සුන්දර හදවත් සොයා යන අපූරු කෘතියක් | සිළුමිණ

සුන්දර හදවත් සොයා යන අපූරු කෘතියක්

කතාන්දර සොයන, කතාන්දර කියවන බොහෝ දෙනා සොයන්නේ සිදුවීම් ය. සිද්ධියක් සිදුවූයේ කෙසේදැයි දැන ගැනීමට මිනිසුන් අකුරු අතර ඔබමොබ යති. බොහෝ නවකතාකරුවෝ එවැනි සොයන්නන්ට සිද්ධීන් සමුදායක් ගැට ගසා පිළිගන්වති. කෙටිකතාකරුවෝ යම්කිසි එක් සිදුවීමක් හැඩ වැඩ කර ගැටයක් දමා කියවන්නාට ලෙහා ගන්නට සලස්වති. නැතිනම් හෙමිහිට ලෙහා දෙති.

කතාන්දර සොයන්නට කුහුලක් ඇති මමද කතාන්දර සොයමින් එක්තරා කෙටිකතා පොතක් අතට ගත්තෙමි. සුදුපැහැ හිස් පසුබිමක් සහිත එම පොතෙහි කවරයෙහි මැද ඇඳ තිබු චිත්‍රය මා තුළ සංජානනය කළේ මේ “පිඬ” තුළ යම්කිසි ස්වාභාවික පිරිසිදු රසයක් තිබෙන බවකි.

පොතේ පිටුපස මෙසේ ලියා තිබුණි: “මීට කලින් සිංහලයට පරිවර්තනය වී නොතිබුණු කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කිගේ කෙටිකතාදහයක්... ”

පොත ගෙන කියවන්නට වීමි. පරිවර්තකගේ ප්‍රකාශයට අනුව මා කතාන්දර 10 සොයා පොත් පිටුදිගේ ගමන ආරම්භ කළේ වෙනස් සහ අමුතු කතාන්දරයක් කියැවීමේ බලාපොරොත්තුවෙනි.

රුසියානු ගම්මැද්දේ චාරිකාවක්, පළමු කතාවට නෙත තැබීමි. කතාන්දරයක් සොයාපොත කියවන්නට පටන් ගත් මා වෙනස් මඟක යනවා යැයි තේරෙන්නට මා හට වැඩි වේලාවක් ගියේ නැත. කුහුල දනවන සිදුවීමක් හා එය සිදුවු ආකාරය සොයනු වෙනුවට මා මට නුහුරු නුපුරුදු දේශයකට, නමුත් අාස්වාදයෙන් පිරි ස්වාභාවික පරිසරයකට පිවිස ඇති බවක් දැනුණි. පුදුමය නම් මා මට නුහුරු නුපුරුදු දේශයකට පැමිණ ඇත්තේ විශ්වාසවන්ත මඟපෙන්වන්නකු සමඟ බව දැනීමය. ඇත්තෙන්ම මා සමඟ කවුදෝ සිටිනවා යැයි මට හැඟී ගියේය. ඒ හැඟීම මහත් වූ විශ්වාසයක් මුසු වූ හැඟීමකි.

මා රුසියාවට, රුසියාවේ ගමකට කෙදිනකවත් ගොස් නැත. එය මට නුහුරු දේශයකි. එහෙත් එහි පරිසරයේ ගහකොළ, එහි මිනිසුන් හමුවන සෑම මොහොතක ම මට පුදුමාකාර සමීපබවක් දැනුණි. ජංගම දුරකථනය රැගෙන ගූගල් සිතියම සිසාරා මේ ගම සොයා යන්නට සිත් විය. එහෙත් ගූගල් සිතියමෙන්, නව තාක්ෂණයෙන් යා නොහැකි තරම් දුරකට මාගේ පරිකල්පනය ගෙන ගිය කෙනෙක් අකුරු අතරේ සිටියේ ය. ඔහු කවරෙක්දැයි සිතුවේ ගම සිසාරා මුළු චාරිකාවම ගොස් අවසන් වු විටයි. සැබවින්ම ඔහු කවරෙක්ද?

ඔහු මේ පොතේ පරිවර්තකයායි.

කුඩා කල බඩගින්න නිවෙන තුරු, රසට අනමින් අම්මා කවන බත් පිඟාන සේ සිංහල බස රසට අනමින් මේ පොතේ පරිවර්තකයා සිංහල පාඨකයාගේ රසනහර පිනවන්නේ ය. ලිවීමට ආශාවක් ඇති මා ද ඇතැම්විට ඔහුගේ බස හැසිරවීමට ආකර්ෂණය වූවා වන්නට පුළුවන. ඇතැම්විට ඔහු කියන්නට වෙර දරනා දේ මවාගන්නට උත්සාහ කළා වන්නට පුළුවන.

කොට්ටම්බා ගසකට රෝසවැල් ගොස් කොට්ටම්බා ගස පිරෙන්නට රෝසමල් පිපෙන්නේ කෙසේද? එසේ වු විට එය පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද, එවන්වු රෝසපොහොට්ටු මුළු පළාතටම උත්සවශ්‍රීයක් ගෙන එන්නේ කෙසේද? මම මනසින් මවා ගත්තෙමි. මේවා රුසියානු මුල්කෘතියේ ඒ ආකාරයෙන් ම තිබුණා දැයි නොදනිමි.

වරෙක ගිම්හානය සමුගත් ආකාරය කියා සිටින පරිවර්තක, එය සිංහලෙන් සිතුවම් කරන්නේ මෙසේය.

“තෙත බරිත සුළඟ ගෙවත්තේ නද දුන්නේය.”

“බිහිරි මීදුමෙන් වැසුණු මිහිතලය දැඩි සීතල මුසල ඇඳිරිය තුළ සැඟවුණාක් මෙන් විය.”

“මංමාවත් සියල්ලක් ම පාහේ මහවැස්සට සේදී අබලන් විය.”

“ඔය වසා සිටි පෙණකැටි බිත්තර සුදුමදයකට සමාන විය.”

“ඉතිරි වී සිටි පක්ෂීහුද වහලය තුළ සැඟවුණාහ. ශීත සෘතුව භූමියත් වනයත් යටත් කර ගත්තේය.”

“ඉඳහිට මුහුණේ වැදුණු හිම කැට නුහුරු කිතියක් ඇති කළේය.”

මේවැනි “කියවන්නාගේ සමට පවා සංවේදී වන” සිංහල යෙදුම් වචන ඔහු සොයා ගළපන ආකාරය අපූරුය.

ඒ යෙදුම් අතර මා වඩාත් ම ආශා කළ වචන පෙළ මෙයයි.

“බිරියෝසා පැළය ද සිය පත්‍ර මුළුමනින් ම හලා නග්නභාවයට පත්වුවා ය. ශරත් සමයේ ශීතලෙන් හා තෙතබරිත බවින් මිරිකුණු තැනිතලා සහ වන ළැහැබ් තුළ වැඩුණු සිය වැඩිමහලු සහෝදරියන් අනුව යමින් කුඩා බිරියෝසා පැළය ද කොළ හලා දැම්මා ය.”

මේ වචන දිගේ දෑස් යවන කෙනකුට ස්වභාවදහම කියා දෙන ‘සදාකාලික නොවීමේ’ ධර්මය වැටහෙයි. ලේඛකයා හෝ පරිවර්තකයා, ඒ යටින් සියුම් ශෘංගාරාත්මක හැගීමක් ඇතිකරන්නේ ශෘංගාරයද එම දහමට ම අයත් බව පසක් කරන්නටද?

රුසියානු ගම්මැද්දේදී හමු වූ මිනිසුන් අතර වුණු පුද්ගල සම්බන්ධතාවල පොදු වෙනස්වීම් නොසිතු තැනකදී මට හමු විය.

“ඈතට යනවිට අපගේ කතාබහ කෙමෙන් අඩු වී අවසානයේ අපි දෙදෙනා ම මුනිවත රකින්නට වීමු ...!

සැබෑ ය. රුසියානු ගම්මැද්දේදී මට මුණ ගැසුණු සියලු මිනිසුන් මා හට විශ්වීය පොදු මිනිසාව නැවත නැවතත් කියවන්නට උපකාර කළේ ය. ඒ ඔස්සේ අව්‍යාජ ගැමි මානසිකත්වය, විශ්වීය අගයන්, පොදු සංස්කෘතීක අගයන්, මිනිස් සිත්, සම්බන්ධතා, ගැටීම් නැවත නැවතත් මා හට ඒත්තු ගැන්වූයේ ‘ස්වභාව දහමේනිතීයයි.’‘ස්වභාව දහමේ ස්වභාවයයි.’ ස්වභාව ධර්මය විඳීමට මිනිසුන් කියැවීමට වැඩිහිටියන් හට ලියැවුණු කෘතියක් යැයි මට වරෙක සිතුණද වැඩිහිටියන් මෙන්ම දරුවන්ද නැවත අස්වද්දන සරල ජීවන දර්ශනයක් මම මේ තුළ දුටුවෙමි.

“ඒත් මේ ලෝකේ වටිනා ම බලගතු ම නිධානෙ තියෙන තැන එයා අපිට කියලා දුන්නා. ඒ වෙන කොහේවත් නෙමෙයි ලීසා. මිනිසාගේ හදවත තුළ. ලස්සන සුන්දර හදවතක් තරම් වටින වෙනත් දෙයක් මේ මිහිපිට නෑ කියලා එයා අපිට තේරුම් කරලා දුන්නා. බලාගෙන ගියාම ඒ කතාව හරියට ම හරි නේද ලීසා. ඒ හින්දා නුඹත් නොවැරදීම ලස්සන සුන්දර හදවතක් ඇතිකර ගන්න ඕනෙ.”

ජීවිතයට වටිනා දෙයක් ලබාදුන් කෙනෙකුට ස්තූති නොකර සිටීම නොමනා ය. එහෙයින් ස්තූති කරමි. ගෞරවයෙන් ස්තූති කරමි. ඒ ස්තූතිය කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි නම් ලේඛකයාට ය. ඔහුගේ අතිශය සියුම් වුත්, ගැඹුරු වුත් මිනිස් විශ්ලේෂණයට ය. එසේම එය කියවන්නට රුසියානු බස නොදන්නා අප ඒ විශ්ලේෂණයන් අපට දැනෙන හැඟෙන ආකාරයෙන් තෑගි කළ පරිවර්තකයාට ය. පරිවර්තකයාට තවත් හේතුවක් මත ස්තූති කළ යුතුය. වර්තමාන පරිවර්තන කියැවීමේදී ඇතැම්විට අමාරුවෙන් හෝ මුල් කෘතිය සොයාගෙන කියැවුවානම් යැයි ඇතැම්විට මට සිතී ඇත. එහෙත් එවන් සිතුවිල්ලකට මෙම පරිවර්තක ඉඩ තබා නැත. පරිවර්තක මුල් කෘතියේ පරිසරය, කාලසීමාව ආදිය පිළිබඳ ව ඉතා හොඳ දැනුමකින් හෙබි බව පෙනේ. එහෙත් පාණ්ඩිත්‍යය පෙන්වන්නට බොහෝ ලේඛකයන් යොදා ගන්නා බර වචන යොදා නොගනිමින් ඉතාම ආකර්ෂණීය සරල බස් වහරකින් සාමාන්‍ය මට්ටමේ පාඨකයාට පවා ආශාවෙන් කියැවිය හැකිවන සේ ලියුවාට පරිවර්තකට ස්තූතිය හිමිවිය යුතුය.

Comments