත්ත සිතක් නම් ඔහුට උපතින් ම ප්‍රඥාව යෙදී නැත. එසේ හෙයින් මේ ජීවිතයෙහිදි නාම, රූප, ස්කන්ධ, ධාතු ආදි ගැඹුරු ධර්මයන් අවබෝධ කළහැකි සියුම් ඥානයක් නොපවතී. ධ්‍යාන උපදවා ගැනීමට ද ඔහු අසමත් පුද්ගලයකු වේ. උපතින් හිමි වූ ඤාණවිප්පයුත්තභාවය මේ ජීවිතයෙහිදි නැවත වෙනස් කළ නොහැක. පුද්ගල වශයෙන් අප සම්මුති ව්‍යවහාරය තුළ සාකච්ඡා කළ ද සැබවින් ම පුද්ගලයා යනු නාමරූප ධර්ම පමණි. ඒ පිළිබඳ පසුව ගැඹුරින් කරුණු සාකච්ඡා කරනු ලැබේ. ප්‍රතිසන්ධිය ලැබූයේ පුද්ගලයකු නොව සිතකි. එම ප්‍රතිසන්ධි සිතේ පහළ වීම ම පුද්ගලයාගේ උපත වශයෙන් සම්මුතිය තුළ ව්‍යවහාර කරනු ලබයි. උපතින් හිමි වූ සිත නැවත මේ භවයේ වෙනස් කළ නොහැකි හෙයින් ත්‍රිහේතුක නොවන පුද්ගලයින් මේ භවය තුළ ධ්‍යාන මාර්ග ඵල දක්වා සිත දියුණු කිරීමට අභව්‍ය පුද්ගලයින් වේ. බුදු රජාණන් වහන්සේ මෙවැනි පුද්ගලයින් පිළිබඳ විවිධ පර්යායෙන් විග්‍රහ කොට ඇත. ධම්මපදය තුළ ඒ පිළිබඳ සාකච්ඡා කොට තිබෙන ගාථා දෙකක් සම්මුඛ වේ.

‘‘යාවජීවම්පි චෙ බාලො පණ්ඩිතං
පයිරුපාසති
න සො ධම්මං විජානාති දබ්බී
සූපරසං යථා’’

‘‘මුහුත්තම්පි චෙ විඤ්ඤූ පණ්ඩිතං
පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති ජිව්හා
සූපරසං යථා’’

(ධම්මපද පාළි, බාලවග්ගය, 38 පිටු.)

සැන්ද සහ දිව

ප්‍රඥාවක් නොමැති පුද්ගලයා තම ජීවිතය පුරා ප්‍රඥාවන්තයින් ඇසුරු කළ ද ඔහුට ධර්මය දත නොහැකි වෙයි. සූප ව්‍යංජන ආදි රසවත් දේ කොපමණ සැන්දෙන් පරිහරණය කළත් සැන්ද රස නොහඳුනනා සේය. එසේ ම ප්‍රඥාවන්ත පුද්ගලයකු සුළු මොහොතක් පණ්ඩිතයන් ආශ්‍රය කළේ වී නම් හෙතෙම ධර්මය වහා අවබෝධ කරගන්නේ ය. සූප ව්‍යංජනයන්හි රසයන් වහා දැනගන්නා දිව මෙනි. මෙහි දී ප්‍රඥාවක් නොමැති පුද්ගලයා උපමා කොට තිබෙනුයේ සැන්දකට ය. සැන්දට කෙසේවත් රසය නොදැනේ. ප්‍රඥාව නොමැති පුද්ගලයා තම ජීවිත කාලය පුරා ප්‍රඥාවන්තයින් අශ්‍රය කළ ද ධර්මය දැන නොගන්නේ කවර හේතූන් නිසාද යන්න ඉහත කරුණු අනුසාරයෙන් මනාව තේරුම්ගත හැක. ඔහුට උපතින් ප්‍රතිසන්ධි වශයෙන් ලැබුණු කර්මය දුර්වල කර්මයකි. එයින් ලබා දුන් ප්‍රතිසන්ධිය අහේතුක හෝ ද්විහේතුක වේ. එසේ දුර්වල ප්‍රතිසන්ධි ලබන තැනැත්තාට ප්‍රතිසන්ධි සිත වශයෙන් පහළ වූ සිතම ඒ ජීවිතය අවසානය දක්වා භවංග සිත වශයෙන් පවතී.

පටිසන්ධි භවංගඤ්ච -තථා වචන මානසං, එකමෙව තථෙචෙක - වසයඤ්චෙක ජාතියං

(අභිධම්මත්ථ සංගහ, 78 පිටු.)

භවංග සිතේ අරමුණ ද ප්‍රතිසන්ධි සිතේ අරමුණම ය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකයාගේ භවංග සන්තතිය අතිශයින් ම ප්‍රසන්න ය, පැහැදිලි ය. එම ප්‍රසන්න වූ චිත්තයට ගැඹුරු වූ ආරම්මණයන් ගැටේ. එයින් ඔහුට එම ධර්මතාවයන් දැන ගැනීමට හැකියාවක් ලැබේ. ඔහුගේ භවංග චිත්තය පිරිසුදු, කුණු දුහුවිලි නොබැඳුණු කැඩපතක් වැනි ය. පරිශූද්ධ ඔපයක් ඇති කැඩපතෙහි වස්තූන්ගේ ඡායාව මැනවින් දර්ශනය වේ. ත්‍රිහේතුකයාගේ භවංග චිත්තය ද එසේම ය.

අහේතුක, ද්විහේතුක ප්‍රතිසන්ධි මගින් ලබාදෙන භවාංග චිත්තය පැහැදිලි ගැඹුරු ආරම්මණයන් අරමුණු කළහැකි භවංගයක් නොවේ. ඥානවිප්පයුත්ත හෙයින් එය ත්‍රිහේතුක උත්කෘෂ්ට කර්මයෙන් ඇතිකරන භවාංග චිත්තයට වඩා දුර්වල ය. දූලි බැඳි ගිය කැඩපතක් වැනි ය. එයින් වස්තූන්ගේ ඡායාවන් නිවැරදි ආකාරයෙන් ගත නොහැකි ය. දුර්වල භවාංග චිත්තයෙන් ද ධර්මයන්ගේ සැබෑ ස්වභාවය අරමුණු කිරීමට සමත් බවක් නොදක්වයි. ප්‍රඥාවෙන් තොර පුද්ගලයා සැන්දකට උපමා කොට ඇත්තේ එහෙයිනි. ඔහුට කවරාකාරයකින් හෝ සිත දියුණු කළ හැකිනම් බුදුරදුන් එම පුද්ගලයා සැන්දකට උපමා නොකරනු ඇත. එය බුදුරදුන්ගේ දෝෂයක් නොව එය ධර්මතාව යි. ධර්මතාවයන්ගේ ස්වභාවය පිළිබඳ ගැඹුරු වූ තියුණු නුවණක් නැත්තෝ මෙය මේ ආකාරයෙන් ම තේරුම් ගැනීමට මැළි බවක් දක්වති. එය ද ඔවුන්ගේ ප්‍රතිසන්ධියේ දෝෂයක් ම විනා අන් කවරක් නොවේ.

සිතේ අරමුණ

ප්‍රඥාවන්තයා නුවණැත්තන් ආශ්‍රය කරනුයේ ඉතා සුළු කාලයක් වුව ද වහා ධර්මය දැන ගනී. ඔහු ව්‍යංජන රස වහා හඳුනන දිවට උපමා කොට තිබේ. ප්‍රඥාවේ ස්වභාවය මෙයින් මනාව ගම්‍ය වේ. පිරිසුදු භවාංග චිත්තයක් ඇති හෙයින් සියුම් නුවණ උපතින් ම පිහිටා ඇති බැවින් ධර්මයන්ගේ ස්වභාවය වහා දැන උසස් මානසික දියුණුවක් ලැබීමට එම ප්‍රඥාවන්ත පුද්ගලයාට හැකියාවක් ලැබේ. සත්ත්වයින්ගේ ප්‍රකෘති චිත්තය යැයි කියනුයේ ද මෙම භවාංග චිත්තයට ය. එය ඉතා පිරිසිදු වූ සිතකි. බුදුරදුන් සත්ත්වයින්ගේ සිත ප්‍රභාස්වර යැයි දේශනා කොට ඇත. එම ප්‍රභාස්වර වූ සිත ආගන්තුකව පැමිණෙන උපක්ලේශ හේතු කොටගෙන කිලිටි වන බව පෙන්වාදි තිබේ. සියලූ සත්ත්වයින්ගේ ම ප්‍රකෘති චිත්තය ප්‍රභාස්වර ය. අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක, අපාය, තිරිසන්, ප්‍රේත ආදි සියලූ ස්වභාවයන්ගෙන් යුක්ත සත්ත්වයින්ගේ ම ප්‍රකෘති චිත්තය ප්‍රසන්න ය, පරිශුද්ධ ය. එසේ වන්නේ කවර හේතූන් නිසාද යන්න විමසිය යුතු ය. ප්‍රතිසන්ධිය සිදු කරන සිත් 19 ක් ඇත. අහේතුක සිත්වල සඳහන් වූ කුසල විපාක උපෙක්‍ෂා සහගත සන්තීරණ සිත සුගති භවයෙහි අහේතුක ප්‍රතිසන්ධිය ලබා දෙයි. එම සිතෙන් මනුෂ්‍ය ලෝකයෙහි ජාති අන්ධ ආදි විවිධ දුර්වලතා සහිත අහේතුක ප්‍රතිසන්ධියක් උපදවයි. ඔවුන්ට ප්‍රතිසන්ධි, භවාංග, චුති වශයෙන් පවතිනුයේ ද එම සිතම ය. අකුසල විපාක උපෙක්‍ෂා සහගත සන්තීරණ සිත සතර අපායාදි දුගති ලෝකයන්හි අහේතුක ප්‍රතිසන්ධිය ලබා දෙයි. ඔවුන්ට ප්‍රතිසන්ධි, භවාංග, චුති වශයෙන් ඉදිරිපත් වන්නේ ද එම චිත්තය යි. මහාකුසල විපාක සිත් අට කාමාවචර ලෝකයන් තුළ ප්‍රතිසන්ධිය ලබා දේ.

දුක් නිවීම

ප්‍රතිසන්ධියේ දී ලැබූ සිත මුළු ජීවිතය පුරා බලපවත්වන හෙයින් සිත දියුණු කිරීම සඳහා ප්‍රතිසන්ධිය ඉතා වැදගත් වන අයුරු මින් ප්‍රකට වේ. එසේ හෙයින් සෑම කල්හි ම තම ජීවිතය තුළ උසස් වූ කුසලයන් ම සිදු කිරීමට නිරතුරුව උත්සහ කළ යුතු ය. එය සෑම අතින් ම සසර ජීවිතයට යහපත් සේ බලපානු ඇත. දුර්වල කුසල් සිදු කිරීමෙන් ඉන් උපදවන ප්‍රතිසන්ධිය අහේතුක හෝ ද්විහේතුක ආදී විවිධ අඩුපාඩුකම් සහිත ප්‍රතිසන්ධීන් ලබා දේ. ජීවිතය එවැනි වූ ප්‍රතිසන්ධියකින් ලබා තිබූයේ නම් එය මෙම ජීවිතයේ දී නැවත වෙනස් කළ හැකි නොවේ. ජීවිතය අනාත්ම ය. තම කැමැත්තට අනුව හැසිරවිය නොහැකි ය. මෙම නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන ඉන් ම බිඳි යයි. ස්ව කැමැත්ත අනුව නොහැසිරේ. කරුණු මෙසේ හෙයින් සියලූ දෙනා මෙම කරුණු පිළිබඳ නුවණින් සලකා ගැඹුරු ධර්මයන් පිළිබඳ අවබෝධය යොමු කළ යුතු ය. එවිට කවර අයුරින් ජීවිතය තුළ ධර්මය පුරුදු කළ යුත්තේ ද යන අවබෝධය ඇති වේ. එසේ නුවණින් කටයුතු කරන ප්‍රඥාවන්ත තැනැත්තා ම දුක් කෙළවර කොටගනී.

ලබන සතියේ... - ධර්මාවබෝධය සඳහා ජීවිතය හැසිරවිය යුතු අයුරු

බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී
ජී.ජී.ජී. පුෂ්පකුමාර් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.