සයි­ටම් වෙනු­වෙන් මොර­දෙන ශිෂ්‍ය­ ව්‍යා­පාර නොද­කින බුද්ධි­මය මංකො­ල්ලය | සිළුමිණ

සයි­ටම් වෙනු­වෙන් මොර­දෙන ශිෂ්‍ය­ ව්‍යා­පාර නොද­කින බුද්ධි­මය මංකො­ල්ලය

මේ වන විට මෙරට විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය හරහා විශාල බුද්ධිමය මංකොල්ලයක් සිදුවෙමින් තිබේ. අවාසනාවකට රටේ ජනතාව මේ සම්පත් තමන්ට අයිති බව නොදනිති. සයිටම් වැනි ලෙහෙසියෙන් විසඳාගත හැකි ගැටළු මහපාරට ගෙනැවිත් තිබුණද විශ්වවිද්‍යාලයේ සිදු වන බුද්ධිමය දේපල මංකොල්ලය පිළිබඳව ඔවුන්ට වගේ වගක් නැත. මේ කුණු කොල්ලයට කූඨ ලෙස විකුණා දමන්නේ රටකට අභිමානවත්ව නැඟී සිටිය හැකි බුද්ධිමය සම්පත්ය.

මුලින්ම බුද්ධිම දේපළ යනු කුමක්දැයි අපි සරලව තේරුම් ගැනීමට උත්සාහ කරමු. බුද්ධිමය දේපල යනු කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සොයාගන්නා නව නිමැවුම්ය. ඒවා විවිධාකර වේ. උදාහරණයකට අප රටේ පවතින සිංහල වෙදකම සලකා බැලුවහොත් එය ඉදිරියට ගෙන යෑම සඳහා ඔහුගේ පරම්පරාවේ අයෙකු සිටිය යුතුය. එසේ නොසිටියහොත් එම වෙදකම ඔහු සමඟම අභාවයට යයි. මන්ද එය සිය සනුහරේට අයත් රහසක්ව තබාගන්නා නිසාය.

එනිසා ඔහු හෝ ඇය මිය යාමත් සමඟ එම වෛද්‍ය ක්‍රමය අවසන් වේ. මෙලෙස මානව සමාජයට මහත් යහපතක් වීමට තිබූ බොහෝ තාක්ෂණික දැනුම අභාවයට පත් විය. මේ නිසා දියුණු රටවල මිනිසුන් කල්පනා කළේ මෙය මානව සමාජයේ දියුණුවට හා ප්‍රගමනයට බාධාවක් වන බවයි. එ නිසා ඔවුන් “ඔබ යමක් සොයාගත්තා නම් හෝ දැන සිටිනවා නම් එය කාටවත් පාවිච්චි කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් කිසිවක් නිෂ්පාදනය කිරීමට හෝ වෙනත් පාර්ශ්වයකට කටයුතු කළ නොහැකි ආකාරයට සීමිත කාලයකට නීති පනවා ඔබේ අයිතිය අපි ආරක්ෂා කර දෙනවා.

එහෙත් මානව සමාජයේ යහපත පිණිස මෙන්න මෙහෙමයි මේක කරන්නේ, ඒ සඳහා යොදගන්නේ මේ මේ විදියෙ දේවල් ආදී වශයෙන් සම්පූර්ණ විස්තරයක් ඔබ රජයට ලබාදෙන්න ඕන. එය කිසිවිටෙකත් සඟවා ඉදිරිපත් කරන්න එපා. අපි ඔබට ඒ සඳහා ඇති අයිතිය සුරකිනවා” යැයි ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව නව යුගයක් ආරම්භ කළ බටහිර ලෝකය නව තාක්ෂණය යොදාගනිමින් වඩා ඵලදායීව සම්පත් ප්‍රයෝජනයට ගෙන වේගයෙන් දියුණුවට පත් විය.

ඒ අනුව නිර්මාණය වුණු පසුබිමේ බුද්ධිමය දේපල යටතට ගැනෙන නව නිර්මාණ; උදාහරණ මෝටර් කාර්, තාක්ෂණික උපකරණ, විවිධ මෙවලම් ආදිය සඳහා වසර 20ක කලසීමාවකට යටත් වන පරිදි පේටන්ට් බලපත්‍රයක් හිමි වේ. ඒ අනුව කිසියම් දෙයක් සොයා ගත් තැනැත්තකුට හෝ කණ්ඩායමකට ඒ සඳහා අයිතියක් නීතිය මගින් තහවුරු වේ. ඔහුගේ හෝ එම කණ්ඩායමේ අවසරයක් නොමැතිව කිසිවකුට එය නිෂ්පාදනය, විකිණීම, හෝ වෙනත් රටකට ආනයනය කිරීමට හෝ ඉඩක් නොලැබේ.

එසේම කර්තෘ හිමිකම (Copyright) ඇති නිර්මාණ සඳහා නිර්මාණකරුවා මිය ගොස් වසර 70ක් නික්ම යන තෙක් කිසිවකුට ඒ සඳහා හිමිකමක් නොලැබේ. උදාහරණ ලෙස සාහිත්‍ය කලා නිර්මාණ පෙන්වාදිය හැකිය. අනෙක් අතට කාර්මික සැලැසුම් (Indrestriyl Dising) සඳහාද වසර 15ක් ඉක්මයන තෙක් කිසිවකුට පාවිච්චි කළ නොහැකිය. එහෙත් මේ සියලු දේපළ අදාළ නෛතික කාල සීමාව ඉකුත් වූවායින් පසුව ඕනෑම කෙනකුට පාවිච්චි කළ හැකිය. ඒ සඳහා නීතියෙන් තහනමක් නැත.

ලෝකයේ රටවල් ක්‍රම දෙකක් යටතේ දියුණුවට පත් වී ඇත. අරාබි කරයේ තිබෙන බොහෝ රටවල් දියුණු වී ඇත්තේ ඛනිජ තෙල් හා භෞතික සම්පත් නිසාය. එහෙත් ජපානය වැනි රටක භෞතික සම්පත් අවම වන අතර ඔවුන් දියණුවට පත්වී ඇත්තේ බුද්ධිමය දේපලවලිනි.

උදාහරණයක් ලෙස ටොයෝටා කාර් රථය සලකා බැලුවහොත් එය සෑදීමේ තාක්ෂණය සොයා ගත්තේ ඔවුන් ය. එමඟින් විශාල ධනස්කන්ධයක් ඔවුහු හිමි කර ගත්හ. මේවා අයත් වන්නේ බුද්ධිමය දේපල යටතටය. ඒ අනුව අපට පෙනී යන්නේ භෞතික සම්පත් ඇති රටවලට වඩා බුද්ධිමය දේපල ඇති රටවල් ශීඝ්‍රයෙන් දියුණුවට පත් වී ඇති බවය.

ලංකාව පිළිබඳව සලකා බලන විට අපි කොතරම් පුරාජේරු කයිවාරු කීවද අපට භෞතික සම්පතක් නැත. තෙල්, රත්තරන්, රිදී, පැලැටිනම්, ගල් අඟුරු හෝ යපස් අපට නැත. එනිසා අපේ රටට වැදගත්ම දේ වන්නේ මානව සම්පතය. එනම් බුද්ධිමය දේපලය.

අපේ ශීෂ්‍යයින් නව නිපැයුම් අතින් ලෝකයේ පවත්වන ප්‍රධාන පෙලේ තරගවලින් ජයග්‍රහණය ලැබුවද ඒ සම්පත් ඵලදායීව රටේ ජනතාවගේ සුභසිද්ධියට යොදා ගන්නේද යන්න ප්‍රශ්නාර්ථයක් මතු කරයි. එහි තේරුම වන්නේ අපට අගනා බුද්ධිමය දේපලක් ඇති එහෙත් ඒවා ඵලදායීව කළමනාකරණය නොකරන බවය.

බුද්ධිමය දේපල නිර්මාණය කළ හැකි මානව සම්පතක් අපට ඇත. එහෙත් ගැටලුව වන්නේ මේ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොවීමය. මෙරට බුද්ධිමය දේපල නිර්මාණය කරන ප්‍රමුඛතම ආයතන ව්‍යූහය වන්නේ විශ්ව විද්‍යාලය. එමෙන්ම නර්ඩ් ආයතතනය, පොල් පර්යේෂණායතනය ....ආදී පර්යේෂණායතනද අමතක කළ නොහැකිය.

මෙලෙස බුද්ධිමය දේපල නිර්මාණය වන ආයතන අතරින් විශ්ව විද්‍යාලය කැපී පෙනේ. බුද්ධිමය දේපල නිර්මාණය කරන හා ඊට වැදගත් වන පිරිස් පෞද්ගලික අංශයේ ඇත්තේ බොහෝම අතලොස්සකි. එහෙත් හැම විටම විශ්වවිද්‍යාලයේ සිදු වන පර්යේෂණ මඟින් නිරන්තරව බුද්ධිමය දේපල නිර්මාණය වේ. එනිසා මේ සඳහා නායකත්වය ලබාදීම විශ්වවිද්‍යාල පද්ධතියේ වගකීම වේ. එහෙත් මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද?

බුද්ධිමය දේපල යනු ලෙහෙසියෙන් සොරකම් කළ හැකි දේපලකි. භෞතික සම්පතක් සොරකම් කිරීමෙදී දැකගත හැකි වුවද විශ්වවිද්‍යාලයේ හැදෙන බුද්ධිමය දේපලක් පෞද්ගලික ව්‍යවසායකයකුට එය හැදූ ආචාර්යවරයා සමඟ කථිකා කර හොර රහසේ ගෙන යා හැකිය.

විශ්ව විද්‍යාලයකින් බිහිවන බුද්ධිමය දේපල යනු පොදු දේපලකි. ඊට හේතුව විශ්ව විද්‍යාල වැනි අධ්‍යාපන ආයතන නඩත්තු වන්නේ මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලිනි. එනිසා මේවා හි නිපදවන බුද්ධිමය දේපලවලට අයිතියක් ඔවුන් සතු ය.

සිදු කරනු ලබන සියලු පර්යේෂණ සඳහා වියපැහැදම් කරන්නේ මේ රටේ මහජනතාව ය. ඉදිරි අයවැයෙන් ද විශ්වවිද්‍යාලවල කෙරෙන පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කෙරෙන බව ද වාර්තා වේ. අවාසනාවකට මෙරටේ බහුතර ජනතාවට මේ පිළිබඳව කිසිදු අවබොධයක් නැත.

පසුගිය කාලයේ පර්යේෂණ කටයුතු කිහිපයක් සිදු කරගැනීම සඳහා පෞද්ගලික ආයතනයක් විශ්වවිද්‍යාලයට පැමිණ සුළු මුදලක් ලබාදී ඒ කටයුත්ත සාර්ථකව කරගත්තේය. ඒ සඳහා ඔවුන් පාවිච්චි කළේ විශ්ව විද්‍යාලය සතු සම්පත්ය. එනම් ආචාර්යවරු , ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා විශ්ව විද්‍යාල සතු දේපලය.

මේ ආචාර්යවරුන් සඳහා වැටුප් ලබා දෙන්නේ මහජනතවගෙන් ලබාගන්නා බදු මුදල්වලිනි. නමුත් මොවුන් සමඟ අත්සන් කර ඇති නෛතික ලියවිල්ල අනුව මෙම පර්යේෂණ මගින් නිර්මාණය වන කිසිදු බුද්ධිමය දේපලකට විශ්වවිද්‍යාලයට හිමිකමක් නැත.

එනම් ජනතාවට අයිති නැත. මෙහි පූර්ණ අයිතිවාසිකම ඇත්තේ මෙම පෞද්ගලික ආයතනය සතුවය. එහෙත් අමෙරිකාව වැනි ලෝකයේ දියුණු රටවල මේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. ඒ රටවල මේ ආකාරයේ බුද්ධිමය දේපල යටතට ගැනෙන පර්යේෂණ සඳහා පෞද්ගලික ව්‍යාපාරයක් පැමිණියද එහි අයිතිය එම පෞද්ගලික ආයතනය සතු නොකරයි.

එහි අයිතිය ඇතිතේ අදාළ පර්යේෂණ සිදු කරන ආයතනයටය. ව්‍යාපාරිකයාට අයිතිය හිමිවන්නේ එකි බුද්ධිමය දේපල අනුව නිර්මාණයවන නිෂ්පාදනය සඳහා පමණය. ඒ සඳහා අදාළ සමාගමට හෝ ව්‍යාපාරයට බලපත්‍රයක් ලබාදෙයි. ඔවුන් කටයුතු කළ යුතු වන්නේ එකී බලපත්‍රය අනුවය. එය ජාත්‍යන්තරව පිළිගත් නිවැරැදි ක්‍රමවේදය වුවද ලංකාවේ අනුගමනය කරන්නේ මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පිළිවෙතකි.

මෙරට පවතින මූලික ගැටලුවක් වන්නේ පොදු ජනතාවගේ සම්පතක් බවට පත් විය යුතු බුද්ධිමය දේපල ඇතැමුන්ගේ සුඛ විහරණය උදෙසා පෞද්ගලික අංශයට විකිණීමය. මෙය බරපතල තත්ත්වයකි. ඇමරිකාව වැනි රටවල තාක්ෂණය කිසියම් බලපත්‍රයක් මඟින් පැවරුවද එහි අයිතිය පර්යේෂණ ආයතනය සතුවේ. නමුත් මෙතන තත්ත්වය හාත්පසින්ම වෙනස්ය.

මෙරට විශ්ව විද්‍යාලයක් මගින් නිර්මාණය කළ භාණ්ඩයක් සම්බන්ධ වෙළෙඳ දැන්වීමක් මේ දිනවල ප්‍රචාරය වේ. මෙම වෙළෙඳ දැන්වීම දකින බොහෝදෙනා මේ සඳහා ආශක්ත වන්නේ විශ්විද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් බව කියන නිසාය.

එහෙත් ගැටළුව වන්නේ මෙම තාක්ෂණය විකුණා දැමීමෙන් පසු එයට කිසිදු සම්බන්ධයක් විශ්ව විද්‍යාලයට නැති වීමයි. එසේ නම් මෙම ව්‍යාපාරිකයින් විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයද සිය ව්‍යාපාරික අවශ්‍යතාව මත විකුණන්නේ කෙසේද?. විශ්ව විද්‍යාලය යන්න ව්‍යාපාරිකයකුට අයිති දේපලක් නොවේ. එය මහජන දේපලකි.

විශ්වවිද්‍යාලයක් හරහා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගත්තද ඔවුන්ට විශ්වවිද්‍යාලයේ නාමය වෙළෙඳ උපක්‍රමයක් ලෙස යොදාගැනීමට කිසිදු අයිතියක් නැත. එහෙත් කිසිදු ශිෂ්‍ය ව්‍යාපාරයකින් හෝ මේ පිළිබඳව වගකිවයුතු පාර්ෂවයකින් හෝ මීට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් මේ වනතෙක් ගෙන නැත. ඔවුන් මේ ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ලබාගෙන ඇති නිසාද?

මේ වන විට ඇතැම් විශ්ව විද්‍යාල තුළ ඉතාම භයානක තත්ත්වයක් නිර්මානය වී තිබේ. ඒ ළමයින් දෙසීයක් පමණ ඉගෙන ගන්නා පන්ති කාමරයක් ඉවත් කර එය පෞද්ගලික ව්‍යාපාරයකට ලබාදීමට විශ්ව විද්‍යාල බලධාරීන් ක්‍රියා කරමින් සිටින නිසාය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට පුලපුලා බලාසිටින ශිෂ්‍ය ප්‍රජාවක් එළියේ බලා සිටියදී විශ්ව විද්‍යාල බලධාරීන් මෙලෙස ක්‍රියා කිරීම ගැන සයිටම් සම්බන්ධයෙන් කෑමොරදෙන ශිෂ්‍යව්‍යාපාර මුනිවත රකින්නේ එමගින් ඊනියා විප්ලවය ජයගත නොහැකි නිසාදැයි ප්‍රශ්න කර සිටිමු.

ඇත්තෙන්ම නිදහස් අධ්‍යාපනයේ සැබෑ ප්‍රශ්නය ඇත්තේ මෙතනය. විශ්ව විද්‍යාල සම්පත් උපයෝගීකරගෙන සොයාගන්නා නව තාක්ෂණික දැනුම හෝ මෙවලම් ඉතාම කූඨ ආකාරයට විශ්ව විද්‍යාලය තුළම පවත්වාගෙන යන ව්‍යාපාර හරහා විකුණා දමමින් සිටියදී මේ ඊනියා ශිෂ්‍ය ව්‍යාපාර කිසිවක් නොදන්නා සේ හැසිරී ඔවුන්ගේ හෙළුව මොනවට ප්‍රදර්ශනය කරන්නකි..

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.