කේම­දාස අනු­ස්ම­රණ සිනමා උලෙ­ළට යා නොහැ­කිව 'තුන්වෙනි යාමය' ඉකි­බිඳී | සිළුමිණ

කේම­දාස අනු­ස්ම­රණ සිනමා උලෙ­ළට යා නොහැ­කිව 'තුන්වෙනි යාමය' ඉකි­බිඳී

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නව වන අනුස්මරණය මේ මස 24 වනදාට යෙදේ (1937 ජනවාරි 25 - 2008 ඔක්තෝබර් 24). ශ්‍රී ලාංකේය සංගීත‍ කෂේත්‍රයට කේමදාසයන් සිදු කළ මෙහෙවර සිහි කරනු වස් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සිනමා උලෙළ මේ මස 20 වන දින සිට 24 වන දින දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වේ.

ගයත්‍රී කේමදාස කේමදාස පදනම මඟින් මේ චිත්‍රපට උලෙළ සංවිධානය සිදු කරයි. උලෙළේදී කේමදාස මාස්ටර් සංගීතය සැපයූ ගොළු හදවත, හංස විලක්, වාසනා, නිධානය, ලොකුම හිනාව, සිරි මැඳුර, බඹරු ඇවිත් යන චිත්‍රපට මුදල් අය කිරීමකින් තොරව ප්‍රදර්ශන සිදු කෙරේ. මේ චිත්‍රපට උලෙළ සඳහා චිත්‍රපට සොයාගැනීම අතිශයින් දුෂ්කර කර්තව්‍යක් බවට පත්ව ඇත. හේ එම අත්දැකීම පිළිබඳ ගයත්‍රී කේමදාසයන්ගේ කටහඬයි...

"තාත්තගේ නව වන ගුණානුස්මරණය වෙනුවෙන් චිත්‍රපට උලෙළක් පැවැත්වෙනවා. මේ සඳහා අනුග්‍රාහක දායකත්වයක් ලබාගැනීම දුෂ්කර ක්‍රියාවක් වුණා. ඒ වගේම තාත්තා සංගීතය සැපයූ චිත්‍රපට සොයාගැනීමත් අතිශය දුෂ්කර කර්තව්‍යයක් වුණා. කොතරම් අපහසුතා මැද්දේ වුණත් අපි චිත්‍රපට උලෙළ පවත්වනවා. චිත්‍රපටයක් කියන්නේ ජාතික සම්පතක්. එය ශ්‍රී ලාංකේය ජාතියටම අයිති දෙයක්. ඒක එක තැනක තියෙන-එක හරි, හොයාගන්න බැහැයි කියන-එක හරි, එවැනි දෙයක සංගීතය කපලා දාලා, ගීත කපලා දාලා, මුදල් කොන්දේසිවලට යටත්ව ඉල්ලාගැනීමට සිදු වීම-හරි ඛේදවාචකයක්."

මේ චිත්‍රපට උලෙළ සඳහා කේමදාස මාස්ටර් පසුබිම් සංගීතය සැපයූ 'තුන්වෙනි යාමය' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව පැවැතියද එය සිදු කළ නොහැකි වී ඇත. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක සංස්කෘතික අධ්‍යක්ෂ ජෙනරාල්, ධර්මසිරි බණ්ඩාරනායක තුන්වෙනි යාමය චිත්‍රපටය සඳහා සංගීතය නිර්මාණ කිරීමේදී මාස්ටර් සමඟ ලැබූ අත්දැකීම් සහ වර්තමානයේ ඒ චිත්‍රපටයට අත් වී ඇති ඉරණම ගැන සිය කටහඬ මෙසේ අවදි කරයි...

"තුන්වෙනි යාමය චිත්‍රපටය එක්තරා තරුණයෙක්ගේ ළමාවියේ ඇති වන මානසික තැතිගැන්ම පිළිබඳ වස්තු විෂයය වූ චිත්‍රපටයක්. අපි තුන්වෙනි යාමය චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කරලා රූපයෙන් එහා යන ප්‍රකාශනය සංගීතයෙන් තීව්‍ර කරන්න බාර දුන්නේ කේමදාසයන්ට. රූප මාධ්‍ය ගැන ඉවෙන් අල්ලාගත් විශාල දැනුමක් කේමදාස මාස්ටර් තුළ පැවතියා. අපි පසුබිම් සංගීතය යෙදුවට පස්සේ කේමදාසයන් එනවා මාත් එක්ක සංස්කරණ මැදිරියට.

එහිදී චිත්‍රපටය සමඟ සංගීතය එකතු කරන විට ඔහු යෝජනාවන් කරනවා. ඕනෑම සංගීතඥයෙක් කැමතියි තමන්ගේ සංගීතය මුළු චිත්‍රපටය පුරා ඇහෙන්න සලස්වනවා කියන කාරණයට. හැබැයි කේමදාසයන් එබඳු සංගීතඥයෙක් නෙමෙයි. ඔහු ඇතැම් විට මට යෝජනා කරලා තියෙනවා තුන්වෙනි යාමේ චිත්‍රපටයේ සමහර අවස්ථාවලදී සංගීතය අපි සමහර තැන්වලට යොදා නොගෙන ඉමු කියලා. හැබැයි ඔහු යෝජනා කරන අවස්ථා එන විට අපි ඒ වෙනුවෙන් සංගීතය පටිගත කරලා ඉවරයි.

චිත්‍රපටිය සම්පූර්ණ කරලා එය නැරඹුවට පස්සේ එතුමා සංගීතය අනවශ්‍යයි කියලා මට පෙන්වා දුන් තැන්වල රූපය ඉතා ප්‍රබල විදිහට ඒ ඇමතීම සිදු කරනවා. ඒක ඔහු සොයාගත්තා. ඒක ඔහු මට සොයලා දුන්නා. එතනදී රූපයේ තියෙන නිහඩ බවත් සංගීතයක් කියලා ඔහු මට ප්‍රකාශ කළා. ඒක මං හිතන්නේ ඔහුගේ සංගීතඥානය ඇතුළේ තිබුණ ඉහළ දැනුමක්. ඒ දැනුම මට බොහෝ දුරට මගේ සිනමා භාවිතයට ප්‍රයෝජනයක් වුණා. තුන්වෙනි යාමය චිත්‍රපටයේ ඉතා වැදගත් වෙන්නේ සංගීතය තුළින් රූප මාධ්‍යය ඉතා ප්‍රබල තැනකට ගෙනාපු-එක. ඒ නිසාම චිත්‍රපටයක් විදිහට බොහෝ අය එක අවබෝධ කරගත්තා. බොහෝ ප්‍රේක්ෂකයන් ඒ වටා රොක් වුණා.

"තුන්වෙනි යාමය චිත්‍රපටය මම හදන්නේ චිත්‍රපට සංස්ථාවේ ණය මුදලකින්. ඒ ණය මුදල ලබාගත්තට පස්සේ යම් යම් ආර්ථික ප්‍රශ්නවලට මුණදෙන්න සිද්ධ වුණා. එබඳු එක් අවස්ථාවක එතුමා එතුමාගේ බිරිඳගේ කන කර බඩු සියල්ල ළඟම තිබුණු රාජගිරියේ පාක්රෝඩ් එකේ බැංකුවකට ගිහිල්ලා උකස් තියලා මට සල්ලි දුන්නා. ඒ සල්ලි දීලා මට කිව්වා.

ඒ චිත්‍රපටයේ ඉතුරු වැඩ කරමු මේ සල්ලිවලින් කියලා. ඒ සල්ලි අරගෙන මම චිත්‍රපටයේ ඉතිරි වැඩ නිම කළා. ඒ අවස්ථාවේදී ප්‍රේමසිරි කේමදාසයන් මේ චිත්‍රපටය ධර්මසිරිගේ කියලා නෙමෙයි සැලකුවේ. 'මේක අපේ වැඩක්' විදිහටයි සැලකුවේ. එබඳු ආදරවන්ත මතක සටහන් මගේ ජීවිතය ඇතුළේ එතුමත් එක්ක වැඩ කරපු කාලය තුළ තැන්පත් වෙලා තියෙනවා.

"එතුමා වුණු මහන්සියේ ප්‍රතිඵලය අඩංගු තුන්වෙනි යාමය චිත්‍රපටයේ නෙගටිව් පිටපතත්, ප්‍රදර්ශන පිටපතත් තිබුණේ සරසවි චිත්‍රාගාරයේ. ප්‍රදර්ශන පිටපත මීට අවුරුදු දහයකට කලින් මම අරන් ආවා සිනමා උලෙළක ප්‍රදර්ශනය කරන්න. මම ගෙදර තියාගෙන තුන්වෙනි යාමයේ චිත්‍රපටයේ පිටපත් ඇතුළත් චිත්‍රපට කෑන් එකින් එක ඇරලා අව්වේ තියලා වේළලා පරිස්සම් කරලා මං ගාව තියාගෙන තිබුණා.

මොකද ඒසී කරපු කාමර අපට නැහැ. එහෙම රැකගත් චිත්‍රපටය එක්තරා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සිනමා උලෙළක් සඳහා මගෙන් ඉල්ලගෙන යනවා. පසුව චිත්‍රපට පිටපත නැවත මා වෙත බාර දෙන්නැයි මා ඔහුට කී විට ඔහු ප්‍රකාශ කරන්නේ මා වෙත එය ගෙනත් දුන් බවයි. මම ඒකෙන් සෑහීමකට පත් වුණා. මට අමතක වීමේ රෝගයක් තියෙනවා කියලා හිතාගෙන. කමක් නෑ, චිත්‍රපට පිටපත නේ නැති වුණේ, මම නැති වුණේ නෑ නේ කියන අදහසේ මම හිටියා.

"මාස්ටර් සිනමා සංගීතය සැපයූ චිත්‍රපට උලෙළ වෙනුවෙන් තුන්වෙනි යාමය චිත්‍රපට පිටපතක් නැවතත් සොයායෑමේ අවශ්‍යතාව දැඩි ලෙස දැනුණා. ඒ නිසා තමයි මම නැවත පිටපත සොයාගෙන යන්නේ. ඒ ගිය ගමනෙදී එක තැනකදී පිටපත හම්බ වුණා. මම ඒක අරගෙන ඇවිත් මම ජීවත් වෙන ප්‍රදේශයේ පොලීසියට ගිහින් පැමිණිල්ලක් කලා. මොකද: මේ චිත්‍රපට පිටපත් ඇරලා බලන කොට තිබුණු තත්ත්වය නිසා. චිත්‍රපටයේ රීල් අට ඇරල වත් බලන්න බෑ, හොඳටම ගඳයි.

ඒවා තාර බවට පත් වෙලා. මේ බීඒඩබ්ලිව් ජයමාන්නගේ කාලෙ නෙමෙයි. විසිඑක් වන සියවසේ ඩිජිටල් චිත්‍රපට ගැන කතා කරන පිරිසක් ඉන්න රටක මේ දේ සිද්ධ වෙන්නේ. මේ නිර්මාණයට දායක වුණු හැම කෙනෙක්ම වෙච්ච වෙහෙස. චිත්‍රපට සංස්ථාවේ සියයට සියයේ ණය සහනාධාර යටතේ චිත්‍රපට හතරක් හැදුණා. පළඟැටියෝ‚ හඳයා‚ සොල්දාදු උන්නැහේ, තුන්වෙනි යාමය.

"චිත්‍රපටයක් නැති වෙච්ච මිනිහෙක් මම... කේමදාස චිත්‍රපට උලෙළේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ නෑ කිව්වාම එන ලජ්ජාව! මාස්ටර්ට මට කරන්න පුළුවන් ලොකුම ගෞරවය මෙබඳු සංගීතය නිර්මාණය කළ මිනිසෙක් ඉතිහාසය ඇතුළේ හිටියයි කියලා ඉදිරි පරම්පරාවට මේ චිත්‍රපට ප්‍රදර්ශනය කර පෙන්වා දෙන එක. මාව හම්බ වෙන්න ආපු දෙමළ මහාචාර්යවරයකුට පෙන්නුවා මේ මගේ දෙවන චිත්‍රපටයට වෙච්ච දේ කියලා. එවිට එතුමා කිව්වා මේක අපරාධයක්. අසූ තුනේදී අපිට කළෙත් මේ ටිකම තමයි කියලා. මේක මේ දෙමළ අය කරලා නෙමෙයි. සිංහලයෝ සිංහලයන්ට කරපු විනාශයක්; ලජ්ජා නැති වැඩක්. මේක දරුවෙක් මැරුවා හා සමානයි. මොකද: අපි ජීවිතෙන් අවුරුදු ගානක් මේ නිර්මාණයත් එක්ක වෙහෙසිලා තියෙනවා.

සමහර මිනිස්සු ගාව චිත්‍රපට තියෙනවා, තියාගෙන කියනවා: 'සල්ලි දුන්නොත් දෙන්නම්' කියලා. මං අහන්නේ ඒ වෙළෙන්දොද? රටක ජාතික වස්තු තියාගෙන තමන්ගේ අයිතිය ප්‍රකාශ කරන්න හදනවා නම් අපි කියනවා රාජ්‍යයට මැදිහත් වෙන්න. දඩාවතේ යන බල්ලන්ගේ සංස්කෘතිය බැඳ තැබිය යුතුයි. ඒක අපිට කතා කරන්න පුළුවන් කලාකාරයෝ විදිහට. ඒ මොකද: අපි අපේ ආත්මය ගොඩනඟාගත්තේ නිර්මාණවලින් හින්දා. මිලියන ගණන් සිල්රෙදිවලට වියදම් කරපු රටේ ජාතික වස්තු වන චිත්‍රපටයක් සංරක්ෂණය කරන්න බැරි ඇයි? මම රජයෙන් ඉල්ලා හිටිනවා වහාම මැදිහත් වෙලා ඒ චිත්‍රපට සියල්ල රාජසන්තක කරගන්න. ඒක බලහත්කාරකමක් නෙමෙයි.

"ප්‍රේමසිරි කේමදාසයන් ආවේගශීලිව කරපු ප්‍රකාශ මම අහලා තියෙනවා, මම දැකලා තියෙනවා, සමහර වෙලාවට මමත් කියනවා: 'පොඩ්ඩක් අපි සද්දේ අඩු කරමු නේද මාස්ටර්?' කියලා. එත් අද මට මගේ සද්දේ අඩු කරන්න කියලා කියන්න කෙනෙක් නෑ.

"කට ඇරලා කියන්න පුළුවන් මාස්ටර් මහා සංගීතඥයෙක් කියලා. මේ රටට අවශ්‍යයි එවැනි නිර්මාණකරුවන්. කිසිම විද්‍යායතනයක උගන්නන්නෙ නැති ආචාර්ය ප්‍රේමසිරි ‍කේමදාසයන් ගැන ඔබ දැනගන්න. මම ඔබෙන් ඉල්ලන්නේ, ඔබේ දරුවන් රැගෙන සිනමාහලට ඇවිල්ල ඔබේ දරුවන්ට කියන්න මෙවැනි ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් මේ රටේ සංගීතයේ හිටියා කියලා." 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.