ධර්මාවබෝධය සඳහා ජීවිතය හැසිරවීම | සිළුමිණ

ධර්මාවබෝධය සඳහා ජීවිතය හැසිරවීම

 ජීවිතය සහ ලෝකයේ සත්‍යය වූ ස්වභාවය තේරුම් ගැනීම අතිශයින් ම දුෂ්කර ය. එසේ සංකීර්ණ වූ ස්වභාවයකින් යුතු ජීවිතයේ සත්‍යය ස්වභාවය කුමක් ද යන්න පිළිබඳ ගවේෂණය කළ විවිධ ශාස්තෘවරු අනේක විධ වූ දර්ශන ලෝකයට බිහි කළ හ. ඒ අතුරින් බෞද්ධ දර්ශනයට සුවිශේෂී වූ ස්ථානයක් හිමි වනුයේ ලෝකයේ මෙතෙක් පැවැති කිසිදු අන්තයක් හෝ දෘෂ්ටියක් භජනය නොකොට හේතු ඵල දර්ශනයට අනුව ජීවිතය හා ලෝකයේ සත්‍යය ස්වභාවය ප්‍රකට කොට ඇති හෙයිනි. බෞද්ධ දර්ශනයෙහි කරුණු විග්‍රහ කිරීමේ දී අප නිරතුරුව උත්සහ කළ යුත්තේ අන්තයන් භජනය නොකොට හේතු ඵලයන්ට අනුසාරයෙන් ම සත්‍යය ප්‍රකට කිරීමට ය. එවිට සෑබෑ ස්වභාවය තම නුවණින් ම අවබෝධ කිරීමේ හැකියාව පවතී.

නාම රූප

ලෝකය තුළ ප්‍රතිසන්ධිය ලැබීමේ දී එය සිදු වන ආකාරය සහ ඒ සඳහා කුසල අකුසල ධර්මයන් පාදක වන අයුරු පසුගිය ලිපි මගින් සාකච්ඡා කොට ඇත. මෙම ලිපියේ දී සාකච්ඡා කරනුයේ ජීවිතයේ සත්‍යය වූ ස්වභාවය අවබෝධ කිරීම සඳහා අප ජීවිතය හැසිරවිය යුතු ආකාරය පිළිබඳව ය. ජීවිතය යනු සසරේ අනන්ත වූ කාලයක සිට හේතු ප්‍රත්‍යයන්ට අනුව ඉපදෙමින් බිඳෙමින් දිගින් දිගට ම පවත්නා වූ නාම රූප ධර්ම සමූහයකි. මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයින්, මාරයින්, ෙප්‍ර්ත, තිරිසන් ආදී විවිධ නාමයන් භාවිත කොට තිබෙන්නේ ද මෙම නාම රූප සමූහයටම ය. එය සම්මුති භාවිතය යි. එනම් ලෝක ව්‍යවහාරය යි. ලෝක ව්‍යවහාරය හා සත්‍යය අතර පවත්නේ කෙබඳු සම්බන්ධයක් ද යන්න මෙහි දී ප්‍රථමයෙන් ම සාකච්ඡා කළ යුතු ය. සම්මුති සහ පරමත්ථ යන්න ධර්මය විග්‍රහ කිරීමේ දී නිරතුරුව සම්මුඛ වන භාවිතයන් දෙකකි. මෙම කරුණු දෙක යම් තරමකින් හෝ විග්‍රහ කිරීමෙන් ධර්මය ජීවිතය තුළ අප භාවිත කළ යුතු ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගත හැකි ය.

දුවෙ සච්චානි අක්‍ඛාසි - සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථඤ්ච - තතියං නූපලබ්භති
සංකේතවචනං සච්චං - ලෝක සම්මුති කාරණං
පරමත්ථවචනං සච්චං - ධම්මානං තථ ලක්ඛණං
තස්මා වොහාර කුසලස්ස - ලෝකනාථස්ස සත්‍ථුනො
සම්මුතිං වොහරන්තස්ස - මුසාවාදො න ජායති

සත්‍යය

බුදුරජාණන් වහන්සේ විසින් සම්මුති හා පරමාර්ථ වශයෙන් සලකා ලෝකය ව්‍යවහාර කරන බවක් දක්ව යි. ‘‘සත්‍යය’’ ලෝකය තුළ මේ අයුරින් දෙපරිදි වේ. සංකේත වචනානුසාරයෙන් ලෝකය තුළ ව්‍යවහාර කරනු ලබන දේ ලෝකයේ පිළිගැනීමට අනුරූපී වන හෙයින් සත්‍යය වේ. එසේ ම කිසි කලෙකත් නොවෙනස් වී, පවත්නා සත්‍යය වූ ස්වභාවයෙන් ම පවත්නා හෙයින් ධර්මයන්ගේ සත්‍යය ලක්‍ෂණය අනුව පරමාර්ථ සත්‍යය ද සත්‍යය වේ. මේ අයුරින් ව්‍යවහාරය මැනවින් දන්නා තථාගතයන් වහන්සේ ලෝකයට අනුරූපීව සම්මුති කථාව කරන හෙයින් එය අසත්‍යයක් නොවේ. කරුණු මෙසේ හෙයින් සම්මුතිය සත්‍යය වනුයේ ලෝකයේ පිළිගැනීමට අනුරූපී වන හෙයිනි. එහෙත් පරමාර්ථය සත්‍යය වනුයේ ලෝකයාගේ පිළිගැනීම හෝ නොපිළිගැනීම අනුව නොව ධර්මතාවයන්ගේ සත්‍යය ලක්‍ෂණය ඒ අයුරින් ම පවත්නා හෙයිනි. නිවෙස, ඉඩම්, වාහන, පර්වත, ඇළ දොළ ආදී ව්‍යවහාරයන් සම්මුති ව්‍යවහාරයන් ය. ඒවා ලෝකයා විසින් පනවා සම්මත කොටගත් ව්‍යවහාරයන් ය. එම ව්‍යවහාරයන් විවිධ භාෂාවන්වල වෙනස් වෙනස් අයුරින් භාවිත වේ. එම ව්‍යවහාරයන් තමාගේ පිළිගැනීම හෝ නොපිළිගැනීම මත සසර ජීවිතයට හානියක් නොවේ. එහෙත් සමාජය තුළ තම පැවැත්ම සුවසේ තබාගැනීමට නම් මෙම සම්මුති ව්‍යවහාරයන් ට අනුගතව ජීවිතය පැවැත්විය යුතු ය. එය තේරුම් ගතයුතු එක් අංශයකි. කුසල, අකුසල, ස්කන්ධ, ධාතු, ඉන්ද්‍රිය, ආයතන, නාම රූප ආදී ධර්මය තුළ විග්‍රහ වන ධර්මතාවයන් කිසි කලෙකත් වෙනස් නොවේ. ඒවා සත්‍යය වනුයේ අන් අය පිළිගන්නා නිසා නොව සත්‍යය අයුරින් ම ලෝකයේ පවත්නා හෙයිනි. යමෙක් මෙම ධර්මයන් බැහැර කරන්නේ නම් ඔවුනට මහත් හානියක් සිදු වේ. නිවන් මාර්ගයෙන් බැහැරට ගමන් කර යි. කුසල අකුසල පිළිබඳ යමෙකුගේ පවත්නා විශ්වාසය මත එහි ස්වභාවය තීරණය නොවේ. කිසියම් පුද්ගලයකු සතුන් මැරීම අකුසලයක් නොවේ යැයි සිතා සතකු ඝාතනය කළහොත් ඔහුට එහි අකුසල විපාක සුදුසු අවස්ථාව සම්මුඛ වූ කළ ඒකාන්තයෙන් ලැබේ. කර්මයට අනුව ඔහු එය විශ්වාස කළ ද නොකළ ද අකුසල කර්මයේ අමිහිරි විපාකය ඔහුට කවදා නමුත් විපාක දීමට ඉදිරිපත් වේ. පරමාර්ථ ධර්මයන්ගේ සත්‍යය ස්වභාවය මේ අයුරින් තේරුම් ගැනීමට උත්සහ ගත යුතු ය.

භාෂාව

සම්මුති ව්‍යවහාරයන් ලෝකය තුළ පවත්නේ මිනිසුන්ගේ ව්‍යවහාර පහසුව පිණිස ය. ධර්මය විග්‍රහ කිරීම සඳහා භාවිත කරනුයේ ද එම සම්මුති භාෂාවම ය. එහෙත් ඉන් ප්‍රකට වන අර්ථයේ සත්‍යය අසත්‍යය භාවය එකිනෙකට වෙනස් වේ. නවෙස යන භාවිතය තුළ සත්‍යය වශයෙන් ප්‍රකට වන කිසිවක් නැත. ලී, ගඩොල්, සිමෙන්ති, වැලි ආදී සියලු ද්‍රව්‍යයන්ගේ එකතුවෙන්, එම ද්‍රව්‍යයන් යම් පිළිවෙළකට සැකසීමෙන් නිවෙසක් ගොඩ නැගේ. නිවෙස කඩා දැමුවහොත් අවසානයේ ඉතිරි වනුයේ ඉහත දක්වන ලද කොටස් පමණි. නිවෙස අතුරුදන් වේ. සම්මුතියේ ස්වභාවය එවැන්නකි. නිවෙස යන ව්‍යවහාරය සත්‍යය වනුයේ මිනිසුන්ගේ පිළිගැනීමට අනුව පමණි. පරමාර්ථ වශයෙන් ගත් කළ එහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත ධර්මයන් පමණක් සම්මුඛ වේ. කුසල අකුසල ආදිය සත්‍යය වනුයේ පුද්ගල පිළිගැනීමට අනුව නොව සත්‍යය ලෙස ම පවත්නා හෙයිනි. මෙම කරුණු පිළිබඳ මූලික අවබෝධය ධර්මය තේරුම් ගැනීමට පැවතිය යුතු ය. සම්මුතිය සම්මුතිය ලෙසත් පරමාර්ථය පරමාර්ථයක් ලෙසින් ම තේරුම් ගත යුතු අතර කිසිවක් දෘෂ්ටි වශයෙන් ග්‍රහණය නොකළ යුතු ය.

ධර්ම ස්වභාවය වැරදි ලෙස වටහාගත් ඇතමුන් මෙම කරුණු දෘෂ්ටි වශයෙන් ගෙන නොමග ගොස් ඇත. ධර්මය අවබෝධ කිරීමට නම් සිත සෑම විට ම පිරිසිදුව තබාගත යුතු ය. කිලිටි මනසින් සත්‍යය අවබෝධ කළ නොහැකි ය. ජාති ප්‍රඥාව නොලැබූ මේ ජීවිතයේ දී ගැඹුරු ධර්ම පාඨ පමණක් කට පාඩමින් දැනගත් ඇතමුන් ලෝකය සහ අන් අයගේ ජීවිත විවිධ අයුරින් විවේචනයට ලක් කරන අයුරු පෙනේ. නිවැරදි ධර්මය දැනගත් ප්‍රඥාවන්ත පුද්ගල තෙමේ කිසිවිටෙකත් තම දැනුම උපයෝගී කොටගෙන අන්‍ය පුද්ගලයන් පිළිබඳ දොස් නොනඟයි. නුතන සමාජය තුළ බොහෝ පිරිසක් ධර්මයට යොමුව ඇති බව පෙනුණ ද ප්‍රතිඵල ලැබූ පිරිස් අල්ප ය. එයට හේතු කුමක්ද යන්න නුවණින් විමසිය යුතු ය. පුද්ගලයින් නිවනින් දුරස් වීමට හේතුවන ප්‍රධාන කරුණු දෙකක් ධර්මය තුළ දක්වා ඇත.

පරවජ්ජානුපස්සිස්ස නිච්චං උජ්ඣානසඤ්ඤිනො
ආසවා තස්ස වඞ්ඪන්ති ආරා සො ආසවක්ඛයා.

දොස් දැකීම

ධම්මපදයේ සඳහන් මෙම ගාථාවෙන් මිනිසුන් නිවනින් දුරස් වන හේතු කවරේද යන්න මනාව විග්‍රහ කොට ඇත. යමෙක් නිරතුරුව අනුන්ගේ වරද දකිමින්, තමා උසස් කොට අන් අයට දොස් නගමින් වාසය කරන්නේ ද ඔහුගේ සන්තානය තුළ ආස‍්‍රව හෙවත් ක්ලේශයන් බොහෝ කොට වැඩෙන්නේ ය. එයින් ඔහු නිවනින් දුරු වන පුද්ගලයෙක් වන්නේ ය. මෙහි දැක්වෙන කරුණු බොහෝ මිනිසුන්ගේ ජීවිතවල දක්නට ලැබෙන කරුණු වේ. ධර්මයේ හැසිරෙන පුද්ගලයා කිසිවිටෙකත් අනුන්ගේ වැරදි සොයමින් කල් නොගෙවිය යුතු ය. නිතර නිතර අනුන්ගේ වැරදි සොයන ස්වභාවය ඇතැම් පුද්ගලයින්ට පිහිටා තිබේ. කවර ස්ථානයකට ගිය ද ඔවුහු අන් අයගේ වරදක් දකිති. එය විවේචනය කරමින් කථා කරති. ඇතැම් විට ධර්මය කටපාඩම් කොටගත් පුද්ගලයා තම දැනුම ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තමා උසස් කොට සලකමින් අන්‍යයන්ට දොස් නඟයි. ඇතැම් විට එය යහපත් අරමුණකින් තමා සිදු කරන බව අන් අයට ප්‍රකාශ කර යි. එහෙත් එය වඤ්චනික ස්වභාවයෙන් පැමිණෙන වඤ්චක ධර්මයක් බව අවබෝධ වන්නේ ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තවුන්ට පමණි. වඤ්චක ධර්ම යනු කුසල වේශයෙන් සිතට ඇතුල් වන අකුසල ධර්මයන් ය.

පාපය

ඇතැම් පුද්ගලයෝ තවත් කෙනකු සිදු කරන අකුසල ධර්මයන් දැක ඔවුන්ව දැඩි කොට ගර්හාවට ලක් කරති. තමන් සිල්වත් පුද්ගලයකු යැයි ලොවට හඳුන්වා දෙමින් අන් අයගේ පාප ක්‍රියා ගර්හාවට ලක් කරති. ද්වේශයකින් තොරව පාප ක්‍රියාවන්ගේ දොස් දක්වමින් එයට ගර්හා කිරීම කුසලයකි. ඉන් අපේක්‍ෂිත අර්ථය නම් පාප ක්‍රියාව කරන පුද්ගලයා තුළ සංවේගයක් ඇතිකොට ඔහු එම පාප ක්‍රියාවෙන් මුදවා යහපතෙහි පිහිටුවීම ය. මෙම කරුණ බුද්ධා දී උතුමන් වහන්සේ ද සිදු කරති. ඒ ඔවුන් කෙරේ අනුකම්පාවෙන් මෛත්‍රී චිත්තයෙනි. එහෙත් ඇතැම් පුද්ගලයෝ අනුන්ට ගර්හා කිරීමේ අරමුණින් ද්වේශයෙන් යුක්තව ඔවුන්ගේ වරදට වඩා පුද්ගල ස්වභාවය ඉස්මතු කරමින් අනුන්ට චෝදනා කරති. එය කුසල වේශයෙන් පැමිණෙන වඤ්චක ධර්මය යි. ‘පාපගරහිතා පතිරූපතාය පරවජ්ජානුපස්සිතා වඤ්චෙති’ යනුවෙන් දක්වන ලද්දේ එම කරුණයි. පාපයට ගර්හා කරන ස්වභාවයෙන් අනුන්ගේ වරද සොයන ස්වභාවය යන අර්ථය ඉන් ප්‍රකට වේ. තම වැරදි කොතෙක් තිබුණ ද අන් අයගේ වැරදි පිළිබඳ කතා කරමින් අනුන් විවේචනය කිරීම මිනිසුන්ට ඉතා ප්‍රිය වූ කරුණකි. තමා ධර්මය තුළ පිහිටා සිටින හෙයින් තමා කිසිදු වරදක් සිදු නොකරන බව පවසමින් අන් අයගේ වැරදි සහ එම පුද්ගලයින්ගේ ස්වභාවය මෙසේ පවසනුයේ ඔවුන් ලෝකයට මහත් විපතක් සිදු කරන හෙයින් ලෝකයාට අනුකම්පාවෙන් ඒ බව දැනුම්වත් කිරීමේ අදහසින් යන්න ඔවුහු ප්‍රකාශ කරති. ඇතැම් විට අනුන්ගේ වැරදි දක්වමින් එම පුද්ගලයින්ගේ ජීවිත පිළිබඳ විවේචනය කරමින් ලිපි මඟින් ප්‍රකාශ කර දක්වති. මේ සියල්ල සිදු කරනුයේ අනුන්ගේ යහපතට බව එම පුද්ගලයින් ප්‍රකාශ කළ ද සත්‍ය වශයෙන් ම සිදු වනුයේ කුසල වේශයෙන් පැමිණි වඤ්චක ධර්මයකට නතු වීම ය. මේ ආකාරයෙන් කුසල වේශයෙන් පැමිණෙන බොහෝ අකුසල ක්‍රියාවන්ගෙන් ඇතැම් පුද්ගල සිත් කිලිටි බවට පත් වේ. කරුණු මෙසේ හෙයින් වඤ්චනික ධර්මයන්ට හසු නොවී ප්‍රථමයෙන් ම මෙම කරුණු පිළිබඳ දැනුම්වත් වී සිත මනා සංවරයෙන් යුක්තව පවත්වා ගනිමින් ජීවිතය හසුරුවා ගැනීමට නුවණින් යුක්තව කටයුතු කළ යුතු ය.

ලබන සතියේ... - ලෝකය පිළිබඳ තම ආකල්පය කෙබදු විය යුතු ද?

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.