ඉහළ යන සුබසාධන වියදම රටට බලපාන්නේ කොහොමද? | සිළුමිණ

ඉහළ යන සුබසාධන වියදම රටට බලපාන්නේ කොහොමද?

 වසර 2018 සඳහා වූ අය-වැය ලබන මස 09 වැනිදා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර අය-වැයෙන් රජයේ සේවකයින්ට, විශ්‍රාමිකයින්ට, ගොවිජනතාවට මෙන්ම පොදුවේ සමාජයේ සැමට සහන සැලැසෙනු ඇතිදැයි සැමදෙනා විමසති.

එසේ, ජන සමාජයේ කතිකාවන අපට සහන ලැබෙන අය-වැයක් යන බලාපොරොත්තුව ඉටු කිරීම රජයේ යුතුකමය, වගකීමය. ඒ භාර්යදූර්ය වගකීම රජය තම පාලනය භාරගත් වසර 2015 ජනවාරි 08 වැනිදා සිටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉටුකොට ඇත. ඒ බව පසක් වනුයේ ශ්‍රී ලංකා අය-වැය ඉතිහාසයේ වැඩිම සුබසාධන, සමාජ ආරක්ෂණ වැය බරක් දරා තිබෙනුයේ වසර 2015 පසුව බව හෙළිවීමෙනි.

වසර 2015 – 2017 සමාජ ආරක්ෂණය සඳහා වූ රජයේ වියදම්වල කැපීපෙනෙන වර්ධනයක් සිදු කිරීමට ජනපති - අගමැති සුසංයෝගයෙන් යුතු වත්මන් සම්මුතිවාදී ජාතික රජය කටයුතු කොට ඇත. රාජ්‍ය අංශයේ සේවකයින්ගේ, වැටුප්, විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් දීමනා, සමෘද්ධිලාභීන්ගේ දීමනා, ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ලක්, ගොවීන්ට පොහොර සහනාධාරය, ත්‍රිවිධ හමුදාව, තරුණ තරුණියන්ට, කාන්තාවන්ට හා ළමයින්ට විවිධ සුබසාධන වැඩපිළිවෙළ මෙන්ම ඖෂධ නොමිලේ ලබාදීම යනාදී සමාජ ආරක්ෂණ වියදම්වලට ලබාදෙන මුදල් රජය ඉහළ නංවා ඇත.

වසර 2000දී විශ්‍රාම වැටුප්, සමෘද්ධි, පොහොර සහනාධාරය, ඖෂධ නොමිලේ ලබාදීම, ආබාධිත රණවිරුවන්ට වන්දි, මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවලට පැවැරුම් හා අනෙකුත් සමාජ ආරක්ෂණ වැඩකටයුතු සඳහා එවකට පැවැති රජය වැයකොට ‍ඇත්තේ රුපියල් බිලියන 52කි. වසර 2017 වනවිට මේ සඳහා වෙන්කළ මුදල රුපියල් බිලියන 467කි.වසර 2000 – 2014 කාලය තුළ විශ්‍රාම වැටුප් ගෙවීම් පමණක් හයගුණයකට වඩා වැඩිවී ඇත. රජයේ පුනරාවර්තන වියදම් විශාල ලෙස ඉහළයෑමට එක් ප්‍රබල හේතුවක් වී තිබෙනුයේ මේ විශ්‍රාම වැටුප් දීමනා සඳහා විශාල මුදලක් ගෙවීමට පියවර ගැනීමයි. එසේ කියා කිසිඳු විශ්‍රාමිකයෙකුගේ දීමනාව සතයකුදු කපාදැමීමට රජය සූදානම් නැත. රජය එය වසරින් වසර කොතරම් ආර්ථික අභියෝග පැමිණියද වැඩිකොට ඇත. එය පැසසිය යුතු කරුණකි.රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේදී දැඩි අභියෝගයක් වන සුබසාධන හා සහනාධාර අංශයන් සඳහා වන මුදල් වෙන් කිරීම් වුව, රජය සමෘද්ධිය සඳහා වෙන්කළ වැඩිම මුදල මේ වසරේදී ලබාදී ඇත. වසර 2000දී රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති අතර වසර 2014 වනවිට එය රුපියල් බිලියන 15ක් දක්වා වැඩිකොට තිබුණි. වසර 2015 බලයට පත් නව රජයේ සමෘද්ධි දීමනාව වැඩිකොට මේ වනවිට ඒ සඳහා රුපියල් බිලියන 41ක මුදලක් වෙන්කොට ඇත.

මේ ආකාරයට රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්, සමෘද්ධිලාභීන්ට, ගොවි ජනතාවට සහන සැලැසෙන සුබසාධන වැඩපිළිවෙළට වැඩි වැඩියෙන් මුදල් වෙන් කිරීමට රජය තම ආදායම් වැඩිකර ගත යුතුමය. ඒ අනුව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා ද රජය මේ වනවිට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබේ.

සමාජ ආරක්ෂණයට වැඩිම මුදලක් වෙන්කළේ වත්මන් රජයයි - මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර

ශ්‍රී ලංකා අය-වැය ඉතිහාසයේ සමාජ ආරක්ෂණය, සුභසාධනය හා සහනාධාර සඳහා වැඩිම මුදලක් වෙන්කළේ වත්මන් රජය යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

වසර 2000 සිට වසර 2017 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ රටේ සුභසාධන හා සහනාධාර වියදම් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් මංගල සමරවීර මහතා මේ බව සඳහන් කෙළේය.

ර‍ජයේ වියදම් ලේඛනයේ විශාල කොටසක් වෙන්කරගන්නා මේ සුබසාධන, සහනාධාර වියදම් කොතරම් අමාරුකම්, අභියෝග පැනනැඟුණ ද? කප්පාදු නොකරන බව ඇමැතිවරයා අවධාරණය කෙළේය.

වසර 2000 සාපේක්ෂව 2014 වසරේ වැටුප් හා වේතන, සහනාධාර සහ පැවැරුම් හා ණය පොළී ගෙවීම් හයගුණයකින් වැඩිවී ඇත. සමස්ත පුනරාවර්තන වියදමින් 66%ක ප්‍රමාණයක් වැටුප් හා වේතන සහ ණය පොලී ගෙවීම් වෙනුවෙන් වෙන්කොට තිබේ.

මේ අන්දමේ වෙන් කිරීම් ඉක්මවා යමින් වසර 2015, 2016 හා 2017 වත්මන් රජය කොට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1946ක් තරම් විශාලය. සහනාධාර හා පැවැරුම් සඳහා ඉතිහාසයේ කළ වැඩිම මුදල් ලබාදීම ලෙස වාර්තා තබමින් ඊට රුපියල් බිලියන 467ක මුදලක් ලබාදී ඇත. පොලී ගෙවීම්වලට රුපියල් බිලියන 680ක් ද, රාජ්‍ය සේවක වැටුප් හා වේතන සඳහා රුපියල් බිලියන 625ක් ද වැයකොට ඇත.

 

රජයේ ආදායම් විශාල ලෙස අඩුවෙමින් පැවැතී රාජපක්ෂ පාලනයෙන් අධික පොලියට හා දැඩි කොන්දේසි යටතේ ලබාගත් ණය කන්දෙන් මිරිකී සිටි රට නැවැත ඒ අසීරු අමිහිරි අත්දැකීමට ලක් නොවන තැනට අප කටයුතු කරමින් රටේ ණයබර මේ වනවිට අඩුකර තිබෙන බව ද මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම

ආර්ථිකයේ විවිධ අංශ සඳහා ලබා දී ඇති බදු නිදහස් කිරීම් සහ බදු සහන තාර්කිකරණය කිරීමට සහ බදු නීති සරල කිරීම තුළින් මෙන්ම කාර්ය මණ්ඩල කුසලතා සංවර්ධනය, කාර්යක්ෂම සහ ඵලදායී බදු පරිපාලනයක් ඇති කිරීම සඳහා උපකාරී වී ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව සිදුව ඇති බදු ආදායමේ වර්ධනය සෑම බදු උප අංශයන්ගේම වාර්තා සාක්ෂි සපයයි.

රාජ්‍ය ආදායම් සහ ප්‍රදානයන් 2016දී 16% කින් ඉහළ ගොස් ඇත්තේ ඒ අනුවය. එසේම රාජ්‍ය ආදායම සහ ප්‍රදානයන් 2017දී 19%කින් ඉහළ යනු ඇති බවට ද ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව 2016 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 357 කින් බදු ආදායම 2017 වසරේදී ඉහළ යනු ඇත‍.

බදු ආදායම් සංයුතියෙහි උප අංශයන්ගේ ඉහළ යාම සම්බන්ධව රජයේ තක්සේරුව වී ඇත්තේ නිෂ්පාදන බදු 2017දී 26%කින් සහ එකතු කළ අගය මත බදු (VAT) 2017දී 34% කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වනු ඇති බවටය. මේ සඳහා රජය විසින් අවම මෙහෙයුම් වියදමක් සමඟ බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති විවිධ ප්‍රතිසංස්කරණ හේතු වනු ඇත.

ඍජු බදු වර්ධනය කරගැනීම

ඍජු බදු ආදායම (ආදායම් බදු) දිගින් දිගට පහළගිය තත්ත්වය 2016 වසරේ සිට ඉහළ දමා ගැනීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඍජු බදු සහ වක්‍ර බදු අනුපාතය

මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ යෝජිත නව දේශීය ආදායම් බදු පනත ය. මෙතෙක් මෙරට බදු ආදායම් හී වැඩි නියෝජනයක් සිදුවූයේ වක්‍ර බදු ය. එය සමස්ථ බදු ආදායමේ ප්‍රතිශතයෙන් 80%ක් විය. ඍජු බදු ආදායම සමස්ත බදු ආදායම තුළ නියෝජනය වූයේ 20%ක් ලෙසින්ය.

බදු ක්‍රමයේ ප්‍රතිසංස්කරණය

නව බදු පනත හරහා වක්‍ර බදු සංයුතිය 60%ක් බවට පත්කර ගන්නට සහ ඍජු බදු සංයුතිය 60%ක් දක්වා වර්ධනය කරගන්නට අපේක්ෂා කර ඇත. එහෙත් එය දින කිහිපයකින් සිදුකළ හැක්කක් නොවේ. ප්‍රතිසංස්කරණය සමඟ ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව ඉදිරියට ගෙනයාම හරහා ඇතිකළ යුතු තත්ත්වයකි. එය මෙතෙක් මෙරට වක්‍ර බදුවල වර්ධනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව සඳහා ගනු ලැබූ වැදගත් තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එසේම ඍජු බදු ආදායමේ සංයුතිය වැඩි කිරීම හමුවේ බදු දැල වෙත මෙතෙක් ආවරණය නොවුණු පිරිස් ආවරණය කරගැනීමක් සිදුවනු ඇත. මෙය මෙතෙක් පැවති බරපතළ අඩුපාඩුවක් යළි සකස් කිරීමට ගනු ලැබූ දියුණු උත්සහයක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන.

එහෙත් අභියෝගය වනුයේ මේ සිදුකරන්නට යන ප්‍රතිසංස්කරණය කොතෙක් දුරට ජනතාව අතරට සාර්ථකව ගෙන යාමට සමත්වේ ද යන්නය. ජනතාවට සහනයක් වන මෙබඳු ප්‍රතිපත්තියක් නිවැරදිව ජනතාව අතරට නොගියහොත් බදු පනතට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීම පහසු වනු ඇත. මන්ද බදු ආදායම සම්බන්ධව මෙරට පවතින්නේ අතිශය පසුගාමී මනෝභාවයකි. එහෙයින් බදු පනතට සමගාමීව එහි අපේක්ෂාවත් සිදුකරණ ප්‍රතිසංස්කරණ විසින් පොදුජන සමාජයට ලැබෙන ප්‍රතිලාභත් සම්බන්ධව නිවැරදි තහවුරුවක් ජනතාව වෙත ඇති කළ යුතුව ඇත.

ජයසිරි මුණසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.