ශ්‍රී ලංකා කණ්ඩායමේ ලාහෝර් ගමන කළුවලාවට රිදී රේඛාවක් සමහර ක්‍රීඩකයන්ගේ විරෝධය | සිළුමිණ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලාහෝර් ගමන කළුවලාවට රිදී රේඛාවක් සමහර ක්‍රීඩකයන්ගේ විරෝධය

ප්‍රශාන්ත ඇල්පිටිය

මේ මස 29 වැනිදා ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙන පාකිස්තානය සමඟ වන තෙවන සහ අවසන් 20 - 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිරවම සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙම අවසන් තීරණය ගනු ලැබුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදීය. එම තීරණය ගනු ලැබුවේ ඊට දෙදිනකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අත්සන් සහිත ලිපියක් ක්‍රිකට් ආයතනයට යොමු කර තිබියදීය.

එම ලිපිය මඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සඳහන් කර තිබුණේ ඔවුන් පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැති බවය. එමෙන්ම එම සංචාරය පිළිබඳ යළි සලකා බලන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

මෙය ක්‍රීඩකයන්ගේ කැමැත්ත අනුව ගන්න පුළුවන් තීරණයක් නොවේ. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක්." ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. මේ අතර සුමතිපාල මහතා ද ලාහෝර් තරගය සඳහා පාකිස්තානයට යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කෙසේ වෙතත් ඇතැම් ක්‍රීඩකයන් ලාහෝර් තරගයට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්දින සහ 20 - 20 නායක උපුල් තරංග ද ඊට අයත්ය. එම නිසාම තරග 03 කින් සමන්විත 20 - 20 තරගමාලාවට වෙනත් නායකයකු පත් කරනු ඇත.

එමෙන්ම පාකිස්තානය සමඟ පැවැත්වෙන 20 - 20 තරග තුනටම ක්‍රීඩා කිරීමට කැමැති ක්‍රීඩකයන් පමණක් මෙම තරගමාලාවට තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලය ද පාකිස්තානයට යාමට කැමැත්ත පළ කර තිබේ. ඔවුන් ඊට එකඟ වී තිබෙන්නේ වත්මන් පාකිස්තාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි. සී. සී.) මේ වන විටත් පාකිස්තානයේ ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් සෑහීමට පත් වී තිබේ. එමෙන්ම ලාහෝර් තරගය සඳහා අයි. සී. සී. නිලධාරින් යැවීමටත් ඔවුන් එකඟ වී තිබේ.

පසුගියදා ලාහෝර් නුවරට ගිය ලෝක කණ්ඩායමට ලබා දුන් ආකාරයේ විශේෂ ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන බව පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය සහතික වී තිබේ. 2009 ලාහෝර් ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන සංචාරයක නිරත වනුයේ ප්‍රථම වතාවටය.

සෙසු විස්සයි 20 තරග දෙක 26 සහ 27 දා පැවැත්වේ.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.