රෝග පැතිරීම වැළැක්වීමට නම් සතුන් හොඳින් බලාගන්න | සිළුමිණ

රෝග පැතිරීම වැළැක්වීමට නම් සතුන් හොඳින් බලාගන්න

 පිරිසුදු නැවුම් කිරි සඳහා ඇත්තේ ඉහළ පාරිභෝගික ඉල්ලුමකි‍. උසස් තත්ත්වයේ අමුකිරි භාවිතයෙන් පාරිභෝගිකයාට නැවුම් කිරි නිෂ්පාදනයක් ලබාදීමට හැකි වන අතර, එය නීරෝගි බව ආරක්ෂා කරගැනීමටද මනා පිටිවහලක් වේ. එපමණක් නොව, එය ‍ගොවි මහතාට සාධාරණ මිලක් උපයාගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමටද ඉවහල් වේ.

ක්ෂීරපායි සතුන්ගේ මුල් අවධියේ පෝෂණය උදෙසා මවු සත්ත්වයාගේ ක්ෂීර ග්‍රන්ථි මඟින් ශ්‍රාවය වන කිරි, පෝෂණයෙන් අනූන සම්පූර්ණ ආහාරයකි. එහි අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක වන ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්‍රේට, ඛනිජ ලවණ සහ විටමිනද වැඩි ප්‍රතිශතයක් (87%ක් පමණ) ජලයද අඩංගුය. එබැවින් කිරි, ක්ෂුද්‍රජීවීන්ගේ මර්දනයටද ඉතා සුදුසු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි. තවද, කිරිවලට කෘෂි රසායන ද්‍රව්‍ය සහ ප්‍රතිජීවක ඖෂධ අව‍ශේෂ එකතු වීමට ඇති ඉඩ කඩද වැඩිය. එසේම ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙනුයේ විසිරී සිටින කුඩා පරිමාණයේ කිරි ගොවි මහතුන්ය. එබැවින්, එකතු කිරීමේ මධ්‍යස්ථාන කරාගෙන එන කිරි විවිධ ගුණාත්මයෙන් යුතු ඒවා වීමට ඇත්තේ වැඩි ඉඩකඩකි.

කෙසේ වෙතත් තත්ත්වයෙන් ‍උසස් කිරි ආහාර නිපදවාගැනීමට නම් ගොවිපළේදී දොවන කිරි අමු කිරි නැත හොත් ගොවිපළ නැවුම් කිරි පිරිසුදුව දොවාගන්නා ලද ඉතා උසස් තත්ත්වයේ කිරිම විය යුතු ය. පිරිසුදුව කිරි දෙවීම මඟින් රෝග පැතිරීම වළක්වා ගොවි පළෙහි සතුන් නීරෝගිව රැකබලා ගැනීමට හැකි වනවා මෙන්ම හොඳ කිරි අස්වැන්නක්ද ලබාගැනීමට හැකි වනු ඇත‍.

 ඉහළ ගු‍ණාත්මක බවින් යුතු කිරි

කිරිවල ගුණාත්මක බව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් ගෝචර වේ‍. උදාහරණ ලෙස මේද සහ ප්‍රෝටීන ප්‍රතිශතය වැඩි කිරි ගුණාත්මක ලෙස අයකු සලකන විට තවත් අයකුට වැදගත් වනුයේ එහි ඇති ක්ෂුද්‍රජීවීන් ප්‍රමාණයයි. එහෙත් මේ කිසිත් නොදන්නා ළදරුවකුට වැදගත් වනුයේ බීමට ප්‍රිය, ප්‍රසන්න සුවඳ සහ රසයයි. එබැවින් ඉහළ ගුණාත්මක බවින් යුතු කිරි නිපදවීමේදී මේ සියලු කරුණු ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.

 ඉහළ ගුණාත්මයෙන් යුතු කිරිවල ලක්ෂණ

-අපද්‍රව්‍යවලින් තොර වීම‍

-ප්‍රසන්න සුවඳකින් සහ රසයකින් යුක්ත වීම

-ක්ෂුද්‍රජීවීන් ඉතා අඩු වීම

-ප්‍රතිජීවක ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය අවශේෂවලින් තොර වීම

-සංයුතිය සමාන වීම

-ආම්ලිකතාව සහ ph සාමාන්‍ය අගයක් ගැනීම

-ඉක්මනින් නරක් නොවීම

 ඉහළ ගුණාත්මයෙන් යුතු පිරිසුදු කිරි දොවාගන්නේ කෙසේද?

නිෂ්පාදන ක්‍රියාවලියේ ඕනෑම අවස්ථාවක කිරි අපවිත්‍ර වීමට පුළුවන. එසේ කිරි අපවිත්‍ර වන ආකාර ගැන කිරි ගොවි මහතකු ලෙස දැනුවත් වීම කිරි නිෂ්පාදනයේදී අතිශයින් වැදගත්ය. මන්ද යත්: එවන් දැනුවත් වීමක් මඟින් තවත් අවස්ථා පහසුවෙන් මඟහරවා උසස් තත්ත්වයෙන් යුත් නැවුම් කිරි නිපදවාගත හැකි හෙයිනි.

* කිරි අපවිත්‍ර වන ප්‍රධාන ආකාර

-නීරෝගි නොවන සහ අපිරිසුදු දෙ‍නකගෙන් කිරි දෙවීම

-කිරි දොවන්නා නීරෝගි නොවීම සහ අපිරිසුදු වීම

-ගව ගාල පහසුවෙන් පිරිසුදු කළ නොහැකි වීම සහ හොඳ වාතාශ්‍රයක්, ආලෝකයක් නොලැබෙන තැනක් වීම

-කිරි දෙවීමට සහ එකතු කිරීමට ගන්නා භාජන අපිරිසුදු වීම

-පරිසරයේ ඇති දූවිලි අංශු මඟින්

-කිරි දෙවීමෙන් පසුව ඉක්මනින් ශීත නොකිරීම

-කිරි ප්‍රවාහනයේදී

එහෙයින් පිරිසුදු කිරි දොවාගැනීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.‍

 එ‍ළදෙනගේ නීරෝගි බව සහ පිරිසුදු බව රැකගැනීම

පිරිසුදු කිරි ලබාගත හැකි වන්නේ නීරෝගි සෞඛ්‍ය සම්පන්න පිරිසුදු දෙනකගෙන් පමණි. එබැවින් එළදෙනට ලෙඩ ‍රෝග ඇතිදැයි නිතර සුපරීක්ෂාකාරිව සිටිය යුතු අතර, රෝගයක් ඇති බවට හැඟී ගිය හොත් වහාම සුදුසු ප්‍රතිකාර (සුදුසුකම් ලත් පශු වෛද්‍යවරයකු මඟින්) ලබාදීමට ක්‍රියා කළ යුතුය. බෝ වන රෝගයක් සහිත දෙනුන් අනෙක් දෙ‍නුන්ගෙන් වෙන් කර ‍රෝගය බෝ වීම වැළැක්වීමට සුදුසු පියවර ගත යුතුය.‍ එසේම එම කිරි සාමාන්‍ය නීරෝගි එළදෙනකගේ කිරි සමඟ කිසි විටකත් මිශ්‍ර නොකළ යුතුය. රෝගය සුව වූ බවට ස්ථිර වශයෙන්ම තහවුරු කරගැනීමෙන් පසු පමණක් එම කිරි නීරෝගි දෙනුන්ගෙන් ලබාගන්නා කිරිවලට මිශ්‍ර කළ හැකිය.

දෙනුන් අතර වැඩිපුරම පවතින රෝගය බුරුලු ප්‍රදාහයයි. මෙය ආකාර කිහිපයකින් පැවසිය හැකි අතර, ‍රෝග ලක්ෂණ පිටතට පෙන්වන සහ නොපෙන්වන ලෙසද වර්ග කළ හැකිය. මේ සඳහා කළු පැහැති රෙදි කඩකින් ආවරණය කළ බඳුනක් භාවිතයෙන් පහසුවෙන් මේ සතුන් හඳුනාගත හැකිය. මෙහිදී තන පුඩු හතරෙන් කිරි ස්වල්පය බැඟින් වෙන වෙනම කළු රෙදි කඩ සහිත බඳුනට (කළු රෙදිකඩ මතට) දොවා කිරිවල කැටිති හෝ අසාමාන්‍යතා ඇතිදැයි පරීක්ෂා කළ හැකිය. එසේ ම තන බුරුල්ලද පරීක්ෂා කළ හැකි ය (ඉදිමී ඇතිද යන්න සහ වෙනත් අසාමාන්‍ය තත්ත්ව). එවන් ලක්ෂණ ‍පෙන්වන්නේ නම් ඉක්මනින් සුදුසු ප්‍රතිකාර දීම මඟින් රෝගය පැතිර යෑමද වළක්වාගත හැකිය. එමෙන්ම එම රෝගි දෙනුන්ගේ කිරි සෞඛ්‍යාරක්ෂිතව බැහැර කළ යුතුය.

පිටතට ‍රෝග ලක්ෂණ නොපෙන්වන බුරුලු ප්‍රදාහය හඳුනාගැනීමද වත්මනෙහි පහසුවෙන් කරගත හැකිය. පශු වෛද්‍ය කාර්යාල මඟින් නිලධාරීන් ගොවිපළවල් වෙත යවා නොමිලේ කිරි පරීක්ෂා කර දීමට පහසුකම් සපයා ඇත. එමෙන්ම ගොවි මහතකුට වුවද ඉතා සුළු මුදලකට මේ රසායනික ද්‍රාවණය ලබාගෙන පහත පරිදි පරීක්ෂණය සිදු කළ හැකිය. තන පුඩු හතරෙන් වෙන වෙනම කිරි ස්වල්පයක් (මි.ලී. 2ක් පමණ) දමා, තිරස්ව කවාකාරව (Circular Motion) උපකරණයෙහි ඇති කිරි සහ රසායනික ද්‍රාවණය මිශ්‍ර කරගත යුතුය. පසුව තත්පර දහයක් වැනි කෙටිකාලයක් තුළ එම මිශ්‍රණය පරීක්ෂා කිරීම මඟින් දෙනගේ බුරුලු ප්‍රදාහ තත්ත්වය හඳුනාගත හැකි අතර, එය තන බුරුල්ලේ කුමන කොටසට ආසාදනය වූයේද යන්නත් හඳුනාගත හැකිය. මිශ්‍රණයේ ජෙල් එකක් සෑදේ නම් දෙනට බුරුලු ප්‍රදාහය ඇති අතර ජෙල් එකෙහි ඝනකම වැඩි වන්නට රෝගයේ බරපතළකමද වැඩි වන්නේය. එබැවින් බාහිරට රෝගි ලක්ෂණ පෙන්වීමට ප්‍රථම දෙනට සුදුසු ප්‍රතිකාර ලබා දීම මඟින් රෝගය පැතිරීම පාලනය කරගත හැකිය.

ඉහත ක්‍රම දෙකෙහිදීම බුරුල්ලේ කොටස් හතරෙන් වෙන වෙනම කිරි පරීක්ෂා කර රෝගය හඳුනා ගන්න බැවින් බුරුලු ප්‍රදාහය පවතී නම් එම කොටසට පමණක් ප්‍රතිකාර දිය හැකිය. ආසාදිත නොවන කොටස්වල තන පුඩු මඟින් ලබාගන්නා කිරි ඉතා පිරිසුදුව ලබාගැනීමෙන් සාමාන්‍ය දෙනුන්ගෙන් ලබාගන්නා කිරි සමඟ මිශ්‍ර කිරීම වරදක් නැත. තවද මුලින්ම නීරෝගි සතුන්ගෙන් කිරි දොවා පසුව රෝගී සතුන්ගෙන් කිරි දෙවීම කළ යුතුය.

කිරි දෙවීමට ප්‍රථම දෙනගේ බුරුල්ල ප්‍රදේශය ඉතා හොඳින් පිරිසුදු ජලයෙන් සෝදා ගෙන මාත්තු කිරීමත්, මේ සඳහා සතාගෙන් සතාට පිරිසුදු රෙදි කඩක් භාවිතා කිරීමත් වැදගත්ය. සත්ත්වයාගේ ශරීරය අපිරිසුදු වූ විට පිරිසුදු කිරීම ගොවි මහතාගේ වගකීමකි. සේදීමේදී තනුක පිරිසුදු කාරකයක් සහ විෂබීජ නාශක දියරයක් භාවිත කරන්නේ නම් එය ඉතා අගනේය.

 කිරි දොවන්නාගේ නීරෝගිකම සහ පිරිසුදු බව

කිරි දොවන්නා නීරෝගි සහ පිරිසුදු විය යුතුමය. සැම විටම කිරි දොවන අවස්ථාවේ පිරිසුදු ඇඳුම් ඇද, හිස් ආවරණයක් පැලඳ, නිය කොටට කපා සිටීම දොවන්නාගේ වගකීමකි. එමෙන්ම දෙවීමට ප්‍රථම දෙනුන් හොඳින් සබන් යොදා සේදීමත් එක් සතකුගෙන් කිරි දොවා අනෙක් සතා වෙත යෑමේදී නැවතත් දෑත් සේදීමත් වැදගත් වේ. දෙවීමේදීද සම්පූර්ණ අත් ක්‍රමය මඟින් කිරි දොවාගත යුතු අතර, කිසි විටෙක බුරුල්ල ඇදීමට ලක් නොකළ යුතුය.

 ගවගාලෙහි පිරිසුදු බව

ගවගාල හොඳින් සෝදා පවිත්‍ර කරගත හැකි ආකාරයට නිම කිරීම අත්‍යවශ්‍ය වේ. කොන්‍ක්‍රීට් යොදා නිවැරැදි ලෙස ජලය බැස යන ආකාරයට සෑදූ කානු පද්ධතියකින් සමන්විත විය යුතුය. එසේම හොඳින් වාතාශ්‍රය ආලෝකය ලැබෙන ස්ථානයක් විය යුතු අතර, කිරි දෙවීමට ප්‍රථම ගොම ඉවත් කර, ගවගාල පිරිසුදු කළ යුතුය. කිරි දෙවීමට අන් ස්ථානයක් තිබේ නම් වඩා යෝග්‍ය වේ. එමෙන්ම කිරි දොවන අවස්ථාවේ සතාට සාන්ද්‍ර ආහාර දෙන්නේ නම් ඒවා ඉතා කුඩා අංශු සහිත ආහාර නොවිය යුතුය.

 පිරිසුදු භාජනවලට කිරි දෙවීම

කිරි දෙවීමට ගන්නා සියලු භාජන කිරි දෙවීමෙන් පසු ඉතා ඉක්මනින් ඇල් දියෙන් සහ උණුසුම් ජලයෙහි සෝදා සේදුම් කාරකයක් ‍යොදා හොඳින් සෝදා බුරුසුවක ආකාරයෙන් මැදගත යුතු ය. පසුව පිරිසුදු ජලයෙන් සෝදා වතුර බැස යන ආකාරයට එවා තැබිය යුතු ය. මළ නොබැඳෙන වානේවලින් සෑදූ කට ලොකු භාජන යොදාගැනීම වඩා යෝග්‍ය වේ.

 කිරි දොවා ගැනීමෙන් පසු ඉතා ඉක්මනින් ශීත කිරීමේ සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන යෑම

කිරිවල ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනය සහ ගුණනය වීම අවම කරගැනීමට කිරි ශීත කිරීම හෝ එසේ පහසුකම් නැති නම් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලට දොවාගත් කිරි ඉතා කඩිනමින් ප්‍රවාහනය කළ යුතු ය‍.නිවැරදිව කිරි දෙවීම දෙනගේ සෞඛ්‍ය මෙන්ම පාරිභෝගිකයාගේද සෞඛ්‍යය සහ පෝෂණය ආරක්ෂා කරයි. එමඟින් ලැබෙන ඉහළ කිරි අස්වැන්න කිරි ගොවියාට ශක්තිමත් ආර්ථිකයක් ළඟා කරගැනීමට අවකාශ උදා කර දෙනු ඇත.

උපදෙස් - රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පශු විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යයනාංශ ප්‍රධානී ආචාර්ය නයනා නාරායන මහත්මිය

උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම පීඨය රුහුණ විශ්වවිද්‍යාලය

Comments