පාර්ලිමේන්තුවට පැන්න මීගමුවේ කරවල හොරා | සිළුමිණ

පාර්ලිමේන්තුවට පැන්න මීගමුවේ කරවල හොරා

පාර්ලිමේන්තුවට කොටි ප්‍රහාරයක් එල්ල වුණේ 1987දීය. ඉන් පසු එම පරිශ්‍රයට දැඩි ආරක්ෂාව සැපයුවද කොළඹට කොටි ත්‍රස්තයන්ගේ ප්‍රහාර දිගටම එල්ල විය. මහ බැංකුව, දෙහිවල දුම්රිය පොළ ආදි ස්ථාන පුපුරුවා හරින්නට එල්ටීටීඊ ත්‍රස්තයන් බෝම්බ අටවන්නට විය. ශ්‍රී දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරය නිසා රටම සිටියේ කැලඹීමෙනි. ඒ 1998 වසරේය. එහි උණුසුම යන්නටත් පෙර හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තුට හදිසියේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් ඇමතුමක් ආවේය.

“පාර්ලිමේන්තුවට කොටියෙක් පැනලා. ඩොක්ටර් ඉක්මනට එන්න.”

ඒ පණිවුඩයෙන් වෛද්‍ය අතපත්තු ව්‍යාකුලත්වයට පත් විය.

“මම පුදුම වුණා මෙච්චර හමුදා පොලිස් රැකවරණ තියෙද්දි මටම මේ වැඩේට එන්න කියන්නේ ඇයි කියලා. මම කොයිකටත් කියලා ගියා. කොටියා කොහේ ඇත්ද කියලා ඇහුවාම කීවා කුණු වළේ කියලා. පාර්ලිමේන්තු ආපන ශාලාවේ අපද්‍රව්‍ය බැහැර කරන වෙනම කසළ වළක් තියෙනවා. ඒක පහුරුගාලා ඇදලා තිබුණා දැක්කට පස්සේ තමයි තේරුණේ මේ කතා කරන්නේ කකුල් හතරේ කොටියෙක් ගැන කියලා.” වෛද්‍ය අතපත්තු සිනාසෙමින් විස්තර කියන්නට විය.

“දියවන්නා ඔයට ඔබ්බෙන් ලඳු කැලය නිසා මොන තරමේ සතෙක්ද කියන සැකය මගේ හිතට ආවා. දවස් දෙක-තුනක් තිස්සේ කණ්ඩායම යොදවලා හෙව්වාට හමු වුණේම නෑ. එක ආරක්ෂක භටයෙක් කීවා ඒ එන්නේ දිවියෙක්ය, වලගයක් දැක්කාය, මිනිස්සු එද්දිම පැනලා දුවනවාය කියලා. ඉතින් අපි අන්තිමට තීරණය කළා කූඩුවක උගුලක් අටවලා අල්ලා ගන්න. ඒ දවස්වල මට පාර්ලිමේන්තුව ගෙදර වගේ. ඕන වෙලාවක යන්න එන්න පුළුවන්. එනිසා කුණු වළ ළඟ තට්ටක් එක්ක අමු කුකළු මස් කුට්ටියක් තියලා උගුල ඇටෙව්වා. හප්පේ! පහුවෙනිදා උදේ බලද්දි ගොරවනවා කෙළවරක් නැතිව. දිවියෙක් නෙවේ, හඳුන් දිවියෙක්. මගේ ඒ දවස්වල රාජකාරී බහුවලම තිබුණේ මාදුරු ඔය නිසා ඒ රක්ෂිතයට ගිහින් අතහැරියා. ඔන්න කොටියෙක් අල්ලන්න පාර්ලිමේන්තු ගිය හැටි.”

වෛද්‍ය අතපත්තු එසේ කියමින් හඳුන් දිවියා ගැන විද්‍යාත්මක කරුණුද හෙළි කරන්නට විය...

“මේ හඳුන් දිවියාම තමයි සමහර පැතිවල ‘කොළ දිවියා’ කියලා හඳුන්වන්නේ. සමහරු හිතනවා මේ සතුන් දෙන්නෙක් කියලා. නෑ... වාසය කරන ප්‍රදේශ අනුව වර්ණය වෙනස් වන නිසා තමයි එහෙම හිතෙන්නේ. කොළ දිවියාගේ වර්ණය දුඹුරු-අළු පැහැයට හුරුව තදටත්, හඳුන් දිවියා කහ පාටට කිට්ටු ළා පැහැයටත් හුරුයි. ඉන්දියාවේ ‘ඉන්ඩියන් ෆිෂිං කැට්’ (Indian Fishing Cat) කියලා තමයි මෙයාව හඳුන්වන්නෙ. ඒ වගේම නේපාලේ, තායිලන්තේ, ජාවා සුමාත්‍රා දූපත්වලත් දකින්න පුළුවන් නිසා අපටම ආවේණිකයි කියන්න බෑ. ඇඟේ නිශ්චිත හැඩයක් නැති පැල්ලම් තිබෙනවා. අලංකාරයක් නැතත්, සිරුරේ දිගු අතට පේළියක් ලෙස සැකසෙනවා. සිරුර උඩ පැත්තෙදි කුඩාවටත්, බඩ පැත්තට එද්දි එකතු වෙලා විශාල පැල්ලම් හැටියටත් පිහිටනවා. කකුල්වලත් ලප තිබුණට වල්ගෙ තිබෙන්නේ වයිරම් වගේ. බඩ පැත්ත අළුවට හුරු සුදු පාටයි. ඒත් කම්මුල් හරියෙදි සුදුම සුදුයි. ලෝම කෙටියි, හමට ඇලුණු ස්වරූපයක් තිබෙන්නෙ. හොම්බේ රැවුල් ගස් අනෙක් සතුන් සමඟ සසඳද්දි කෙටියි, කළුයි. ඔළුවයි ඇඟයි එකට ගත්තම තිබෙන දිගෙන් තුනෙන් එකක් විතර දිග වල්ගයක් තිබෙනවා. මෙයාලාගේ දිග ගැන කියන්නේ වල්ගේ දිගත් එකතු කරලයි. ඒ නිසා වැඩුණු හඳුන් දිවියෙක් අඩි දෙකහමාරක් විතර වෙන්න පුළුවන්. ඉදිරි පාදයේ නියපොත්තේ සිට උරහිසට උස අඩියකුත් අඟල් දෙකක් පමණ වෙනවා. පිරිමි සතෙක් රාත්තල් 25ක් විතර බර වුණාට ගැහැනු සතෙකුගේ බර වෙන්නේ රාත්තල් 14ක් විතර ප්‍රමාණයක්.”

“හරියට ලොකු බළලෙක් වගේ” මම කීවෙමි. එයින් වෛද්‍ය අතපත්තුට තවත් කතාවක් මතක් විය...

“ඔව්. කෙනෙක් රැවටෙන්න පුළුවන් ලොකු පූසෙක් කියලා. රාජ්‍ය නොවන සංවිධානයක රුසියානු නෝනා කෙනෙක් හිටියා, හරීම උස-මහතයි; මූණ රතුම රතුයි. නිල නිවෙසේ තනිවම ජීවත් වුණේ. තනිකමට පූසො ඇති කළා. හැම සති අන්තෙකම කොල්ලුපිටියේ පොළට යනවා. ඒ ගියාම පොළේ ඉන්න පූසන්ටත් කෑම අරන් දෙනවා. ඕක බලන් හිටිය වෙළෙන්දෙක් දවසක් කීවා ‘නෝනා ඔහොම නෙවෙයි, මාළු කඩේ ළඟට එනවා මුන්ට වඩා ලොකුම ලොකු පූසෙක්. ඕන නම් හවසක ඇවිත් බලන්න’ කියලා. ඒ කියපු විදිහට ගිහින් බැලුවාම හරිම ලස්සන ලොකු පූසෙක් හිටියා. ඒ මිනිස්සුන්ට කියලා මේ සතාව අල්ලාගෙන ගෙදර ගිහින් ඇති කරන්න මේ නෝනා ලෑස්ති වුණා. පූසන්ට සාමාන්‍යයෙන් කර පටි දාන්නේ නෑනේ... ඒත් මේකාගේ සැරටයි, මුරණ්ඩුකමටයි අර වෙළෙන්දන්ටම කියලා කරපටියකුත් දම්මාගෙන දැන් ඇති කරනවා. මේ සතා මස්-මාළු විතරමයි කන්නේ. විස්කෝතු, බත් පාන් මුකුත් කන්නේ නෑ. පස්සේ මට කතා කළා පූසන්ගේ රෝගවලට ගහන බෙහෙත් විදින්න එක්කගෙන එන්න බෑ, ඒ ගෙදරට මට එන්න පුළුවන්ද කියලා. මමත් ගිහින් බැලුවා. පස්සේ මම තේරුම් කළා මේ පූසෙක් නෙවෙයි කියලා. එයා පිළිගත්තේම නෑ. මම කීවා මුන් හීලෑ වෙන්නෙත් නෑ, ඇති කිරීමත් තහනම් කියලා. ඒත් කාලයක් තියාගෙන ඉද්දි මේ නෝනාවත් හූරලා, වැඩට ඉන්න අයවත් හූරලා තිබුණා. පස්සේ අපි නීතියත් පෙන්නලා දුන්නාම, මටම කීවා එක්කන් යන්න කියලා. ඒ හඳුන් දිවියගේත් නිවහන වුණේ මාදුරු ඔය. හැබැයි එයාගේ කරපටිය ගලවන්න අපි සෑහෙන දුකක් වින්දා.”

එසේ අතීතයට ගිය වෛද්‍ය අතපත්තු හඳුන් දිවි පැටවුන්ගේ සුරතල්ද කියන්නට විය...

“ලංකාවේ උසම සීතලම පළාත් හැර ඕන තැනක මෙයාලා ඉන්න පුළුවන්. ඉන්දියාවේ ‘ෆිෂිං කැට්’ දියේ බැහැලා මාළු ඇල්ලුවාට ලංකාවේ හඳුන් දිවියා දියට බහින්නේ හරි අහම්බෙන්. ඒත් වතුර හිඳුණු වළක මඩේ මාළු දඟලන වෙලාවක නම් ඒකට වගකියන්න උන් හරි හපන්නු. ඒ වගේම කටුස්සන්, බිම් කරුල්ලන්, උන්ගේ බිත්තර හඳුන් දිවි ‘මෙනු පතේ’ ඉදිරියෙන්ම තිබෙනවා. ගම් ගෙවල්වල පොඩි බල්ලන් එහෙමත් ඉඳ-හිට අතුරුදන් කරන්නේ මේ අය තමයි. මුන්ගේ කිසිම හුරතලයක් නම් නෑ. ඒ නිසා ඇති කරන්න ගිහින් අමාරුවේ වැටෙන-එකයි වෙන්නේ. මෙයාලා අයත් වන්නේ බළල් පවුලට. ගෘහාශ්‍රිත බැළලියක් අවුරුද්දට දෙපාරක් පැටවුන් දැම්මට දිවියන් පැටවුන් දාන්නේ දෙවසරකට සැරයයි. ඒ දෙදෙනා අතර ඉන්න අපේ කතා නායකයා, හඳුන්දිවියාගේ පැටවුන් දැමිල්ලත් අතරමැද අවස්ථාවක තිබෙන්නේ. ඒ කියන්නේ වසරකට වරයි. ගැබ් කාලය තහවුරු කරගෙන නෑ. මමත් උපකල්පනය කරනවා මාස හයක් විතර ඇති කියලා. වරකට පැටවුන් දෙදෙනකු දැමීම පොදු සිරිතයි. ගස් බෙනවල රොඩු බොඩු එකතු කරලා සුව යහනක් බබාලාට හදන්න අම්මා මහන්සි ගන්නවා. උපතින් නග්න ස්වරූපයක් ගත්තත් දින කීපයකදී අම්මාට වඩා තද පාට කෝට්-එකක් ලැබෙනවා. දින හත-අටකින් ඇස් අරිනවා. අම්මාගේ තුරුල්ලේ ඉන්නේ මාස හය-හතක් විතරයි. එතකොට නම් හරිම හුරතල්. පූස් පැටවුන් වගේමයි. ඒ කාලේ ඇතුළත ජීවත් වෙන්න ඕන පාඩම්, පුහුණු වීම් ඔක්කොම උගන්වනවා. කන්නත් ගෙනත් දෙනවා.”

දරුවන්ට කෑම ගෙනත් දෙන්න හඳුන් දිවි මවක් ගත් වෙහෙස වෛද්‍ය අතපත්තුට මතක් වූයේ එවිටය...

“මීගමුව ටවුමෙන් ඔබ්බේ නොරොච්චෝලේ පැත්තට වෙන්න තිබුණු වල්ලමේ වැඩිපුර එකතු වන මාළු, බඩ පළලා, ලුණු දාලා වැල්ලේ වේළෙන්න අරිනවා. ටික කාලෙකදි එන්න එන්නම මාළු අඩු වෙන බවක් දැනුණා. හොරු අල්ලන්න මන්න-කැති තියාගෙන දවස් ගාණක් රැක්කා. එත් කවුරුත් නෑ. අන්තිමට මාළු හොරකම් කරන්නේ හොල්මනක් කියලා කතාව ගියා. තොරතුර ලැබුණට පස්සේ මමත් ගියා හොල්මන බලන්න. දවස් දෙක-තුනක් යද්දි හොල්මනගේ අඩි පාර තිබුණා මාළු වේළන තැන. ඒ ඔස්සේ ගිහින් බලාගෙන හිටියාම ඇල්සේශන් බල්ලෙක් තරම් විතර ලොකු කොළ දිවියෙක්. මාළු කනවා මදිවට ඇදගෙනත් යනවා. හරියට පාර්ලිමේන්තුවේ හිටිය එකා වගේ. අපි පස්සෙන් ගියා. වල්ලමේ තිබුණු හොඳ මට්ටමේ බෝට්ටුවලට මීටර් දෙසීයක් විතර ඈතින් දිරච්ච ඔරුවක් පැත්තට පෙරළිලා තිබුණා. මේකා ගිහින් ඒ අස්සට රිංගුවා. අපි පහුවෙනිදා දවල් ගිහින් බැලුවා. අනේ... කිරි වරන වයසේ චූටි පැටව් දෙන්නෙක් ඇතුළේ ඉන්නවා. අම්මා එන කල් රැකගෙන ඉඳලා බොහොම අමාරුවෙන් සිය පවුලම අරන් ගිහින් මාදුරු ඔය අලුත් නවාතැනක් හදාගන්න ඉඩ දුන්නා. මේ හැම දේකින්ම තෙරුම් ගන්න දෙයක් තිබෙනවා...” වෛද්‍ය නන්දන අතපත්තු කණගාටුව මුසු ස්වරයෙන් කීවේය.

“කැලෑවල ඉන්න මේ සතුන් ඔය වගේ දේවලට පුරුදු වුණේ මිනිසුන්ගේම වැරැදි නිසයි.”

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.