රාජ්‍ය ණය බර වගකීම කාටද? | සිළුමිණ

රාජ්‍ය ණය බර වගකීම කාටද?

 ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 81ක් වටිනා ආර්ථීකය මේ වන විට ඇත්තේ මහා විදෙස් ණය කන්දරාවක් මතය. Moody's අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයට අනුව පසුගිය වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත බාහිර ණය බර ඩොලර් බිලියන 47කි. මෙයින් ඉදිරි මාස 12ක කාලයක් සඳහා පමණක් පියවීමට ඇති මේ මහ ණය කන්දරාවේ වටිනාකම ඩොලර් බිලියන 5කි. ලබන වසරේදී කල් පිරෙන සෛවරීත්ව අන්තර්ජාතික බැඳුම්කර නැතත් එළඹෙන 2019 වසරේ සිට 2022 දක්වා දළ වශයෙන් වසරකට ඩොලර් බිලියන 3.6ක කල් පිරෙන සෛවරීත්ව අන්තර්ජාතික බැඳුම්කර ඇතුළු අනෙකුත් විදේශ ණය හා වාරික ලක් රජය විසින් මේ අනුව පියවිය යුතුව ඇත්තේය.

මේ මහා ණය කන්දරාවට සාපේක්ෂව දැනට රට සතුව ඇත්තේ යාන්තම් ඩොලර් බිලියන 7ක් ඉක්මවූ විදේශ සංචිත ප්‍රමාණයකි. එයින්ද අතිබහුතරය ගොඩනඟා ඇත්තේ තවතවත් විදේශයට ණය වෙමින් වන අතර, එයින්ද යාන්තමින් පිරිමසාගත හැක්කේ ඉදිරි මාස 4.4ක පමණ ආනයන වියදම් පමණි.

මෙවැනි අහිතකර බාහිර ආර්ථීක ප්‍රවණතා හමුවේ මෙරටේ ජංගම ගිණුමේ හිඟයද මේ වන විට පුළුල් වෙමින් පවතී. විශේෂයෙන් මේ වසරේ ඇති වූ නියඟ තත්ත්වයන් හමුවේ ජල විදුලි උත්පාදනය අඩාළ වී පිරිවැය අධික ආනයනික ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදන ක්‍රියාමාර්ගයන්ට විදුලිබල මණ්ඩලය යොමු වීම ආදි ආනයන වියදම් අධික කාරණා නිසා මේ වසරේ ජංගම ගිණුමේ හිඟය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරේ වූ සියයට 2.4ට සාපේක්ෂව තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂිතය. පසුගිය වසරේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.2ක් වූ විදේශ ඍජු ආයෝජනද මේ වසරේ එතරම් දුරකට වර්ධනය නොවනු ඇතැයි පුරෝකථනය වි ඇති තත්ත්වයක මෙරටේ ජංගම ගිණුමේ හිඟයෙන් කොටසක් තවදුරටත් ණය මගින් පියවාගත යුතුව ඇත. මේ නිසාද රටේ සමස්ත ණය බර වසර අවසානයේ තවදුරටත් ඉහළ යෑමට නියමිතය.

ඉදිරියේ ඇති විය හැකි බාහිර ආර්ථීක ප්‍රවණතා මත මෙම කල් පිරෙන විදේශ ණය ආපසු නිකුත් කිරීමද ඉතා අසීරු වනු ඇතැයි ලෝක බැංකුව වැනි අන්තර්ජාතික ණය දෙන සංවිධාන හා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මේ වන විට මෙරටට අනතුරු අඟවාද ඇත.

මෙවැනි භයංකර ආර්ථීක වටාපිටාවක මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවෙත්වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගි වෙමින් සිටිනා අතරතුර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ ඉදිරි වර්ෂවලදී විදේශ ණය පියවීම සඳහා පැහැදිලි සැලැස්මක් රජය සතුව ඇති බවයි.

මූල්‍ය අරමුදලේ නිවේදනය

“ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පැහැරහැරීමට ඇති අවදානමක් මම නම් දකින්නේ නැහැ. රජය පැහැදිලි ලෙසම මේ ණය නිසි වෙලාවට නිසි පරිදි ගෙවීමට සැදී පැහැදී සිටිනවා. ඉදිරි රාජ්‍ය ණය කළමනාකරණය වෙනුවෙන් රජය සතු උපාය මාර්ගික වශයෙන් වැදගත් නොවන රාජ්‍ය ව්‍යාපාර අංශ දෙස් විදෙස් පෞද්ගලික අංශයට පැවරීමට කටයුතු කරනවා,” යැයි එහිදී ආචාර්ය කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර තිබිණි.

මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මෙරට ස්වකීය බාහිර ණය සීමාවන්හි උපරිම තලයට පැමිණ ඇතත් මේ දක්වා කිසිදු විටක ණය වාරික පැහැර හැර සිටීමේ කටයුත්තක නිරත වී නැති බවත් ඉදිරියේත් එවැනි ණය පැහැර හැරීමේ අවදානමක් නැති බවත්ය.

“මම හිතන්නේ මේ අධික ණය බර තත්ත්වය නිවැරදිව කළමනාකරණය කරන්න අපට හැකියාව තිබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. මෙවැනි පසුබිමක ලබන වසරේ මුල් භාගයේ යළිත් සෛවරිත්ව බැඳුම්කර නිකුතුවත් වෙත යෑමටද රජය සැලසුම් කර ඇතැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය ආකාර්යක්ෂම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට දුර-දිග නොබලා අක්‍රමවත් ලෙස ණය ගැනීම් මත මෙසේ රාජ්‍ය ණය බර වැඩි වූ බවට වත්මන් රජය දිගින් දිගටම චෝදනා එල්ල කරද්දී වත්මන් රජයද පසුගිය කාලයේ සාමූහික ණය පදනමින් හා සෛවරිත්ව ණය පදනමින් රාජ්‍ය ණය බර තවදුරටත් පුළුල් කිරිම සිදු කළේය. එහිදී විදේශ සංචිත මත එල්ල වූ පීඩනය මඟහැරීම මූලික විය. මේ අනුව මේ වන විට රටේ සමස්ත බාහිර ණය බර 2014 දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසට වූ 71.3% ප්‍රමාණයේ සිට 79.3% දක්වා පසුගිය වසර අග වන විට ඉහළ ගොස් තිබිණි. කෙසේ වෙතත් 2020 වන විට මේ ප්‍රමාණය 70% දක්වා පහත හෙළීම රජයේ අභිලාෂයයි.

මේ සතියේ මෙරට සම්බන්ධයෙන් ස්වකීය නවතම ආර්ථීක නිරීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් Moody's ආයතනය වැඩිදුරටත් පවසා තිබුණේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ යම් බලපෑමක් රටේ මේ බාහිර අහිතකර ආර්ථීක ප්‍රවණතා මඟහැරීමට කළ හැකි වුවද එහි බලපැම් සම්බන්ධයෙන් තවමත් පැහැදිලි චිත්‍රයක් මතු වෙමින් නොපවතින බවය. ගෙවී ගිය සතියේ ශ්‍රී ලංකාවේ ආර්ථීක, වාණිජ හා මූල්‍ය අංශයේ වැඩි අවධානයක් යොමු වූයේ මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැත්වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේ ශ්‍රී ලංකාව ආශ්‍රිත පුවත් හා නිවේදන කෙරෙහිය.

එහිදී වඩාත් වැඩි අවධානයක් යොමු වූ කාරණාව වූයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ක්‍රියාත්මක කර තිබෙන විස්තීර්ණ ණය පහසුකමෙහි තෙවන සමාලෝචනය පිළිබඳව නිලධාරි මට්ටමෙන් එකඟත්වයකට පැමිණෙමින් නිකුත් කළ නිවේදනයයි.

“බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මඟින් ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි තෙවන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම එකඟත්වයකට එළඹිණි

බාහිර ආර්ථීක කටයුතු

“2017 වසරේ දෙසැම්බර් මාසයේ තෙවන සමාලෝචනය අවසාන කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලැබෙන වැඩසටහනට අනුකූල වන පරිදි 2018 වර්ෂය සඳහා වන රජයේ අයවැය පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පාර්ලිමේන්තුවට යොමු කර තිබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ 2018 වසර සඳහා වන රාජ්‍ය අයවැය මඟින් ආදායම් ශක්තිමත් වීමෙහි දායකත්වයද සහිතව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. උද්ධමනය සහ ණය වර්ධනය මත පීඩනය අවම කිරීම සඳහා මහ බැංකුව සූදානම්ව සිටිය යුතු අතර, විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය අඛණ්ඩව පවත්වාගත යුතුය.”

“බලධාරීන් විසින් රටෙහි රාජ්‍ය, මූල්‍ය තත්ත්වය වර්ධනය කරමින් සිටින අතර, අන්තර්ජාතික සංචිත ශක්තිමත් කර තිබෙන නමුත්, රජය සතු සංස්ථා අංශයෙහි ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු විය යුතුය. රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශවල අසමතුලිතතා කළමනාකරණය කරගැනීමට සහ රජයේ සුභවාදි සමාජීය සහ සංවර්ධන අරමුණු ඉටු කරගැනීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. තරගකාරිත්වය නංවාලීම සඳහා ප්‍රයත්න දැරීම, සමාජ ආරක්ෂක වැඩසටහන් වැඩිදියුණු කිරීම සහ පෞද්ගලික අංශයේ සංවර්ධනය වැඩිදියුණු කිරීම, ආර්ථික වර්ධනය වඩා වඩා ශක්තිමත් හා පරිපූර්ණ කිරීම සඳහා වැදගත් වනු ඇත,” යන්නද ඒ නිවේදනයේ සඳහන්ය.

මේ අනුව මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුකූලව රාජ්‍යයේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගනිමින් ණය බර සැහැල්ලු කිරීමට අදාළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණවලට අදාළ යෝජනා හා මේ වසරේ නියං හා ගංවතුර නිසා ඇති වූ රුපියල් බිලියන 140කට ආසන්න ආර්ථීක පාඩු මඟහැරීමට අදාළ යෝජනා සපිරි අය-වැයක් නොවැම්බර් 09 දා 2018 වසර සඳහා රජය ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතය.

මේ අතරේ මෙවසරේ අමතර වියදම් පියවාගැනීම සදහා රුපියල් බිලියන 25ක පරිපූරක ඇස්තමේන්තුවක්ද ගෙවී ගිය සතියේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි. වරාය නගර ව්‍යාපෘතියේ, අමාත්‍යාංශ කිහිපයක හා ජනාධිපති කොමිෂන්වලට අදාළ අමතර වියදම් මෙමඟින් ආවරණය කරගැනිමට අපේක්ෂිතය.

මහ බැංකුව ගෙවී ගිය සතියේ ආර්ථීකයේ ගෙවුණු අගෝස්තු මස බාහිර ආර්ථීක සමාලෝචනය ඉදිරිපත් කරමින් කියා සිටියේ රටේ අපනයන ආදායම් පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 15.5%කින් ඉහළ යමින් ඩොලර් බිලියනක් වූ බවයි. අපනයන ආදායම් ඉහළ යෑමට යළි ලැබුණු යුරෝපා GSP+ බදු සහණ මූලික වූ බව මහ බැංකුව කියයි.

නව විනිමය පාලන පනත

අපනයන ආදායම් ඩොලර් බිලියනය මේ වසරේ ඉක්මවූ දෙවන අවස්ථාව මෙය වුව ද ඉන්ධන ආනයන වියදම් ප්‍රමුඛව (ඉන්ධන ආනයන වියදම් ඉහළ යෑමේ ප්‍රතිශතය 74.2%කි) ආනයන වියදම් ඉහළ යෑම් හමුවේ අගෝස්තු මස වෙළෙඳ ගිණුමේ හිඟය පසුගිය වසරේ වූ ඩොලර් බිලියන 783 සිට 856 දක්වා ඉහළ ගොස් තිබිණි. මෙහිදී ආනයන වියදම් 12.6%කින් ඉහළ යමින් ඩොලර් බිලියන 1.86ක් විය.

මැදපෙරදිග අහිතකර තත්ත්වයන් මැද අගෝස්තු මස විදේශ ප්‍රේෂණ ලැබීම්ද 10%කින් පහළ යමින් ඩොලර් මිලියන 556.6ක් වෙද්දී මේ වසරේ මුල් මස 8 තුළ මුළු විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 6.3කින් පහළ යමින් ඩොලර් බිලියන 4.5ක් විය.

මේ අතරේ අන්තර්ජාතික ෆීච් රේටිං ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිවේදනය කළේ නැඟී එන මෙරට අවිධිමත් අංශයේ සංචාරක නවාතැන් පොළවල් විධිමත් සංචාරක සේවා හෝටල් අංශයේ ලාභයට දැඩිව බලපෑමක් කරන බවයි.

ශ්‍රී ලංකාවේ නව විනිමය පාලන පණත ක්‍රයාත්මක විමේ දිනය නොවැම්බර් 1 දා දක්වා කල් ගිය බවද ගෙවුණු සතියේ නිවේදනය විය.

අන්තර්ජාතික මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී ඉහළ කාර්යක්ෂමතාවක් ලබාගැනීමේ සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රාග්ධන ගිණුම සම්බන්ධ විදේශ විනිමය රෙගුලාසි ක්‍රමිකව මෙමගින් ලිහිල් කිරීමට අපේක්ෂිතය. රට තුළට ගලා එන ප්‍රාග්ධන ප්‍රවාහයන් හා රටින් පිටටත ගලා යන ප්‍රාග්ධන ප්‍රවාහයන් තරමක් බාධාකාරී බවට පොදු මතයක් පව. මේ තත්ත්වයට පිළියම් යෙදීමක් වශයෙන් නව පනතක් හඳුන්වා දෙන බවට පසුගිය අයවැය නිවේදනයන්හිදී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසරේ අවසන් කිරීමට බලාපොරොත්තුව ඇතිව සිදු කළ අවසන් අදියරේ සාකච්ඡා වටයක් පසුගිය බදාදා සිංගප්පූරුවේදී අවසන් විය. දින 03ක් පුරා පැවති මේ සාකච්ඡා සදහා ශ්‍රී ලංකා පාර්ශ්වයේ නායකත්වය දරන ලද්දේ වාණිජ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි කේ.ජේ. වීරසිංහ මහතාය. මේ මස මුල් සතියේ අවසන් වූ ඉන්දු-ලංකා යෝජිත ආර්ථීක සහයෝගිතා ගිවිසුමට (එට්කා) අදාළ පස්වන වටයේ සාකච්ඡා සඳහා නායකත්වය දැරූයේද ඔහුය.

නගර නිර්මාණය, සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැලසුම් කිරීම සහ සංවර්ධනය මෙන්ම නිෂ්පාදනයන් සඳහා වන අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට සිංගප්පූරු සමාගම් කිහිපයක් දැනටමත් කැමැත්ත පළ කර තිබේ.

2015 වසරේදී රටවල් දෙක අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණය සිංගප්පූරු ඩොලර් බිලියන 2.05ක් වූ අතර, එය දේශීය අපනයනය සිංගප්පූරු ඩොලර් බිලියන 1.9 සහ සිංගප්පූරුවේ ආනයන සිංගප්පූරු ඩොලර් මිලියන 146කින් සමන්විත විය.

මුදිත ගමගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.