වියපත් දෑතින් වේවැල් රටා මවන සිද්ධමුල්ලේ කමලා | සිළුමිණ

වියපත් දෑතින් වේවැල් රටා මවන සිද්ධමුල්ලේ කමලා

"මම කරන දේ හරියටම කරනවා " ඒ හින්දා තමයි මට මේ වෙනකම් කිසිම අභියෝගයක් ඇවිත් නැත්තේ "යනුවෙන් ඇය ප්‍රකාශ කළේ මහත් අභිමානයෙන් යුක්තව ය'මැදි විය ඉක්ම වු කාන්තාවක් වුව ද ඇයගේ කඩිසරබව තරුණිය‍කගේ කාර්යශූරබවටත් වඩා අගනේ ය‍ .'ඇයව අපට මුණ ගැසුණේ වෘත්තීමය කටයුත්තක් සඳහා කොළඔ වෛද්‍ය පීඨයට ගිය අවස්ථාවක දී ය. වයසින් වැඩි වුව ද ඇය සතුව කිසියම් සීදේවී පෙනුමක් තිබෙනා බව මා හට වැටහිණි.

"අපේ තාත්තා මොරටුවේ විල්ලෝරවත්තේ හිටපු වඩු වැඩ කරපු කෙනෙක් .අපේ ආච්චිත් ඒ කාලේ පුටු වියන්න හරිම දක්ෂයි . ඒ දේවල් මම පුංචි කාලේ ඉඳලම බලාගෙන ඉගෙන ගත්තා "කුඩා අවධියේදීම ඇය තම අවට සමාජ පරිසරය තුළින් තමන්ගේ අනාගත ජීවනෝපායට පිවිසෙන මඟ විවර කර ගත්තා ය' ' දිනෙන් දින තම පවුලෙන් ලබන අත්දැකීම් තුළින් නිසි පරිදි පුටු වීවීමේ ශිල්පය ඉගෙන ගත්තා ය. අවුරුදු හැත්තෑ හත් හැවිරිදි වියේ පසුවන කමලා අද වන විට ස්වකීය දක්ෂතාවයෙන් තම ආර්ථික තත්ත්වය ස්ථාවර කර ගෙන ඇත.

"මම ඉස්සෙල්ලාම ගොඩනැගිලි සංස්ථාවේ රැකියාවට ගියා. ටික කාලයක් ඒකේ වැඩ කරන කොට මට එතනින් ස්ථාන මාරු වීමක් ගන්න බැරි වෙලා මට ඒ රැකියාවෙන් අස්වෙන්න සිද්ධ වුණා. මම රස්සාවෙන් අස්වෙන්න වුණු එක ගැන දුක් නොවුණේ හිතට හරියන පඩියක් මට එතනින් ලැබුණේ නැති නිසයි. ඊටත් වඩා මම හිතුවා මගේ පරම්පරාවෙන් හිමි වු පුටු විවීමේ කර්මාන්තය මඟින් මට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා."

"ඊට පස්සේ මම හිතුවා තවත් කාන්තාවන් කිහිපදෙනෙක් සමඟ එකතුවෙලා පුටු වීවීම පටන් ගත්තොත් හොඳයි කියලා. ඉස්සෙල්ලම පුටු වියන්න පටන් ගත්තේ ඉසුරුපායෙන්.ඊට පස්සේ මම ප්‍රධාන රජයේ ආයතන, අධ්‍යාපන ආයතනවලට ගිහිල්ලත් පුටු වියන්න පටන් ගත්තා. අද වෙන කොට අපි රජයේ ආයතන 16 ක විතර පු‍ටු වියන්න යනවා. ඒ සෑම තැනකම ඉන්න නෝනලා මහත්තයලා මට හරිම කරුණාවයි.

අද අපි වෛද්‍ය පීඨයට ඇවිල්ලා ඉන්නේ මෙහෙ තියෙන පුටු වියන්නයි. මෙහෙ ඉන්න වෛද්‍යවරු මට හොඳට සළකනවා. ඒ මහත්වරුන්ගේ අඳුරන අයගේ වැඩක් තිබුණොත් මට ඇවිල්ලා කියනවා. අපිත් හොඳට වුවමනාවෙන් වැඩ කරන හින්දා ඔවුන්ට අපිව විශ්වාසයි".ඇය එසේ පැවසුවේ මුවකමලට සිනහවක් නංවමිනි.

කමලා වෛද්‍ය පීඨයේ පුටු වියන්නේ තවත් කාන්තාවක් ද සමඟය. ඔවුන් හරි හරියට තම රාජකාරිය ඉටු කරන්නේ රාජකාරිය දේවකාරියක් මෙන් සිතා ය.

"මම රජයේ ආයතනයකට ගියහම ඒ ආයතනයේ පුටු විතරයි වියන්නේ. හැකියාව දක්ෂතාවය තියෙනවා කියලා තණ්නාසෙන් වැඩ කරන්නේ නෑ. මම මේ වෙනකම් කිසිම තැනක වැඩට ගිහින් කපටිකමක් වංචාවක් කරලා අහු වෙලා නෑ.ඒ හින්දා තමයි අදටත් මම මේ විදිහට හොඳින් වැඩ කරගෙන ජීවිතය ගෙනියන්නේ.

"කොතරම් වයසට ගිය ද ඇයගේ ආත්ම ශක්තිය හෝ අඩු වී නොමැත. කොතරම් හැකියාවන් ඇතත් ඒ හැකියාව වැරදි අයුරින් භාවිතයට ගන්නා නුතන පරම්පරාවේ ඇතැම් අයට කමලා කියා දෙන්නනේ අපුරු පාඩමකි.

මිනිස් ජීවිතයක වටිනාකමක් ඇති වන්නේ ඒ පුද්ගලයා ජීවත් වී සිටින කාලය අතරතුර සිදු කර තිබෙන සඑලදායී ක්‍රීයාවන් තුළින් ය. මිනිසත් බවක් ලැබු ඇතැම් අය අලසව ජීවිතය ගෙවද් දී කමලා වැනි ජීවිතයේ සෑදෑ සමය ගෙවන කාන්තාවන් සැබවින් ම අගය කළ යුතු ය.

"උදෙන්ම නැගිටලා උයලා පිහලා ගෙදර දොර වැඩකටයුතු අහවර කරලා තමයි මම වැඩට එන්නේ. දවසේ වැඩ ඔක්කොම ඉවර වෙලා ගෙදර යන්නේ හවසට. මුළු දවසම පුටු වියලා තමයි මම කීයක් හරි හම්බ කර ගන්නේ. කරන දේ හරියට කරලා ගන්න කීය වුණත් ඒ දෙයින් හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා" එලෙස ඇය කථාබහ කරන අතරතුර වුව ද විනාඩියකට හෝ පුටු වීවීමේ කාර්යය අත් නොහරින්නේ ය. ඇය කතාබහ කිරීමට වඩා තමන්ගේ ජීවන වෘත්තියට කැප වන්නී ය.

දිනෙන් දින සමාජයෙන් මිලින වී යන වීවීමේ කර්මාන්තය වර්තමානයේ දී යම්තාක් දුරකට හෝ සුරක්ෂිත වී තිබෙන්නේ කමලා වැනි අත්තම්මලා නිසාවෙන් යැයි කීවාට වැරදි නැත. ඇය තම වීවීමේ හැකියාව උපයෝගී කර ගෙන තවත් කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ පුටු වීවීමේ කර්මාන්තය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගන්නට කැප වන්නේ ය.

වීවීමේ කර්මාන්තයට නුතනයේ තරුණ පරම්පරාව එතරම් ඇල්මක් දක්වන්නේ නෑ නේ ද? යන්න මම ඇයගෙන් විමසු මට ඇයගේ ප්‍රතිඋත්තරය වුයේ " අපේ මොරටුව පැත්තේ ගෑණු ළමයි නම් දැන් ගාමන්ට්වලට ගිහින් ඇදුම් මහනවාට වඩා කරන්නේ පුටු වියන්න යන එකයි. මම දන්න කාන්තාවක් ඉන්නවා පුටු කඩෙන් මිල දී අරගෙන ගෑණු ළමයි කිහිපදෙනෙක් වැඩට අරගෙන පුටු වියන්න දෙනවා. මේක තමයි දැන් කාලේ මොරටුව පැත්තේ ඉන්න තරුණ ගැහැණු ළමයින්ට තියෙන හොඳම රස්සාව. දැන් කාලේ ගෑණු ළමයි පුටු වියලා හම්බ කරන සල්ලිවලින් තමන්නේ කණ කර බඩු හදාගෙන ජීවත් වෙනවා. දෑතේ වීර්ය උපයෝගී කර ගෙන සිදු කරන මේ වෘත්තීයෙන් බොහෝ කාන්තාවන් තම ආර්ථිකය එසේ ගොඩනඟාගෙන ඇත. එමෙන් ම වීවීමේ කර්මාන්තයේ අත්දැකීම් බහුල කමලා වැන්නියන් වර්තමානයේ ජීවත්වන තරුණියන්ට ද ආදර්ශයක් වී ඇත්තේ ය.

"ඕනෑම කාන්තාවකට මම නම් කියන්නේ මේ වීවීමේ කර්මාන්තය හොඳින් දැනගෙන කරන්න කියලයි. බාගෙට ඉගෙන ගෙන කපටිකම් කළොත් නම් කවදාවත් ඒ කෙනාට හරි යන්නේ නැහැ. "

ජීවිතයේ සෑදෑ සමය තම දරු මුණුබුරන් සමඟ සතුටු සමීචියෙන් ගත කළ යුතු වුව ද කමලා උදෑසනින් ම අවදි වී ධෛර්යයෙන් මෙන් ම දැඩි ආත්ම ශක්තියෙන් යුතුව වෘත්තීයෙහි නියළෙන්නේ මුළු මහත් සමාජයේ ම සිටිනා කාන්තාවන්ට ආදර්ශයක් සපයමිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.