ග්‍රාමීය සංවර්ධනයේ මිථ්‍යාව | සිළුමිණ

ග්‍රාමීය සංවර්ධනයේ මිථ්‍යාව

 කුලියාපිටියේ සිට දඹදෙණියට දිවෙන මහා මාර්ගය උපක්‍රමික අතින් අතිශය වැදගය. ඒ මාර්ගය ලබුයාය, කොස්ගහමුල හන්දිය, කටුගම්පොළ හරහා දඹදෙණිය නගරයට යොමු වන්නකි. එහි දුර කිලෝමීටර් 16ක් පමණ වන අතර, මැතිවරණ බල ප්‍රදේශ තුනකට ඒ මාර්ගය අයත් වීම විශේෂත්වයකි. කුලියාපිටිය, කටුගම්පළ හා දඹදෙණිය ඒ මැතිවරණ බල ප්‍රදේශ තුනයි.

මේ මාර්ගයේ කුලියාපිටියට අයත් ලබුයාය සිට කොස්ගස් හන්දියට දිවෙන මාර්ග කොටස මීට පෙර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර තිබිණි. එසේම කටුගම්පොළට අයත් මාර්ග කොටසද ප්‍රතිසංස්කරණය කර තිබිණි. කැඩී-බිඳී වාහන ගමනාගමනයට නුසුදුසු මට්ටමක තිබුණේ කුලියාපිටියට අයත් කොස්ගහමුල හන්දියේ සිට ඉහළ කටුගම්පොළ තෙක් මාර්ග කොටස හා දඹදෙණියට අයත් මාර්ග කොටසයි. ඒ මාර්ග කොටස් වාරිමාර්ගයක තත්ත්වයක පැවතුණද ඒවා දෙස පාලකයෝ අවධානය යොමු නොකළහ. අවසානයේ කුලියාපිටියට අයත් මාර්ග කොටස ප්‍රතිසංස්කරණය සඳහා වයඹ පළාත් සභාවේ ව්‍යාපෘතියක් වන 'අයි රෝඩ්' ව්‍යාපෘතිය යටතේ 2014දී අනුමැතිය ලැබුණ අතර, එහි වැඩ ආරම්භ වූයේ දැනට මාසයකට පමණ පෙරය.

පසුගිය ආණ්ඩුවේ ග්‍රාමීය සංවර්ධනයේ සැණකෙළිය වූ 'දැයට කිරුළ' 2014 වර්ෂයේ කුලියාපිටියේ පවත්වන විට ප්‍රදේශයේ බොහෝ මාර්ග කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරනු ලැබිණි. එහෙත් මේ මාර්ගය එම ව්‍යාපෘතියට හෝ ඇතුළත් නොවීම කනගාටුවට කරුණක් විය. ඊට හේතුව ලෙස බොහෝ දෙනකු දකින්නේ කුල ප්‍රශ්නයකි. මේ මහා මාර්ගය අලුත්වැඩියාවෙන් සංවර්ධනයට ලක් වන ප්‍රදේශය එක්තරා පීඩිත කුල ප්‍රජාවකට අයත් නිසා ප්‍රදේශයේ හිටපු ප්‍රභූ කුලයේ දේශපාලකයා ඔවුන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වූ බව සමහරු පවසති.

කෙසේ වුවත් දැනට මාසයකට පමණ පෙර වැඩ ආරම්භ කළ කුලියාපිටියට අයත් මාර්ග කොටසේ ප්‍රතිසංස්කරණ වැඩ කෙරෙන්නේ ඉබි ගමනිනි. යම්දිනක මේ මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කළද කුලියාපිටියේ සිට දඹදෙණියට දිවෙන සමස්ත මහා මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ නැත. කටුගම්පොළට අයත් දැනට වසරකට පමණ පෙර ප්‍රතිසංස්කරණය කළ මාර්ග කොටස දැනටම කැඩී-බිඳී යමින් පවතී. එසේම දඹදෙණියට අයත් මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීමක් ගැන සංවර්ධන සැලසුමක හෝ සදහන් නොවේ.

ග්‍රාමීය සංවර්ධනය සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී පවතින සම්බන්ධීකරණයේ බරපතළ දුර්වලතා නිසා සිදු වන සංවර්ධනය හෝ විධිමත් පරිදිත් සැලසුමකින් යුක්තවත් කෙරෙන්නේ නැත. කටුගම්පොළට අයත් මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීමේදී යම් සම්බන්ධීකරණයක් තිබුණා නම් දඹදෙණියට හා කුලියාපිටියට අයත් මාර්ග කොටස් ප්‍රතිසංස්කරණය නොකර පවතින්නේ නැත. එනිසා ප්‍රධාන මාර්ගය කැබලි කරමින් තැනින් තැන ප්‍රතිසංස්කරණය කරන ලද අතර තැනින් තැන වාරිමාර්ග බවට පත්ව තිබිණි. සමස්ත මාර්ගය එකට ගෙන ප්‍රතිසංස්කරණය නොවූයේ එතරම් ශක්තිමත් සම්බන්ධීකරණයක් ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියේදී නොපවතින නිසා බව ප්‍රත්‍යක්ෂ කරුණකි.

ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් ව්‍යූහය අනුව නමට හෝ තීන්දු-තීරණ ගන්නා ආයතනික රාමු දෙකක් පවතී. එකක් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වන අතර, අනෙක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වේ. ඒ ඒ බලප්‍රදේශයන්හි සංවර්ධනයේ තීන්දු-තීරණ ගැනීමේ අවසන් තීරකයා වන්නේ ඒ ඒ කමිටුවයි. කුලියාපිටියේ සිට කටුගම්පොළ හරහා දඹදෙණියට දිවෙන මහා මාර්ගය ප්‍රතිසංකරණයේදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තුනක සහයෝගය මත ඒකාබද්ධව තීන්දු-තීරණ ගත යුතුව තිබිණි. කුලියාපිටිය, පන්නල හා නාරම්මල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඒවා වේ.

ප්‍රායෝගිකව සම්බන්ධීකරණ කමිටු කිහිපයකට ඒකාබද්ධ තීන්දුවකට ඒමට අපහසුය. එවිට කළ යුත්තේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් තීරණයක් ගැනීමයි. එහෙත් කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මනා ලෙස ක්‍රියාත්මක වී කටයුතු කළා නම් කුලියාපිටිය - දඹදෙණිය මහා මාර්ගය ප්‍රතිසංස්කරණයේදී මේ අබග්ගය නොවන්නට ඉඩ තිබිණි. ග්‍රාමීය සංවර්ධනයේදී තීන්දු-තීරණ ගැනීමට ස්ථාපිත කර ඇති ආයතනික ව්‍යූහයන් දෙකම මනා ලෙස හැකියාවන්ගෙන් යුත් පුද්ගලයන්ගෙන් සමන්විතව ස්ථාපිත කර නැත. එහි සභාපති ධුර හිමි වන්නේ මහජන නියෝජිතයන්ටය. එවිට හැඟවුම්කරණය වන්නේ මහජනතාවට අවශ්‍ය පරිදි ග්‍රාමීය සංවර්ධනය සිදු වන බවකි. එහෙත් ඒ තීන්දු තීරණ ගැනීමේ ආයතනික ව්‍යූහය එවැනි සුමට මහජන හිතකාමී ලෙස නිර්මාණය වූවක් නොවේ.

ප්‍රාදේශීය සංවර්ධනයේදී බරපතළම ප්‍රශ්නය වන්නේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීන්දු-තීරණ ගැනීමට ජාතික හෝ ප්‍රාදේශීය හෝ ප්‍රතිපත්තියක් නොවීමයි. යම් යම් අවස්ථාවල සකස් කරගත් නීති හෝ රීති පද්ධතියක් තිබුණද ඒවා ඒ තරම් බලපෑමක් සංවර්ධනය පිළිබඳ තීන්දු ගැනීමේදී සිදු නොකරයි. සාමාන්‍යයෙන් සිදු වන්නේ මහජන නියෝජිතයාට අවශ්‍ය පරිදි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මිස යම් ජාතික හෝ ප්‍රදේශීය හෝ ප්‍රතිපත්තියකට අනුව තීන්දු තීරණ ගැනීම නොවේ. එසේම යම් ප්‍රමුඛතා අනුපිළිවෙළකට හෝ යම් සැලස්මකට හෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නොවේ. ප්‍රතිපත්ති සැලසුම් කරන්නේත් ඒවා ක්‍රියාත්මක කරන්නේත් මහජන නියෝජිතයා වන දේශපාලකයාගේ අවශ්‍යතාව හා අභිමතය පරිදිය. ඒවා තීරණය වන්නේ මුළුමනින්ම පක්ෂ දේශපාලන අවශ්‍යතා මතය.

ප්‍රාදේශීය සංවර්ධනය විධිමත් පරිදි සිදු කරන්නට නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා වූ ආයතනික ව්‍යූහයන්ගේ ක්‍රියාකාරිත්වය විෂයය පිළිබද ප්‍රවීණයන්ට පැවරිය යුතුය. එහිදී මහජන නියෝජිතයන්ට බරපතළ භූමිකාවක් ඇතත් තීන්දු-තීරණ ගත යුත්තේ ඔවුන්ගේ තනි කැමැත්තට හෝ අභිලාශයට හෝ නොවේ.

ග්‍රාමීය සංවර්ධනය පිළිබද ප්‍රවීණයන්ද සැලසුම්කරණය පිළිබද ප්‍රවීණයන්ද ඒ බුද්ධිමය මණ්ඩලය තුළ අනිවාර්යෙන් සිටිය යුතු අතර, මහජන අවශ්‍යතා නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ යෝජනා එකී බුද්ධිමය මණ්ඩලයේ අධීක්ෂණයට, විශ්ලේෂණයට යටත් විය යුතුය. පසුව එම බුද්ධිමය මණ්ඩලයේ දැඩි අධීක්ෂණය මත ග්‍රාමීය සංවර්ධනයේ අවසන් තීන්දුව ගත යුතුය.

එවැනි සාර්ථක තීන්දු ගැනීමේ ව්‍යූහයක් නොවන්නට ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය කපුටන් කූඩු හැදීමට දෙවැනි නොවන්නේය.

අබරන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.