මේ ගෑනි මාව තුට්ටුවකට මායිම් කරන්නේ නෑ | සිළුමිණ

මේ ගෑනි මාව තුට්ටුවකට මායිම් කරන්නේ නෑ

සර්... බය වෙන්න එපා. ‍

ෙම්ක පිරිසුදු ප්‍රාර්ථනාවක්. උගත් දෙමළ තරුණ ළමයින්ට දැන් තේරුම් ගිහින් තියෙනවා, වල්උ‍ෟරො කැකුණ තළන කොට හබන් කුකුළන්ට මඟුල් කියන කතාව ඇත්ත කියලා.

අපි ජාතීන් වශයෙන් ගැටෙන කොට මේ රටට ඇතුළු වෙන්න හදන බලවත් ජාතීන්ට

ඒක ලොකු වාසියක්. ඇයි අපි බලවත් ජාතීන්ගෙ බළල් අත් වෙන්නෙ කියන අදහස උගත් දෙමළ ළමයි තුළත් ඇති‍වෙලා...

පිය ගැට පෙළ බැස එන නරේන්ද්‍ර මන්ත්‍රිවරයාගේ මුහුණේ සතුටක් හෝ ප්‍රභාවක් දකින්නට නැත්තේ මන්දැයි රුක්නාද් තමාගෙන් ම අසා ගත්තේය.

කාර්ය බහුලකම හෝ තමා ගේ පැමිණීම කරදරයක් වීම නිසා හෝ නොවේ නම් මන්ත්‍රිවරයා අසනීපයෙනි.

මන්ත්‍රිවරයා දුටු සැණින් රුක්නාද් හුනස්නෙන් නැගී සිටියේය.

“වාඩිවෙන්න වාඩිවෙන්න. මට නිකමට වගේ හිතුණා රුක්නාද් එයි කියලා.”

“ප්‍රශ්න ටිකක් තියෙනවා කතා කරන්න. කරුණුකාරණා ටිකක් තියෙනවා කියන්න. ඒත් සර් අසනීපෙන් වගේ මට පේන්නෙ. මූණ සුදුමැලි ‍පාටයි.”

“ආ. ඒ මට පාණ්ඩුව. ලේ නෑ.”

නරේන්ද්‍ර කීවේ උපහාසයෙනි. මේ රටේ බොහෝ මිනිසුන්ගේ පොදු ගති සොබාවක් ඇත. කෙනෙක් හමු වූ විට ආයුබෝවන් කියමින් කතාවට ඇරැඹුම දෙති. ඔහු සිතන්නට විය.

ඉන්පසු නොනැවතීම අසන්නේ අසනීපයන් ගැනමය.

“සීනි වැඩිවෙලා ද? කොලස්ටර්රෝල් බැලුවාද? බොන්නේ නැහැනෙ? ශිරෝසිස් නම් නැතුව ඇති, දැන් මේ පළාත් භේදයක් නැහැ වකුගඩු අමාරු හැම තැනම. අසනීප පාටයි. මෙඩිකල් චෙකප් එකක් කරවා ගන්න. දැන් වයසයිනෙ ටිකක්. ඔක්කොටම වැඩිය මදුරු කරදරේ”

මෙවන් විස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණයක් මහ මඟදී පැවැත්වීමේ අරමුණ කුමක් ද? වෛද්‍ය වාර්තා තුළ නැති රෝග, වෛද්‍යවරයා නොදන්නා රෝග, මහ මඟ හමු වූ මිත්‍රයාගේ ප්‍රාර්ථනාවක් වැනි ය.

රෝගයට අදාළ වයිරස්, විෂබීජ, සීනි, මේද, පිළිකා කාරක, අධිවේගී ලේ ධාවනය, ස්නායු රෝග, සියල්ල ඇත්තේ යහපත් මිතුරාගේ අයහපත් සිත තුළය. ඒවා සාධු ගුණෝපිත ප්‍රශ්න ලෙසින් මුවින් පිට වන විට “ආයුබෝවන්” සිඳී බිඳී සුනු විසුනුවී හෙට අනිද්දා නොව මේ මොහොතේ ම මිය යෑමට තරම් ප්‍රබල වෙයි.

ආයුෂ වැඩිවේවා, බොහෝ කල් ජීවත් වේවා ප්‍රාර්ථනය දැන් දැන් ජීව ගුණයෙන් හිස් වෙමිනි.

මේ සංස්කෘතික සෝදා පාළුව තුළ ‘හායි බායි” ව්‍යාප්තවීම ගැන තරුණ මන්ත්‍රීවරයාට කරුණු කීමෙන් පලක් නැතැයි නරේන්ද්‍ර සිතුවේය. එය වෙනස්වීමේ හැටි සොබාවයි.

“මට පාණ්ඩුව කිව්වම රුක්නාද් බය වුණාද? බය වෙන්න එපා. ඒක බෝවෙන ලෙඩක් නෙමේ.”

“සර් කියන එක පිළිගන්න බැහැ.”

“ඇයි?”

“පාණ්ඩුව කියන්නෙ ලේ නැතිකමටනෙ. ඔන්න අධිපෝෂණය කිව්වා නම් විශ්වාස කරන්න තිබුණා.”

රුක්නාද් ගේ වැටහීම නරේන්ද්‍ර මන්ත්‍රිවරයා මහ හඬින් සිනා ගන්වන්නක් විය. දේශපාලන ලෝකයේ ලේ හිඟ ඇත්තන් සිටී යැයි සිතීම මහා විහිළුවකි.

වැඩිහිටි මන්ත්‍රිවරයා මෙතරම් සිනාසෙන්නේ මන්දැයි වටහා ගත නොහැකිව මෙන් තරුණ මන්ත්‍රිවරයා මඳක් විවර මුඛයෙන් විසල් වූ දෙනෙතින් ඔහු දෙස බලා සිටියේය.

“සර් මට විහිළු කරනවා.”

ඔහු කීවේ සෙමිනි. නරේන්ද්‍ර ගේ සිනාව ඕනෑකමින් සිදු කරන රංගනයකැයි දුරින් සිටි බන්දුලට සිතිනි.

“ඔය වල්පල් කතා පැත්තකට දාන්න. රුක්නාද්ට ආරංචි ඇති ස්විස් ගමන ගැන. ඔයාට අපෙන් තෑග්ගක්. ඔයාලගෙ මිනිස් ජනාවාස වැඩසටහනට අපේ ලොක්කා පැහැදිලා. එතුමා කියනවා රට ගැන හිතලා යමක් කරන්න හදන කෙනෙකුට පක්ෂය ජාතිය ගැන නොහිතා උදව් කරන්න ඕන කියලා.”

“ස්තුතියි සර්. ඔය ස්විස් ගමනට තවත් වැදගත් කාරණයක් එකතු කර ගන්න පුළුවන් අපිට.”

රුක්නාදගේ තරුණ මුහුණ බැබළෙන්නට විය. දුෂ්කර වූ කාර්යයකට ජයග්‍රහණයේ මුල් ආලෝක දහරාව පතිතව ඇත.

“සර්, මේ ප්‍රජාතන්ත්‍රවාදි සම්මේලනය ගැන බටහිර රටවල ඉන්න දෙමළ තරුණ ළමයි හොඳට හොයලා බලලා, අපි කියන අදහස් ගැනත් අධ්‍යයනය කරලා. මටයි තව දෙතුන් දෙනෙකුටයි ස්විස්වලට ආරාධනාවක් එවලා. ඊ මේල් ආරාධනාවක් නම් තමා.”

නරේන්ද්‍ර තිගැස්සුණේය. ලොව තම අතට ගන්නට මෙන්, මෙරට ජනවාර්ගික ගැටලුවලට එකම විසඳුම පෙඩරල් රාජ්‍යයක් උතුරට දීම යැයි හඬ නගන දෙමළ ඩයස්පෝරාව, මිනිස් ජීවිතයේ සැබෑ නිදහස ගැන කතා කරන රුක්නාද් අරුණාචලම් වටා ජාතිවාදී දැලක් දැමීමේ සූදානමකද?

“සර්... බය වෙන්න එපා. ‍ෙම්ක පිරිසුදු ප්‍රාර්ථනාවක්. උගත් දෙමළ තරුණ ළමයින්ට දැන් තේරුම් ගිහින් තියෙනවා, වල්උ‍ෟරො කැකුණ තළන කොට හබන් කුකුළන්ට මඟුල් කියන කතාව ඇත්ත කියලා. අපි ජාතීන් වශයෙන් ගැටෙන කොට මේ රටට ඇතුළු වෙන්න හදන බලවත් ජාතීන්ට ඒක ලොකු වාසියක්. ඇයි අපි බලවත් ජාතීන්ගෙ බළල් අත් වෙන්නෙ කියන අදහස උගත් දෙමළ ළමයි තුළත් ඇති‍වෙලා...”

“පොඩ්ඩක් ඉන්නවා, පොඩ්ඩක් ඉන්නවා. තමා මේ තරම් අලංකාර විදිහට තැනට ගැළපෙන විදිහට සිංහල කතා කරන්න ඉගෙන ගත්තෙ කාගෙන්ද? හබන් කුකුළන්ගෙ මඟුල් කෑම බළල් අත් පාවිච්චිය... අපූරුයිනෙ.”

“මං මේ ළඟදි පෙටාවල පේමන්ට් එක දිගේ ඇවිදගෙන යන කොට වෙළෙන්දෙක් ‘ලස්සන සිංහල කියමන්’ කියලා පුංචි පොතක් විකුණනවා. ලෝභ නැතුව ගත්තා එකක්. ගිහින් කියෙව්වා. මිනිස්සුන්ගෙ ප්‍රායෝගික ජීවිතයේ ගැඹුරු අර්ථ නිරූපණයක් දැක්වෙන ආප්තෝපදේශ, උපමා උපමේය, ප්‍රස්තා පිරුළු, දහම් ගැට සේරම තියෙනවා. පුංචි පොතක් නෙමේ සර් මිනිස් ජීවිත ගැන උගන්වන මහා ග්‍රන්ථයක්.”

නරේන්ද්‍ර සිත ලජ්ජාවෙන් සසල වන්නට විය. මේ ද්‍රවිඩ මන්ත්‍රිවරයා හැම විට ම කියන්නේ දෙමළ බස කතා කරන පවුලක උපත ලැබුවද ඔහුගේ ශ්‍රේෂ්ඨ සහෝදර භාෂාව සිංහල බවයි.

තම සිංහල මිතුරන්ගේ දූ පුතුන් වැඩි දෙනෙක් ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර ඒ උන්ගේ මවුපියන් නිතර ම මැසිවිලි නගන්නේ තම දරුවන්ට දුෂ්කර අමාරු විෂයය සිංහල භාෂාව යයි පවසමිනි. ඒ සඳහා දරුවෝ හැම දෙනා ම සිංහල ඉගැනුමට “ටියුෂන්” යති.

“සර්”

නරේන්ද්‍ර කල්පනා කරන්නේ තමාගේ භාෂා ඥානය පිළිබඳ යැයි සැක සිත් ඇති රුක්නාද් ඔහු ගේ කල්පනා දැහැන දෙකඩ කිරීමට සිතුවේ කාලයේ වේගය ගැන පසුතැවිල්ලෙනි. කාලය නිනව්වක් නැති ගමනක නොවේ.

“සර්ට අපේ පෙළ ගැස්ම ගැන විශ්වාසයක් නැද්ද? සර් නිතර ම කියනවනෙ කොතනින් හරි පටන් ගන්න ඕන කියලා. සර් බයවෙන්න එපා. අපි හිතුවටත් වැඩිය හොඳ ආරම්භයක්.”

ඔහු නරේන්ද්‍ර අමතන විට නරේන්ද්‍ර ගේ දෙනතේ ඔහු දෙසට ඍජුව ම හැරුණේය.

“බය වෙන්න එපා? මොකක්ද ඒ කතාවෙ තේරුම? මං කල්පනා කළේ මේ වැඩවලට සම්බන්ධ වෙන හැටි. මූණ දෙන හැටි. පවත්වාගෙන යන හැටි. ප්‍රශ්නෙකට මුහුණ දෙන කොට බය වෙලා බැහැ. කොයි දෙයක් වුණත් නිවැරැදිව නිවැරැදි තැනින් පටන් ගත්තෙ නැත්නම් ඉස්සරහට යන්නෙ නැහැ. යන්න බැහැ.”

“සර් කියන්න. මොනවද අපි කරන්න ඕන?”

“මුලින් ම දිවයින් මානසිකත්වය බිඳින්න ඕන.”

රුක්නාද්ගේ දෙනෙත් සැලෙන්නට විය. ඇසි පිය වේගයෙන් ගැටුණේ මෙතෙක් අසා නැති වචනයක තේරුම යුහු යුහුව සොයා ගන්නට මෙනි.

“ඒ කිව්වෙ?”

“රුක්නාද් අපේ ර‍ටේ අපි හැම දෙනා ම මැටි මෝල් විදිහට රට ගැන හිතන්නෙ.”

“ අපි ඒක වෙනස් කරමු සර්. රට ඇතුළෙදි වගේ ම රටින් පිටදිත් අපි ‍අපේ රටේ අභිමානය ගෞරවය ගැන කතා කරමු.”

“හොඳයි. බොහොම හොඳයි.”

“අපි කාවද එක්ක යන්නෙ සර්? තරුණ දෙමළ සංවිධානයක්නෙ අපිට ආරාධනා කරන්නෙ. ලෝක ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගත්තට පස්සෙ අපිට පුළුවන් ඒ අයට එකතු වෙන්න. උතුරේ අපේ මිනිස් ජනාවාස සංවිධානෙන් දෙ‍න්නෙක් ගෙනියන්න ම ඕන. ජර්මන්, ප්‍රංස, ඉංග්‍රිසි හොඳට කතා කරන නංගි කෙනෙක් ඉන්නවා. තව යාපනේ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් ඉන්නවා.

“මේ පැත්තෙන් කවුද තෝරන් ඉන්නෙ, රුක්නාද්?”

“මගෙ අදහස මනෝහරියි රෝජායි.”

නරේන්ද්‍ර නිහඬ විය. එය අසාර්ථක තෝරා ගැනීමක් වීමේ අවකාශ වැඩිය.

“ඉන්ද්‍රජිත් ලබන සතියෙ ලංකාවට එනවා කියලා ම‍නෝහාරි කිව්වා. ගැටලුව ඒකයි.”

“කාවවත් ගැටලුවක් කර ගන්න එපා. තමන්ගෙ වැඩේ කරගෙන යන්න. එන දේකට මුහුණ දෙන්න.”

රුක්නාද් ආපසු ගියේ විසඳාගත් ගැටලු නිසා නිදහස් ප්‍රීතිමත් සිතකින් නොවේ. ඉන්ද්‍රජිත්ගේ ගමන ප්‍රමාද කර ගැනීමට නරේන්ද්‍ර මන්ත්‍රීවරයා හා කතා කිරීමෙන් පලක් නැතුවා වැනිය.

තරුණ මන්ත්‍රිවරයා සමඟ මෙතරම් සන්සුන් සිතකින් තමාට කතා කරන්නට හැකිවීම නරේන්ද්‍රගේ සිතට සහනයක් ගෙන දුන්නේ ඔහුටත් නොදැනීමය.

අනතුරුව ඔහු සිත පීඩාවට පත් කරන්නට මෙන් රෝජා සඳපාණි සහ මනෝහාරි ඔහු‍ගේ සිතුවිලි ආක්‍රමණය කරන්නට විය. රෝජා තරුණිය එන්නේ ම ප්‍රියදෝණි මහමායා කැටිව මිස අතහැර නොවේ.

සමුද්‍රා ලෙන්දොරට තනි රකිමින් ගිය ස්විස් ගමන නිමා වූයේ පෞද්ගලික ඇවතුම් පැවතුම්වලට සුපුරුදු ලෙස වුණත්, ඉන් ජීවිතය බිඳ වැටුණු සැටි අවබෝධ කර ගන්නට හැකි වූයේ ප්‍රියදෝණි මහමායාගේ දීර්ඝකාලීන ප්‍රතික්ෂේපය නොනැවතීම නොකඩවාම ඉදිරියට ඒමෙනි. එය මතකයේ සියුම් ස්නායු මත ගිනි අවුලන්නකි.

“මේ ගෑනි මාව තුට්ටුවකටවත් මායිම් කරන්නෙ නැහැ.”

දිනක් තමා නඩු කීවේ සිරිමෙවන් ලේකම්වරයාට වීම සොඳුරු කටුක සිදුවීම් සේ ජීවිත සටහන් තබා තිබීම ගැන ‍නරේන්ද්‍ර සිතන්නට විය. ලේකම්වරයා එදා මෙන් ම අද ද හිතෛෂි විශ්වාසවන්ත සමීපතමයාය.

“සර්ව තුට්ටුවකටත් මායිම් නොකරන්නෙ කොයි ගෑනිද?”

සිරිමෙවන් ලේකම්වරයාගේ ප්‍රශ්න කිරීමෙන් කිපුණ සිත සඟවා ගත් තමා මහ හඬින් සිනාසුණේ කඩා හැළෙන්නට යන අධිපතිකම රැක ගැනීමට නොවේද?

“දුක හිතෙනවා සර්”

සිරිමෙවන් කීවේ සරදමටය.

“ඇයි තමුන්ට දුක? කා ගැනද දුක?”

“සර් ගැන”

“ඇයි?”

“ප්‍රියදෝණි මැඩම් අවුරුද්දක අධ්‍යයන නිවාඩු ඇතිව ශිෂ්‍යත්වයක් ලැබිලා ඉන්දියාවට ගියා.”

තමා කොතැනක අතරමං වුණාදැයි නොදැන වික්ෂිප්ත දෙනෙතින් ලේකම්වරයා දෙස බලා සිටින විට ලේකම්වරයාගේ මුහුණ විවිධ භාව ප්‍රකාශන කේන්ද්‍රස්ථානයක් වුණ සැටි කාලයක් යන තුරුම තමා බිය ගැන්වූ සැටි නරේන්ද්‍ර සිහි කරන්නට විය. දුක, කෝපය, සරදම, සමච්චලය, උපහාසය ලේකම්වරයා සඟවා ගෙන තිබුණේ නැත.

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.