ශ්‍රී ලංකාවටත් හරිත ගුවන් තොටුපොළ සංකල්පය | සිළුමිණ

ශ්‍රී ලංකාවටත් හරිත ගුවන් තොටුපොළ සංකල්පය

 අක්කර 100ක පමණ භූමි භාගයක් හරිත පුරවරයක් ලෙස පවත්වා ගෙන යෑම ලෙහෙසි පහසු වැඩක් නොවේ. මෙය වඩාත්ම අපහසු වන්නේ ජනතාව ගැවසෙන ප්‍රදේශයක් වූ විටයි. එහෙත් අක්කර 5500ක භූමි වපසරියක ගුවන් තොටුපොළක් පවත්වාගෙන යමින් එහි සංචාරක හෝටලයක්ද සහිත භූමි ප්‍රදේශයක් පරිසර හිතකාමි හරිත පුරවරයක් ලෙස පවත්වාගෙන යෑම කිසි සේත්ම ලෙහෙසි පහසු නොවන්නේ අනෙක් තාක්ෂණික හා පාරිසරික සංරක්ෂණ කටයුතු කෙසේ වුවත් මිනිස් ක්‍රියාකාරකම් පරිසර හිතකාමි නොවන බැවිනි. එහෙත් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ රජීව් ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා අවට ප්‍රදේශය මුළුමනින්ම හරිත කලාපයක් ලෙස පරිසර හිතකාමි ලෙස පවත්වාගෙන යන්නට හැකි වී තිබෙනවා.

ඒ කාර්යය සඳහා රජීව් ගාන්ධි අන්තර්ජාතික ගුවන් තොටුපොළට හැකියාව ලැබී තිබෙන්නේ ගුවන් තොටුපොළේ සමස්ත කාර්යයන් හසුරුවන සුවිශේෂ සමාගමක් නිසයි. මෙහි සමස්ත ගුවන් තොටුපොළ හා අවට සියලු කලාපවල පරිපාලනය හා මෙහෙයුම් කටයුතු (ගුවන් තොටුපොළ විශේෂ රාජකාරි හැර) සිදු කරනු ලබන්නේ ජී.එම්.ආර්. හයිද්‍රාබාද් අන්තර්ජාතික ගුවන්තොටුපොළ සමාගම විසින්.

මොකද්ද මේ ජී.එම්. ආර්. හයිද්‍රාබාද් අන්තර්ජාතික ගුවන්තොටුපොළ සමාගම කියන්නේ? මහ ජනතාවට වැඩි කාර්යක්ෂම දායකත්වයක් සැපයීම උදෙසා ජී.එම්. රාවෝ මහතා විසින් 1978 වසරේදී ‘හයිද්‍රාබාද් ඉන්ටර්නැෂනල් ආයතනය‘ ඇරැඹූ අතර, ජී.එම්. රාවෝ මහතාගේ එම සංකල්පය සිහි වීම උදෙසා මේ ආයතනය ‘ජී.එම්.ආර්.‘ යන නාමයෙන් හඳුන්වනවා.

මේ ආයතනය මඟින් සපයනු ලබන සේවා මොනවාද යන්න ගැනත් අප සොයා බැලිය යුතු වනවා. 1996 වසරේ මෙගාවොට් 200ක විදුලිබලාගාරයක් ඉදි කරමින් වෙළෙඳ හා ජනතා සේවා කරළියට පැමිණි ජී.එම්.ආර් ආයතන සමූහය මේ වසර වන විට ගුවන් තොටුපොළ, අධිවේගී මාර්ග, විදුලි බලාගාර, ආයෝජන කලාප, ගල් අඟුරු නිෂ්පාදනය යන ක්ෂේත්‍රවල කටයුතු සිදු කරන අතර ගල් අඟුරු විදේශීය රටවලට සැපයීමේ කාර්යයේද නිරතව සිටී.

මේ සමාගම විසින් මෑත දශකයේ සිදු කරන ලද විශේෂිතම මෙන්ම අන්තර්ජාතික තලයේ කාර්යය වන්නේ රජීව් ගාන්ධි අන්තර්ජාතික ගුවන් තොටුපොළ හරිත ගුවන් තොටුපොළ නගරයක් බවට පත් කිරීමයි. ගුවන් තොටුපොළ සියලු සංවර්ධන කාර්ය භාරව කටයුතු කරන සමාගමක් වන්නා සේම ජනතා හිත සුව පිණිස කාර්යයන් රැසක් සිදු කර තිබෙන බවත් පෙනෙනවා.

මේ ගුවන් තොටුපොළ හරිත ගුවන් තොටුපොළක් හා හරිත නගරයක් බවට පත් කිරීම සඳහා සමාගමට ගත වූ කාලය මාස 31කි. ඒ භාර ගත් කාල සීමාවට පෙර කාර්යය නිම කිරීමක් වන අතර, ඒ සඳහා වැය කරන ලද මුදල ඉන්දියන් රුපියල් බිලියන 30ක් පමණ වේ. එය 2008 වසරේ මාර්තු මස 23 වැනිදා ජනතාවගේ පරිහරණය උදෙසා ලබා දුන්නා.

එසේ ගුවන් තොටුපොළ නවීකරණය කර ලබා දීම සිදු කරනු විට විශේෂ සේවා රැසක් අලුතින් හඳුන්වා දුන්නා. ඒ යටතේ සිදු කරන ලද සේවා අතර වර්ග මීටර් 117,000ක පර්යන්ත ගොඩනැඟිල්ල මඟින් පුද්ගලයන් මිලියන 40ක් සහ භාණ්ඩ මෙට්‍රික් ටොන් මිලියනයක ධාරිතාවක් වසරකට මෙහෙයවිය හැකි වනවා.

ඉන්දියාවේ දෙවන දිගම ගුවන්යානා ධාවන පථය ස්ථාපිත කිරීමද මේ සංවර්ධන ක්‍රියාදාමයේ පියවරක් වන අතර, එහි දිග මීටර් 4260ක්. එහි ‘ඒ 380‘ වැනි ලෝකයේ දැවැන්තම ගුවන් යානා ගොඩබැස්වීමට හැකියාව තිබෙනවා. එසේම හයිද්‍රාබාද්, ඉන්දියාවේ ප්‍රථම සුහුරු (ස්මාට්) ගුවන් තොටුපොළ බවට පත් කිරීමත් මේ සමඟම සිදු කර තිබෙනවා. මේ ගුවන් තොටුපොළ ඉන්දියාව මධ්‍යයේම පිහිටා ඇති බැවින් සෙසු නගරවලට මෙන්ම විදෙස් රටවල් රැසකට කඩිනමින් ගමන් කිරීමට හැකි වන නිසා මේ ගුවන් තොටුපොළ සංවර්ධනය ඉමහත් වැදගත්කමක් උසුලනවා. මේ ගුවන් තොටුපොළ මඟින් විශේෂ අවස්ථාවල ගුවන් මඟීන්ට අවශ්‍ය පහසුකම් විශේෂයෙන්ම සැලසීමත් මෙහිදී අගය කළ යුත්තක්. පසුගියදා හජ් වන්දනාවේ ගිය බැතිමතුන්ට වෙනම පර්යන්තයක් ස්ථාපිත කිරීම එයින් එක් පහසුකම් සැලසීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේද මේ අයුරින් හරිත නගර මෙන්ම හරිත ගුවන් තොටුපොළ සංකල්පය ආරම්භ කළ යුතු බවයි එම්.ජී.ආර්. හයිද්‍රාබාද් අන්තර්ජාතික ගුවන්තොටුපොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එස්.ජී.කේ. කිෂෝර් මහතා පෙන්වා දෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට බලා සිටින බවත් ඔහු පවසනවා. ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුර එම්.ජී.ආර්. හයිද්‍රාබාද් අන්තර්ජාතික ගුවන්තොටුපොළ සමාගමේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටියා. අපේ ගුවන් තොටුපොළ තවමත් හරිත සංකල්පයක් අසලකට වත් ඇවිත් නැහැ. ඒ නිසා අපට ඉන්දියාවෙන් ලබා ගත යුතු ආදර්ශ රැසක් තිබෙනවා. මෙහි විශේෂය වන්නේ ඔවුන් අපට උපකාර කිරීම සඳහා මේ වන විටත් සූදානමින් සිටීමයි. එහෙත් ඉන්දියාවෙන් උපකාර ලබාගන්නවාට අකැමැති යම් පිරිසක්ද සිටීම අපේ සංවර්ධන කටයුතුවලට බාධාවක් බවයි පෙනී යන්නේ. අපට අසල්වැසි ඉන්දියාව අතීතයේ සිට සහාය වූවාක් මෙන්ම වත්මන් සංවර්ධන කටයුතු සඳහාද ඔවුන්ගේ උදවු අවශ්‍ය වන බව ඉතා පැහැදිලි වන්නේ ඔවුන්ගේ තාක්ෂණය හා අපේ තාක්ෂණය අතර පරතරය දෙස බැලූ විටයි. අවම වශයෙන් අන්තර්ජාතික තලයේ අවශ්‍යතා හෝ ඉන්දීය රජයේ සහායෙන් සිදු කරන්නේ නම් අපට විශ්ව ගම්මානයේ හිමි වන ස්ථානය මීට වඩා ඉහළට එන බවයි පෙනී යන්නේ.

මේ වන විට ඉන්දියවේ ගුවන් සේවා සමාගම් 9ක් හා විදේශීය ගුවන් සේවා 20ක් සමඟ සබඳතා පවත්වාගෙන යෑමට හයිද්‍රාබාද් ගුවන් තොටුපොළට හැකිව තිබෙන්නේ එම්.ජී.ආර්. හයිද්‍රාබාද් අන්තර්ජාතික ගුවන්තොටුපොළ සමාගම නිසා බවයි කිෂෝර් මහතා පෙන්වා දෙන්නේ. මේ වන විට ගමනාන්ත 47ක් දක්වා ගුවන් සේවා පැවැත්වෙන බවත්, එයින් දේශීය ගමනාන්ත 17ක් හා අන්තර්ජාතික ගමනාන්ත 17ක් තිබෙන බවත් ඔහු පවසනවා.

අද වන විට මඟී ධාරිතාව 13%කින්ද භාණ්ඩ ධාරිතාව 9%කින්ද ගුවන් මෙහෙයුම් 7%කින්ද ඉහළ නැඟ ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. මේ වසරේ මිලියන 17ක ගුවන් මඟී මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සමාගම අපේක්ෂා කරනවා.

හයිද්‍රාබාද් ‍ගුවන් තොටුපොළ අවට හරිත සංකල්පය වඩාත් දියුණු කරමින් ගුවන් තොටුපොළ ආශ්‍රිතව මෙගාවොට් 5ක සූර්ය බලාගාරයක් ඉදි කර ඇති අතර, වසරකට කාබන් මෙට්‍රික් ටොන් 7100ක විමෝචනයක් අඩු කරගෙන පරිසරය ආරක්ෂා කරගැන්මටත් සමාගමට හැකිව තිබෙනවා. සමාගම විසින් ගුවන් මෙහෙයුම් මඟින් පමණක් ඉන්දීය ආර්ථිකයට ඉන්දීය රුපියල් බිලියන 75.90ක් 2009-2010 කාල වකවානුවේ ලබා දී තිබෙනවා. සමාගම ඉන්දීය රජයේ දළ ජාතික නිෂ්පාදිතයට 1.2%ක පමණ දායකත්වයක් සපයනවා. මේ දායකත්වය වසර 2020 වන විට 2% දක්වා ඉහළ නංවාගැනීමයි සමාගමේ අපේක්ෂාව වී ඇත්තේ.

එසේම 2009 2010 කාලවකවානුවේදී ඍජු හා වක්‍ර රැකියා 840,000ක් සමාගම විසින් මේ ගුවන් තොටුපොළ හා සම්බන්ධ හරිත පුරවරයෙන් සලසා දී ඇති බවත් මෙහිදී කිෂෝර් මහතා අපට පැවසුවා. ඒ සමස්ත ඉන්දිය රැකියා දායකත්වයෙන් 0.18%ක ප්‍රමාණයක්. මෙහි ඉදිකිරීම් කටයුතු මඟින් 121,700ක් පමණ පිරිසකට රැකියා අවස්ථා සැලසුණා. ජී.එම්.ආර්. සමාගම මේ වන විට සම්මාන රැසක් දිනාගෙන තිබෙනවා. එයින් වඩාත්ම වැදගත් ලෙස අපට පෙනෙන්නේ 2015 වසරේ ඔවුන් හිමි කරගත් ‘ගෝල්ඩන් පීකොක් එන්වයර්මන්ට් මැනේජ්මන්ට්‘ සම්මානයයි. මීට අමතරව මේ වන විට සම්මාන හා සහතික 11ක් දිනාගන්නට සමාගමට හැකිව තිබෙනවා. ඒ අතර හොඳම භාණ්ඩ මෙහෙයුම් ගුවන් තොටුපොළ සම්මානයත්, හොඳම භාණ්ඩ බහාලුම් පර්යන්තය හිමි ගුවන් තොටුපොළ සම්මානයත් ඔවුන්ට හිමිව තිබෙනවා. ඉන්දීය සහ මධ්‍යම ආසියා කලාපයේ හොඳම කලාපීය ගුවන් තොටුපළ අතර 2 වන ස්ථානය හිමි කරගන්නත්, ආසියාවේ හොඳම කලාපීය ගුවන් තොටුපළ අතර 7 වන ස්ථානය දිනාගන්නත් සමාගමට හැකි වුණා.

මේ සමාගම මේ වන විට ඉන්දීය නව දිල්ලි ගුවන් තොටුපොළ, පිලිපීනයේ මැක්ටන් ගුවන් තොටුපොළ හා තුර්කියේ ඉස්තාන්බූල් ගුවන් තොටුපොළ නවීකරණයට දායක වී තිබෙනවා. එසේම ආසියා පැසිපික් පුහුණු ආයතනයක් පවත්වාගෙන යෑමට හා ගුවන් යානා නඩත්තු ආයතනයක් පවත්වාගෙන යෑමටත් කටයුතු කර තිබෙනවා. මේ තරම් අන්තර්ජාතික තලයේ කැපී පෙනෙන සමාගමක් අපට සහාය දෙන්න බලා සිටිනවා. එහෙත් අපේ ඇතැම් පාර්ශ්වයන් ඒ සඳහා කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න ප්‍රශ්නයත් අපට තිබෙනවා. මේ සමාගම ඉන්දීය රජයේ ආර්ථිකය නංවන්න මෙසේ ඍජු දායකත්වයක් දක්වන අතර ගුවන් තොටුපොළ වටා ඇති ගම්මාන 20ක් පමණ ආවරණය කරමින් එම ගම්මානවල ජනතාවට ඍජු රැකියා ලබා දීමත් වෘත්තීය පුහුණුව ලබා දීමටත් පෝෂණ මධ්‍යස්ථාන ඇති කිරීමට හා ජංගම වෛද්‍ය ඒකක ස්ථාපිත කිරීමටත් කටයුතු කර තිබෙනවා. එමෙක්ම දස්කම් සහිත දරුවන්ට අනුග්‍රාහක දායකත්වය ලබා දීමටත් මැහුම් පුහුණුව හා ජල පිරිපහදු කිරීමේ පහසුකම් ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. එහෙත් අපේ රටේ ගුවන් සේවයට සිදු වූයේ ගම්බද අසරණ ජනතාවගේ බඩවියත හූරාකමින් ගුවන් යානා ණය ගෙවන්නයි.

අප මේ වෙනස තේරුම් ගෙන කටයුතු කළ යුත්තේ කෙසේද? යන්න ගැන මෙනෙහි කළ යුතුයි. අපගේ ජාතික සම්පත් රැකගෙන ඒ සියල්ල ආර්ථික ලාභදායි ලෙසින් පවත්වාගෙන යන්නට ජී.එම්.ආර්. සමාගම සමඟ එක් වුව හොත් අපට ලෝකය ජය ගැන්ම එතරම් අසීරු වන එකක් නැහැ. එසේ නොවුව හොත් සිදු වන්නේ ඉදිරියට දුප්පතාගේ බත්පතින් පවා බදු අය කරමින් මුදල් ලබාගෙන, මේ අධික ණය කන්දරාව ගෙවන්නට සිදු වීමයි.

(විශේෂ ස්තුතිය: ඉන්දීය බාහිර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රචාරක නිලධාරි රජේන්ද්‍ර කුමාර් මහතාට හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් නිතින් යේඕලා මහතාට)

(ඉන්දීය සංචාරයකින් පසු)
තාරක වික්‍රමසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.