නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

කිඹුල් හංකිති

‘මුන්නැහැලට කියන්ඩ, මං දිය යට කිමිදෙනකොට දැක්ක කිඹුල ඔය ඇත්තිව ඩැහැගන්ට දඟලනව. කිඹුල්ලුන්ට හංකිති තියනව කියනව කියන එක මට එවෙලෙ මතක් වුණේ පූරුවෙ පිනකට වගේ. මං එකපාරට ම කිඹුලගෙ යටි බඩට කිට්ටු කරල ඌට හංකිති කවන්ඩ තියා ගත්ත.

පන්සල පිහිටියේ මෙගොඩ ගම්මානයේ උස් බිමේ ය. පහළින් ඔය ගලා ගියේ ය. එගොඩින් දිස් වූයේ වෙල් යායකි. එය අවසන් වූයේ එගොඩ ගම්මානයෙනි. දෙගොඩට ම තිබුණේ මේ පන්සල පමණි.

චාම් ගොවි දිවියක් ගෙවූ මේ දෙගම්වාසීනට ම අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීමෙන් හාමුදුරුවන් ලද්දේ ලොකු සතුටකි. මැදි වියේ පසු වුවද නිරෝගී ශක්තිසම්පන්න සිරුරකින් හෙබි උන්වහන්සේ උස් පන්සල් පිලේ හාන්සි පුටුවෙහි විවේකීව හිඳ පහළින් ඇති මනරම් දසුන නැරැඹීමට ප්‍රිය කළහ.

මේ කියන දවසේ ද උදෑසන ගෙවී, ඇරැඹි නැවුම් දහවලේ උන්වහන්සේ සිටියේ එසේ ය.

ඈත කුඹුරු යායේ ගොවියෝ වැඩ කරමින් සිටියහ. සමහරු මී ගවයන්ගෙන් සී සෑහ. කොක්කු ‍ඔවුනට ඉහළින් ඉගිළෙමින් සිටියහ.

මෑත ඔය තෙරේ තරුණ මවක් රෙදි හෝදමින් සිටියා ය. ඇය සිටියේ ඔය දියට දෙපා වැටෙන සේ ය. ඇය ළඟ රෙදි ගොඩක් විය. ඇගේ දරු දෙදෙන ඔය ඉවුරේ වැලි කෙළිමින් පසුවූ හ.

හාමුදුරුවෝ පසෙකට නැමී බුලත් වට්ටිය ළගට ගත් හ. අනතුරුව පුවක් කෑල්ලක් මුවෙහිලා ටකස් හඬින් හැපූ හ.

‘අම්මේ! අනේ අම්මේ!’ හිටිහැටියේ ම ළමා අඳෝනාවක් නැඟිණ. උන්වහන්සේ පහළ ඔය දෙස බැලූ හ.

දෑත් ඔය දෙසට දිගු කරමින් ළතෝනි දෙමින් සිටියේ අර පොඩි උන් දෙදෙනා ය. රෙදි සෝදමින් සිටි මව එතැන නොවූවා ය. ඔය දියේ කැලඹිලි රැළි නැගෙමින් තිබිණ.

මේ දවස්වල ඔයට කිඹුලකු පැමිණ සිටිනවා නොවේදෝ යන වග ඒ සමඟ ම උන්වහන්සේ ගේ හිතට නැගිණ,

‘අම්මේ! අනේ අම්මේ!’ දරුවෝ ද ඔය දෙසට ම අත් දිගු කරගෙන කෑ මොර දෙන්නට වූ හ.

හාමුදුරුවන් වහා ම නැගිට්ටේ සිවුර ගැලවී හාන්සි පුටුව මතට ම වැටෙන අයුරනි. උන්වහන්සේගේ මුහුණේ ඉරියව් බලවත් ම නැගී ආවේ ය. අඳනකඩය පිටින් ම මළුව දිගේ වේගයෙන් ගිය උන්වහන්සේ වහා දිවගොස් ඔයට පැන දියෙහි කිමිදී ගිය හ.

හාමුදුරුවන් දියෙන් මතු වූයේ දරු පැටවුන් විලාප තියන තැනට ඔබ්බෙනි.

‘අම්මව ඇදගෙන ගියා!’ යි දරුවෝ කෑගාන්නට වූහ.

තමන් හිතූ දේ හරියට ම හරි බව දැන ගත් හාමුදුරුවෝ හොඳ හුස්මකින් පෙණහලු පුරවාගෙන යළි ඔය දියේ යටට කිමිද ගිය හ.

දරුවන්ගේ කෑගැහිල්ල ඇසුණු ගොවියෝ ද ඔය ඉවුරට දිව ආ හ.

ඔය නිසලව ගලා ගියේ ය. ඊළඟ මොහොතේ කෙනෙක් දියෙන් මතු වූහ. ඒ හාමුදුරුවෝය. කට හැර මහ හුස්මක් ගත් උන්වහන්සේගේ දැඟලිල්ලෙන් පැහැදිලි වූයේ දිය යටින් යමක් ඇදගෙන එන බව ය.

මෙවිට ගොවියෝ ද ඔය දියට පැන උන්වහන්සේ ළඟට පිහිනූ හ.

‘ගනිල්ල ගනිල්ල! මේ යෝදිව ගනිල්ල!’ උන්වහන්සේ හඬ තැළූ හ.

හාමුදුරුවන් ගැමි කත ඇද ගෙනැ’විත් තිබුණේ ඇගේ කෙහෙවල්ලෙනි. ගොවියෝ ඇය ඔසවා ඔය ඉවුරට ගත් හ.

ගැමි කතගේ අප්‍රාණික නමුත් යාන්තම් හුස්ම වැටෙමින් තිබූ සිරුර ඔය ඉවුරේ දිගෑදිණ. කෙනෙක් සිය ජටාව ගලවා දිග හැර ඇගේ විළි වැසූ හ.

ඇගේ පයක ලොකු තුවාලයක් විය. ගැමියෝ ඇගේ කුස පිරී තිබුණු දිය හිස් කර රෝහල කරා ගෙන යෑමට ඈ ඔසවාගෙන ගම්මානයට ගිය හ.

සවස් කාලයේ සැතපී සිටි හාමුදුරුවන් අවදි වන විට දෙගම්ගොඩේ ම දායකයන්ගෙන් පන්සල් බිම පිරී තිබිණ.

‘සුවපත් වේවා!’ තමන් ඉදිරියේ වැඳ වැටුණු දායකයන්ට සෙත් පතමින් උන්වහන්සේ සුපුරුදු හාන්සි පුටුවේ හිඳ ගත්තේ ප්‍රීතිමත් මුහුණිනි.

‘මුන්නැහැලට කියන්ඩ, මං දිය යට කිමිදෙනකොට දැක්ක කිඹුල ඔය ඇත්තිව ඩැහැගන්ට දඟලනව. කිඹුල්ලුන්ට හංකිති තියනව කියනව කියන එක මට එවෙලෙ මතක් වුණේ පූරුවෙ පිනකට වගේ. මං එකපාරට ම කිඹුලගෙ යටි බඩට කිට්ටු කරල ඌට හංකිති කවන්ඩ තියා ගත්ත. එතකොට කිඹුල කැරහෙන්ඩ ගත්ත. එතකොට ම මට ඔය ඇත්තිගෙ කෙහෙවල්ල දියේ ඉහිරෙනව පෙනුණ. මං ඒක අල්ලල ඇදල අරං උඩට ආව. ඕකයි උණේ! දැන් කොහොමද ඒ ඇත්තිට? පණ කෙන්ද ‍ෙබ්රුණා නේද?’

‘එහෙමයි ලොකු හාමුදුරු‍වනේ’ කියමින් කවුරුත් උන්වහන්සේ දෙස බලා සිටියේ පුදුමයෙන් දෑස් ලොකු කරගනිමිනි.

කලකට පෙර සිදු වී තිබුණ මේ සිද්ධිය මට කියා තිබුණේ මගේ වැඩිහිටි ඥාතියෙකි. එකල මම එය ගැමි පුරසාරමක් කොට තැකුවෙමි. කිඹුලන්ට කිති ඇති බව මා දැන ගත්තේ මෑතකදී ය.

කෙහෙල්ඇල්ලේ සේපාල සේනානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.