මානව දයාව ඔහුගේ කවියේ රිද්මයයි | සිළුමිණ

මානව දයාව ඔහුගේ කවියේ රිද්මයයි

අරුණාසලම් ඇතුළු දරු පවුල ජීවත් වූයේ කැලණි ගඟට නුදුරු පෑලියගොඩ ප්‍රදේශයේ ය. අරුණාසලම් - සීතාලක්ෂ්මී යුවළට දරුවෝ තිදෙනෙක් වූහ. එක් දියණියක හා පුතුන් දෙදෙනකු වශයෙනි. පෑලියගොඩ යනු කොළඹ නගරය මායිමේ පිහිටි නාගරික ප්‍රදේශයකි. එහි සිංහල දෙමළ මෙන් ම මුස්ලිම් ප්‍රජාව ද සාමූහිකව ජීවත් වූහ. එහෙත් 1970 දී හට ගත් වාර්ගික ගැටුම්වලින් දෙමළ ජනයා සලිත වී ගියෝ ය. ඒ ගැටුම් හේතුවෙන් අරුණාසලම් පවුලට හිරිහැරයක් නොවුණ ද මතු අනාගතයේදී එසේ වනු ඇතැයි දුර දිග සිතන අරුණාසලම්ට හැඟිණ. ඒ වනවිට 12 වන වියේ පසු වූ අප කතානායකයා වන අරුණ සුන්දරරාජන් යන පවුලේ සෙසු සාමාජිකයන් ද සමඟ අරුණාසලම් කුටුම්බය ඉන්දියාව බලා පිටත් වන්නේ අනාගත දිවියේ සුරක්ෂිත බව පතාය‍.

 

“අපේ තාත්තා රට හැර යන්න තීරණය කරන විට මම හිටියේ 8 වන ශ්‍රේණියේ. අපේ පාසලේ නම කොළඹ සෙන්ට්‍රල් කොලේජිය. අපි ඉන්දීය සම්භවයක් සහිතව ශ්‍රී ලංකාවේ ජීවත්වුණු දෙමළ පවුලක්. රට අත ඇරලා යනවා කී විට මට ඇති වුණේ මිශ්‍ර හැඟීමක්. දුකක් වගේ ම සියුම් සතුටකුත් හිතේ ඇති වුණා. අලුත් රටකට යන්න ලැබීම ගැන. අපි පදිංචි වුණේ මදුරාසිවලට කිට්ටු මනමදුරෙයි කියන ගමේ. සෙන්ට්‍රල් කොලේජියෙ ඉගෙන ගන්න කාලෙත් ලියන්න හා කියවන්න ලොකු ආසාවක් මට තිබුණා. මම ඒ කාලේ අතින් ලියපු සඟරාවක් පන්තියේ ළමයිට කියවන්න දුන්නා.”

අරුණගේ සාහිත්‍ය ජීවිතයට මුල පිරෙන්නේ එසේ ය. ඉන්දියාවට යාමෙන් පසු එම ආශාව තවත් දලුලනු ඔහුට දැනිණි. එහිදී පොත්පත් බහුලව කියවන්නට ඔහුට අවස්ථාව උදා විණි. ‘ටජ් මහලුම් රොටී තුන්ධුම්’ නම් කවය කියවන්නට ලැබීමත් සමඟ ඔහුගේ කියවීමේ පිපාසය උග්‍ර විය. ටජ්මහල හා රොටී කැබැල්ල නම් අරුත සහිත එම කවිය ලියා තිබුණේ එන්. කමරාසන් නම් කවියෙකි. මහා කවි සුබ්‍රමනියා භාරතීගේ හා භාරතීදාසන් ආදී විශිෂ්ට කවීන්ගේ නිර්මාණය ඔහු ඊළඟට කියවීය. කවි නිර්මාණයට ඔහු පෙලඹුණේ මෙම කවි කියවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.‍

අධ්‍යාපන කටයුතුවලින් ඉක්බිතිව ඔහු තෝරාගත්තේ පුවත්පත් කලාවය. ඔහු මුලින් ම බැඳුණේ ගවේෂණාත්මක දේශපාලන සඟර‍ාවකට ය. එහි සේවය කරන අතරවාරයේ ම සාහිත්‍ය කටයුතුවල නිරත වීමට ද ඔහු උනන්දු විය. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘අන්තියා මුගන්ගල්’ (අමුතු මුහුණු) නිකුත් වන්නේ 1987 දී ය‍. මිරා අරගම් ප්‍රකාශනයක් වශයෙන් නිකුත් වන එම කවි පොත ප්‍රකට දෙමළ ලෙඛකයකු වන වලික්කානන්ගේ පෙරවදනකින් ද සමන්විත විණ.

“මම හුඟක් වෙලාවට උනන්දු වුණේ සමාජ ප්‍රශ්න මගේ කවියට නිමිති බවට පත් කරගන්න. ඒ වගේ ම මගේ භාෂාවටත් මම හුඟක් ආදරය කරනවා. භාෂාව උසස් මට්ටමකින් භාවිත කරන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. මම ආගම් දහම් ගැන විශ්වාස කරන්නේ නැහැ.‍ ඒ වුණාට මම ආසියාවේ සොක්‍රටිස් හැටියට හඳුන්වන ඊ.වී. රාමසාම්ගේ අනුගාමිකයෙක්.” අවිඥානක ලෝකයට වඩා භෞතික ලොව කෙරෙහි ඔහු තුළ වන ඇල්ම අරුණ මට එසේ විස්තර කළේ ය.

පසුව ඔහු අතින් කාව්‍ය නිර්මාණ කිහිපයක් ම ප්‍රකාශයට පත් කෙරිණි. “මසායි තෝරලුම් මුවහල් කාඩහලුම්” (වැහි පොදය හා ප්‍රථම ප්‍රේමය) “කාඩවුලයි කොඩ්රුවිඩු” (දෙවියන් මැරීම) “ඉන්ඩ්‍රයික්කු උයිරුඩු ඉරුක්තිරන්” (මම අද ජීවත්වෙමි) එම කෘති අතර වෙයි. මානව හිමිකම් අහිමි වූ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ද අරුණගේ ප්‍රතිපත්තියකි. ඒ අරමුණින් ඔහු 2000 වසරේදී ‘පුඩිය දිසයිගල්’ (නව දිසානතිය) නමින් මාසික සඟරාවක් ඇරඹීය. මනමදුරෙයි ප්‍රදේශය ආවරණය කරමින් පළ කෙරුණු මෙම සඟරාවට වැඩිකල් ගත වන්නට පෙර තර්ජනාංගුලි එල්ල වන්නට විණ. ජීවගංගා දිස්ත්‍රික්කයේ ‘කරදරකාරී’ සඟරාවක් ලෙස බලවත්තු එය හැඳින්වූහ. ජනතාවගේ හඬක් බවට පත් වුව ද ටික කලකින් එය නවතා දැමීමට අරුණට සිදු විය.

“මට ඕනෑකමක් තිබුණා මොකක් හරි මාර්ගයක් හදාගෙන මගේ ඉලක්කය කරා යන්න. මම 2009 දී කවියන්ගෙ කවයක් පිහිටෙව්වා යාළු කවියන් ටිකකුත් එකතු කරගෙන‍.‍ ඒකට නම තිබ්බේ ‘වැලාරි’ කියලා. ඒකෙ තේරුම භූමරංගය. ඇත්තටම මේක කාන්තා කේන්ද්‍රීය කවයක්. එහෙ දෙමළ සමාජයේ උගත් දක්ෂ කාන්තාවන් බහුතරයක් විවාහ ජීවිතේ සිරකාරියන් බවට පත්වී සිටිනවා.‍ මේ අය අතර කිවිඳියන් ගණනාවකුත් ඉන්නවා. 2009 ‘ලෝක කාන්තා දිනය’ දා සවස මදුරාසිවල ගෘහණියන් හා ශිෂ්‍යාවන් වෙනුවෙන් පද්‍ය නිර්මාණ තරගයක් අපි පැවැත්වූවා. මදුරාසිවල ඉන්දියානු ගුවන් විදුලි සේවයේ අධ්‍යක්ෂිකා ජෝතිමනි ඉලන්ගෝවන් මහත්මිය තමා ප්‍රධාන ආරාධිතාව වුණේ.”

අරුණ සිය උද්‍යෝගිමත් සාහිත්‍ය මෙහෙවරෙහි තවත් අදියරක් මා හමුවේ මුදා හැරියේ එසේ ය.‍ පසුගිය වසර 9 ක පමණ කාලය පුරා ඔහුගේ ‘භූමරංග’ කවය ඉතා සාර්ථක ගමනක් පැමිණ තිබේ. දැන් එමඟින් මාසික කවි සඟරාවක් පළ කෙරෙයි. නවක කිවිඳියන් පනහකට පමණ දොර කවුළු විවර කිරීමට ඔහුට හැකිවී තිබේ. ලේඛිකාවන්ට කවි පොත් පළ කිරීමට අතහිත දීමට ද ඔහු පියවර ගෙන තිබේ. 2014 වසරේදී කිවිදියන් 8 දෙනකුගේ නිර්මාණ එකතු කොට පළ කළ ‘පෙන්පාත්තෙයි’ (කාන්තා කවි) කෘතිය මැලේසියාව හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ජනප්‍රසාදය දිනාගෙන සිටී.

නූතන දෙමළ කවියේ පුරෝගාමියකු වූ මහාචාර්ය මීරාගේ සිසුවකු වන අරුණ සුන්දරරාජන් තම ගුරුතුමා අනුස්මරණය කරමින් වාර්ෂික සාහිත්‍ය සම්මාන උලෙළක් ද පවත්වාගෙන යයි. ‘කිවිවර මීරා සාහිත්‍ය සම්මාන ප්‍රදානය’ නමින් පැවැත්වෙන මේ සාහිත්‍ය උලෙළේදී තරුණ කවි කිවිදියන් සේම නිර්මාණශීලී වෙනත් කවි කිවිඳියන් ද ඇගයීමට ලක් කෙරෙයි.

වසරක් පාසා ශ්‍රී ලංකාවට පැමිණීම ද අරුණ සුන්දරරාජන් ගේ සාහිත්‍ය චාරිකාවේ එක් අංගයකි. එසේ පැමිණ වැල්ලවත්තේ පිහිටි දෙමළ සාහිත්‍ය සංගම් ශාලාවේ සිදු කෙරෙන සාහිත්‍ය ක්‍රියාකාරකම්වලට සහභාගි වී ශ්‍රී ලාංකීය දෙමළ සාහිත්‍යයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ඔහුගේ පුරුද්දකි. මෙම වසරේ මැද භාගයේ ලංකාවට පැමිණි අවස්ථාවේ මට ද අරුණ සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් ලැබිණි. ඔහු යළි ඉන්දියාවට ගිය පසු මුහුණු පොත හරහා අපි දිගටම සබඳකම් පැවැත්වීමු‍. මෙම ලිපිය පාලමට සැකසෙනුයේ ඒ දිගු සබඳතාවේ ප්‍රතිඵලයක් වශයෙන් බව ද සඳහන් කළ යුතු ය.

අරුණගේ උපන් දිනය 1958 අගෝස්තු 15 දා ය. ඔහු විවාහපත්ව සිටිනුයේ කේරලයේ කාන්තාවක් සමඟ ය. එය පෙම් සබඳතාවක් ඔස්සේ සිදුවූ විවාහයක් බව ඔහු පවසයි. අරුණ යුවළට දියණියක් හා පුතෙක් වෙති. දෙදෙනාම කේරලයේ ඉහළ රැකියාවල නිරතව සිටිති.

කලක් මානව අයිතීන් පිළිබඳ සංවිධානයක වතු සම්බන්ධීකාරකවරයකු ලෙස සේවය කළ අරුණ මේ වනවිට පොත් ප්‍රකාශකයකු වශයෙන් කටයුතු කරයි. තමාගේ ම පොත්වලට අමතරව සෙසදු ලේඛකයන්ගේ කෘති ද ඔහු ප්‍රකාශයට පත් කරයි. එම ප්‍රකාශන කටයුතු ව්‍යාපාරයක් වශයෙන් කෙතරම් සාර්ථක දැයි මා විමසා සිටි කල ඔහු පැවසුවේ තමා ඒ පිළිබඳව ස‍ෑහීමකට පත්වන බව ය.

ඉන්දියාව හා ලංකාව අතර ලොකු වෙනසක් නොදැනුණත් කේරලයේ ජීවත්වීමට සිය පියා ගත් තීරණය නිවැරදි යයි අරුණ පවසයි. මිනිස් ජීවිතයේ පමණක් නොව සතා සිවුපාවාගේ ජීවිතවල පවා වැදගත් ම අවශ්‍යතාව සුරක්ෂිත බව ය යනු ඔහුගේ අදහසයි. එම සුරක්ෂිත බව ලංකාවට වඩා කේරලයේදී තහවුරු ව තිබේ. අදටත් ලංකාවේ සුළු ජනයා විශේෂයෙන් ම දෙමළ ජනතාව කවර මොහොතක හෝ කිසියම් උවදුරක් වේදෝයි යන බියෙන් පසු වෙති. මෙම අනියත බිය තුරන් කිරීම සඳහා ලේඛකයන්ට විශාල මෙහෙවරක් ඉටු කළ හැකි ය.

අරුණ සුන්දරරාජන් අල්පේච්ඡ ගති පැවතුම්වලින් යුත් ලේඛකයකු බව ඔහුගේ කතාබහෙන් හා හැසිරීමෙන් මොනවට පැහැදිලි වේ. අවශ්‍ය දේට හැර අන් කිසිවකට ඔහුගේ මුව විවර නොවෙයි. ඔහු වඩාත් කැමති නිරීක්ෂණය කිරීමට හා සවන්දීමට ය. මෙය කවියකු වීමට අවැසි මූලික සුදුසුකමක් යයි මට සිතේ. ඔහුගේ කවියෙහි අන්තර්ගතය මානවහිතවාදී දෘෂ්ටියකින් සමන්විත වනුයේ මේ සංයමශීලී ගුණය නිසා විය හැකි ය.

අරුණගේ ඉදිරි බලාපොරොත්තු කවරේ දැයි විමසූ විට ඔහුගේ මුවෙහි නැඟුණේ මඳහසකි. සාහිත්‍යකරුවකු වශයෙන් ඔහු තුළ ඇත්තේ පෞද්ගලික අපේක්ෂාවන්ට වඩා පොදු අරමුණු කිහිපයකි. අනාගත සමාජය වඩාත් යහපත් එකක් බවට පත් කිරීමට තම පන්හි‍‍ඳෙන් කිසියම් මෙහෙවරක් කළ හැකි නම් එය උපරිමයෙන් ඉටු කිරීමට තමා සූදානම් බව අවසන් වශයෙන් ඔහු මා හා පැවසීය. ලබන වසරේද ලංකාවට පැමිණි විට දෙමළ ලේඛකයන්ට අමතරව සිංහල ලේඛකයන් කිහිප දෙනකු මුණ ගැසීමට ද ඔහු අපේක්ෂා කරයි.

Comments