මගේ මාරුවීම ගැන මැතිනිය පාර්ලිමේන්තුවෙත් කතා කළා | සිළුමිණ

මගේ මාරුවීම ගැන මැතිනිය පාර්ලිමේන්තුවෙත් කතා කළා

* මං ඒ කාලේ හිරගෙදරදි රටේ නම ගිය අපරාදකාරයොත් ආශ්‍රය කළා. උන් හිත හොඳ මිනිස්සු
* හිරකාරයො මට කිව්වේ 'දෙයියා' කියලා 
* අවුරුදු 40ක් සේවය කර උසස්වීම ලැබුණේ විශ්‍රාම යන දවසේ

බැංකු ගිණුමට වැටුණු ලක්ෂ 24 ආපසු දුන් විශ්‍රාමික ‍ජේලර්නෝනා

එස්. කේ. ප්‍රේමලතා......මේ ලෙසින් කියූවද ඇතැම් විට කිසිවෙක් ඇය ගැන නොදන්නවා වන්නට පුළුවන. නමුදු කලක් වැලිකඩ හිරගෙදර ජේලර්වරියක ලෙස සේවය කළ ප්‍රේමලතා ගැන ඒ යුගයේ සිටි ඇත්තෝ හොඳින් දනිති. කාලය වෙනස් වී ඇත. නමුදු ඈ පිළිබඳ යළිත් මතකය අලුත් වූයේ ඈ විසින් කළ යහපත් කාර්යයක් නිසාවෙනි. විශ්‍රාමික ජේලර්වරියක වන ප්‍රේමලතාගේ බැංකු ගිණුම ඇත්තේ බොරැල්ල බැංකු ශාඛාවකය. ඇගේ විශ්‍රාම වැටුප යන්නේ ඒ ගිණුමටය. අද කාලයේ හැටියට නම් ඇගේ විශ්‍රාම වැටුප සොච්චම් මුදලකි. නමුදු පසුගිය දිනෙක ඇයගේ ගිණුමට රුපියල් ලක්ෂ විසිහතරක මුදලක් බැර වී ඇතැයි ලැබුණ කෙටි පණිවුඩයත් සමඟ ප්‍රේමලතා යළිත් කරළියට ආවාය.

හිටිහැටියේ තමන්ගේ ගිණුමට රුපියල් ලක්ෂ විසිහතරක මුදලක් බැර වුයේ කෙසේද? ඇගේ සිතේ මතු වූ ප්‍රශ්නය ද රැගෙන ඇය දිනෙක බොරැල්ල බැංකු ශාඛාව වෙත ගියාය. සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳ ඇය පවසන්නට වූයේ මෙසේය.

“ අවුරුදු ගාණක් රජයේ රස්සාවක් කරපු මගේ ගිණුමේ ඒ වෙනකොටත් ඉතිරිවෙලා තිබුණේ රුපියල් තිස් පන්දහසක් විතරයි. ඔය අතර තමයි මට දෙවරක්ම ‍ජංගම දුරකථනයට කෙටි පණිවුඩ ආවේ රුපියල් ලක්ෂ දොළහ බැගින් ගිණුමට බැර වී තිබෙන බව. කළමනාකාර මහතා හමු වී මම ඇහුවා මගේ ගිණුම ගැන. එතුමා මගෙන් ඇහුවා මුදල් සියල්ලම ගන්නවද කියලා. මම කිව්වා මගේ ගිණුමේ එහෙම මුදලක් තියෙන්න බැහැ කියලා. පසුව ඒ සම්බන්ධව ඉන්න නිලධාරිනිය කැඳවා විමසා බැලීමේදී තමයි දැන ගන්නට ලැබුණේ වෙනත් කෙනෙකුගේ ගිණුමට යා යුතු මුදලක් වැරැදීමකින් මගේ ගිණුමට බැර වී ඇති බව. අනුන්ගේ මුදල් ම‍ට මොකටද.. කොහොම වුණත් බැංකු කළමණාකාරවරයා මට ඇගයිම් ලිපියක් ලබා දුන්නා.”ප්‍රේමලතා පවසන්නේ තම අවංකභාවය පිළිබඳය.

හතළිස් වසරකට වැඩි ඇගේ සේවා කාලය තුළදී ඇය බන්ධනාගාර ජීවිතයේ ලැබු අත්දැකිම් බොහෝය. ඇයට විවිධ මිනිසුන් ඇසුරු කරන්නට ලැබිණ. මේ සියල්ලම තම ජීවිතයට සුවිශේෂී බව ඇය පවසන්නේ ආගිය තොරතුරු කතාබහ කරන අතරේය.

ප්‍රේමලතා දෙස බලන්නෙකු ඈ දෙස වරක් නොව දෙවරක් තුන්වරක්ම බලන්නේය. ඒ ඈ සද්දන්ත ගැහැනියක බැවිනි. මේ නිසාම බන්ධනාගාරයේ සේවය කරන සමයේ “විසිට්” එන්නෝ ද ඇයට බිය වූහ. ඒ ඇගේ පෙනුමටය. එමෙන්ම ඒ පෙනුමත් සමඟ ඈ තුළ වු දඩබ්බර බව මිනිසුන් පාලනය කිරීමට ද පහසුවක් විය. මේ දඩබ්බර ගැහැනියගේ ජීවිතය මතු පිටින් පෙනෙනවාට වඩා බොහෝ වෙනස් බව ඈ ගැන කියවන්නෙකුට අවබෝධ වනු ඇත .

“මගේ ගම කොළොන්නාව. අම්මයි තාත්තයි දෙන්නම රෝහල් කම්කරුවෝ. පවුලේ ඔක්කෝම එකොළොස් දෙනයි. මුලින්ම ඉගෙන ගත්තේ කොටිකාවත්ත රෝමානු කතෝලික විද්‍යාලයේ. ඊට පස්සේ රාජසිංහ මහා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ හැදැරුවේ වානිජ විෂයන් වලින්. මම අඩි හතයි අඟල් හයක් උසයි. ඒක අසාමාන්‍ය උසක්. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා ක්‍රීඩා කළා. ලංකා සවාරියට සයිකල් පැද්දා. විශ්‍රාම යන අවුරුද්දෙත් යගුලිය විසිකිරීමේ තරගයෙන් දිනුවා. අපි බොහෝම අමාරුවෙන් ජීවත් වුණු අය.”

ඇගේ වෘත්තීය ජීවිතය ආරම්භ වී ඇත්තේද අපූරු අයුරෙනි.

“මම උසස් පෙළ විභාගය ලියලා ඉන්න කාලේ මගේ යෙහෙළියක් කිව්වා අන්න බන්ධනාගාරයට ජේලර්ලා බඳවා ගන්නවා කියලා. මම ඒකාලේ රජයේ කාර්යාල තියෙන තැන්වත් හරියට දන්නේ නැහැ. මම දවසක් අධිකරණ ඇමැති හමුවෙන්න ගියා. ගොඩනැගිල්ලේ පඩිපෙළ නැඟලා උඩට ගියා. ඒ යන විට මගේ පිටි පස්සෙන් මහත්මයෙක් එනවා. නමුත් මම ඔහුට ඉඩ දුන්නේ නැහැ. මම මගේ ගමන ගියා. ඒ ආ මහත්තයාත් මගේ පස්සෙන්ම එනවා. පසුව මම කෙනෙක්ගෙන් ඇහුවා මට ඇමතිතුමා හමුවෙන්න අවශ්‍යයි එතුමා ඉන්නේ කෙහේද කියලා. අන්න අර කාමරේ කියලා මට කාමරයක් පෙන්නුවා. දෙයියනේ ගිහිල්ලා බලන කොට ඇමැතිතුමා තමයි අර මගෙ පිටිපස්සෙන් ආව මහත්මයා. මට ඔහුගේ නම මතක නැහැ. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. මම මගේ අවශ්‍යතාව කිව්වා. එවෙලේම මට ලියුමක් දුන්නා බන්ධනාගාර කොමසාරිස්ට දෙන්න කියලා. මම එදාම ඒකත් අරගෙන කොමසාරිස් ජෙනරාල්තුමා හමුවීමට ගියා. මට රස්සාව ලැබුණා. ඒ කාලේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තනතුරේ හිටියේ ජේ.පී. දෙල්ගොඩ මහතා. දවස් දෙකකට පස්සේ මට විදුලි පණීවුඩයක් ආවා. රස්සාව බාර ගන්න කියලා. පළමු පත්වීම ලැබුණේ පොළොන්නරුව හිරගෙදරට.”

සිය පියා සමඟ පොළෙ‍ාන්නරුව හිරගෙදරට ගිය ප්‍රේමලතා රස්සාව බාර ගත් දිනට පසුදාම රැකියාව එපැයි කියා කොළඹ ආවාය. ඇය එසේ ආවේ පෙරදින රාත්‍රියේ බන්ධනාගාරයේදී දුටු නොමනා ක්‍රියාවක් ගැන බියට සහ කලකිරීමට පත්වය. කොමසාරිස් ජනරාල්වරයා ඉන්පසුව ඇය පුහුණුවීමේ ආයතන‍යට මාරු කළේය. පාසලින් එක්වරම නොදන්නා පරිසරයක රැකියාවට පැමිණි ඇය ක්‍රමයෙන් බන්ධනාගාර රැකියාවට හුරු වුවාය.

“මට රස්සාව ලැබුණේ එක්දහස් නවසිය හැත්තෑ හතේ අවුරුද්දේ. ඒ වෙන කොට මට වයස අවුරුදු විස්සක් විතර ඇති. පඩිය රුපියල් එකසිය හැත්තෑපහයි. ඒකාලේ නිශ්චිත නිල ඇඳුමක් නැහැ. තනිපාට ගවුමක් තමයි අඳින්න තිබුණේ. පළමුවැනි දවසෙම පොළොන්නරුව හිිරගෙදර එපා වෙලා කොළඹ ආවට පස්සේ මම නැවත වතාවක් පොළොන්නරුව බන්ධනාගාරයට ගියා. ඒ කාලේ බන්ධනාගාරය තිබුණේ කැලෑවක වගෙයි. මේ දැන් වගේ ජනාකීර්ණ වෙලා නැහැ. මට පොඩි විජේ දැන ගන්න ලැබුණේ එහිදී. පොඩි විජේ කියන්නේ පොඩි මිනිස්සුන්ගේ හිතවතෙක්. බොහෝම පුංචි මනුස්සයෙක්. පොළොන්නරුවේ ඉන්න කාලේ මට ඒ හිරගෙදර රඳවා හිටිය මරදන්කඩවල යකඩයා හමුවෙලා තියෙනවා. ඒ වගේම වැලිකඩ මැගසින් ආදි බන්ධනාගාරවල ඉන්න කාලේ රටේ නම ගිය අපරාධකරයන් මෙන්ම රටේ ප්‍රසිද්ධ දේශපාලන චරිත ඇසුරු කරන්න ලැබුණා. මේ චරිත අතුරෙන් මම බොහෝම ගරු කරන චරිතයක් තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. මේ සිදු වීම වෙන දවසේ මම විසිට් පෙන්වන්න හිටියේ. විජය කුමාරතුංග මහත්මයා නැක්සලයිට්කාරයෙක් කියා හිරගෙදර රඳවා හිටියා. මැතිනිය වාහනෙන් බැහැලා එනවා මං දැක්කා. එතුමිය පෝලිමේ තියන්න බැරි නිසාත්, එතුමිය ගැන මගේ හිතේ තියෙන ආදරේ නිසාත් මම එතුමිය එක්කගෙන ගිහිල්ලා විජය මහත්තයා පෙන්නුවා. නමුත් ඒක මහා වැරැද්දක් වෙලා. මාව මාරුකළා. මගේ ගෙවල් දොරවල් මට නැති වුණා. පසුව මැතිනිය මට ලිපියක් එවලා තිබුණා ඇවිත් හමුවෙන්න කියලා. පොළොන්නරුවට මාරුවෙලා හිටිය මම ආයෙම කොළඹ ආවත් මැතිනිය හමුවෙන්න ගියේ නැහැ. ඒ වෙනකොට මැතිනිය අසනීපයෙන් හිටියේ. නමුත් මැතිනිය මගේ ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවේදී කතාකර තිබුණා. මට මගේ හැමදේම නැතිවුණා. මට ආයෙත් මුල සිට ගොඩනැගෙන්න වුණා. විජය කුමාරතුංග කියන්නේ බොහෝම හොඳ මහත්මයෙක්.”

ප්‍රේමලතා ගෙවී ගිය කාලය තුළ ජීවිතයේ බොහෝ හැලහැප්පීම්වලට මුහුණ දුන්නාය. ඇය විවාහ වූයේද බන්ධනාගාර නියාමකවරයකු සමඟය. ඇයට පුතුන් දෙදෙනෙක් සහ දියණියක් සිටිති. තමන් කොතරම් දුක් වින්ද ද තම දරුවන්ගේ ලෝකය සුඛිත මුදිත කිරීමට ඇය අපමණ වෙහෙස වූවාය.

“මම කවදාවත් ආවාට ගියාට වැඩ කළේ නැහැ. මගේ රස්සාව ඇරෙන්න වෙන කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඇඳුම් මහ ගොඩක් නැහැ. එදත් එහෙමයි. අදත් එහෙමයි. මම බොහෝම අරපරිස්සමෙන් ජීවත් වෙන්නේ. මං මගෙ දරුවන්ට බොහෝම හොඳට උගන්න ගත්තා. වින්ද දුක්වල සතුට දැන් මම දරුවෝ දිහා බලලා විඳිනවා. හිරගෙදර හිරකාරයෝ ඒ කාලේ මට කිව්වේ දෙයියා කියලා. සමහරු මාව හැඳින් වුයේ දුප්පතාගේ හිතවතා කියලා. මං චණ්ඩියෙක් නෙමෙයි. ඒත් මේ අහළ පහළ මිනිස්සු කෑ ගහන වෙලාවට මම එළියට බැහැලා ඇයි මොකද කියලා ඇහුවොත් ඒ අය මම කියන දේ අහනවා. අදටත් මම උයන්නේ දර ළිපේ. මගේ කකුලේ ආබාධයක් තියෙනවා. ඒකට සැත්කමක් කරන්න ඕනැ. ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වැය වෙනවා. මම ජනාධිපති අරමුදලටත් ලිව්වා. අවුරුදු හතළිහක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරපු මට උසස් වීමක් ලැබුණේ මම විශ්‍රාම යන දවසේ. ”

සල්ලි තණ්හාව පසෙක ලා බැකුවෙන් තම ගිණුමට බැර වී තිබූ මුදල ආපසු බාර දුන් මේ ගැහැනිය කොළොන්නාව මුල්ලේරියා අංගොඩ අවට කවුරුත් හඳුන්වන්නේ පේමක්කා යන ආදරණීය නාමයෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.