ව්‍යවසායක රටක් නීල හරිත ආර්ථිකයක් | සිළුමිණ

ව්‍යවසායක රටක් නීල හරිත ආර්ථිකයක්

 මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා තම මංගල අය-වැය ලෙස, 2018 වසරට සම්මුති ආණ්ඩුවේ අය-වැය ඉදිරිපත් කළේ, ව්‍යවසායක ශ්‍රී ලංකාවක් හා නීල හරිත ආර්ථිකයක් සඳහා ය. මෙහි ඇති කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ තමන්ට අනාගතයක් ඇතැ යි සිතන්නට, තම බලාපොරොත්තු ඉටු කර ගන්නට හැකි වේ යැ යි ඉදිරිගාමී වන්නට රට වැසියන්ට ඉලක්කයක් සැපයීම යි. අය-වැය යනු ‘බඩු මිල අඩු-වැඩි කිරීම’ යන පුරුදු තේමාවෙන් වෙනස් පිවිසුමක් මේ අය-වැය මඟින් ඉදිරිපත් කර තිබේ. එහි දී රටේ ඓතිහාසික උරුමය මෙන් ම ලෝක ප්‍රවණතා ද ගැන එක ලෙස සැලකිලිමත් වෙමින් ඊට පදනම සකසා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි මාර්ගයට ගැනීමක් ලෙස ද මේ අය-වැය යෝජනා හැඳින්වෙයි. ‘නැවත නිවැරදි මඟට’ යනුවෙන් අදහස් කෙරෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙන් රට නිදහස් වී වසර හැත්තෑවක් ගත වුව ද, එදාට සාපේක්ෂව රට අද පවතින්නේ සිටිය යුතු තැනට බොහෝ පිටුපසින් බැවින් එතැනින් ඉදිරියට ඒම යි. මඟහැරුණු අවස්ථා අත්පත් කර ගනිමින් ලෝකය සමඟ ඉදිරියට යන ගමන යැපුම් ආර්ථිකය වෙනුවට උපයන ආර්ථිකයක් විය යුතු බව අය-වැය මඟින් අවධාරණය කෙරේ. ඒ ව්‍යවසායක ශ්‍රී ලංකාව සඳහා ආදර්ශය ගන්නේ අපේ මුතුන්-මිත්තන්ගෙනි.

ඈත ඉතිහාසයේ සිට ම ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළෙඳාම සමඟ සම්බන්ධ ආර්ථිකයක් පවත්වා ගත් රටකි. රුහුණේ පැරණි ගොඩවාය වරාය ප්‍රසිද්ධ වූයේ වෙළෙඳ වරායක් ලෙස ය. එමෙන් රටට ‘පෙරදිග ධාන්‍යාගාරය’ නම් විරුදාවලිය ලැබුණේ එදා මෙරට අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක් ව පැවති නිසා බව ද වාර්තා වේ. නිදහසින් පසු ඉතිහාසය ගත් විට, ආසියාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාව යි. එහෙත් අද මෙරට පසු වන්නේ, නිදහස ලබන විට ශ්‍රී ලංකාව තරමට වත් දියුණු විය යුතු යි කල්පනා කළ ආසියාවේ සෙසු රටවලට බොහෝ පිටුපසිනි. තම අපනයන වටිනාකම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 12ක් පමණ වන විට යුද්ධයකට මුහුණ දී බින්දුවෙන් තම ආර්ථිකය ආරම්භ කළ වියට්නාමය අද පසු වන්නේ තම අපනයන වටිනාකම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට සියය ආසන්නයේ ය. සෙසු රටවල් ශ්‍රී ලංකාව පසු කර ගෙන ගිය බවට එවැනි නිදසුන් ඇති තරම් තිබේ.

මඟහැරුණු අවස්ථා ළඟා කර ගැනීමට යෑමේ දී අප පසු කර ගිය රටවල් සමඟ ද තරගයක් ඇති බව මෙහි දී වටහා ගත යුතු ය. එනම්: අභියෝගය පහසු නැත. එහෙත් ව්‍යවසායක ශ්‍රී ලංකාවක් වෙත ජන සමාජය ඉලක්කය විය යුතු වන්නේ මේ මඟ හැර අන් විකල්ප මඟක් නැති නිසා පමණක් ම නො වේ; ආර්ථික සමෘද්ධිය පිළිබඳ සමාජයට ඇති බලාපොරොත්තුව සඵල කර ගැනීමට ද ඒ මඟ ගැනීම වඩාත් ඵලදායක වන බැවිනි. අපේ මුතුන්-මිත්තන් ඒ වෙනුවෙන් දී ඇති ආදර්ශය නූතන ලොව අභියෝග හමුවේ වුව යල් පනින්නක් නො වේ. ආර්ථික සංවර්ධනයේ කොඳු නාරටිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බව පිළිගෙන තිබීම පැරණි ආදර්ශය හා නූතන ලෝකයේ අභියෝග යන දෙපැත්ත ම සලකා බැලීමකි. ඒ වෙනුවෙන් අලුත් වාණිජ බැංකුවක් ද යෝජනා කෙරේ.

රට ආර්ථික සමෘද්ධියට ගෙන ඒමේ දී ඇති අභියෝග බලවත් වීම කෙරෙහි විශේෂයෙන් ම ආසන්න දශකය තුළ ප්‍රතිඵලදායක නැති මහාපරිමාණ ආයෝජන සඳහා විශාල ප්‍රමාණවලින් විදේශ ණය ගැනීම ද හේතු විණි. එසේ රටට වැරැද්දූ මෑත ඉතිහාසයේ දේශපාලනය ද ව්‍යවසායක ශ්‍රී ලංකාවක් සඳහා නිවැරදි කළ යුතු වේ. රටේ උරුමය වර්තමානයට ගළපා ගන්නවා වෙනුවට එය දේශපාලන පලිහක් ලෙස තබා ගෙන ආර්ථිකය වැරදි පාරට ඇද දැමූ දේශපාලනය වෙනස් කළ යුතු දැක්මක් මේ අය-වැය මඟින් ඉඟි කෙරේ.

2040 වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති භාවිතයෙන් වාහන ධාවනය කෙරෙන අය-වැය ඉලක්කය, ඉදිරි ගමන ගැන රට ඉලක්කගත කරන වැදගත් පියවරක් වනවාට අමතර ව, නීල හරිත ආර්ථිකයේ ස්වභාවය පිළිබඳ සංඥාවක් ද වෙයි. පුද්ගල කුසලතා බලගැන්වීම ගැන ඉහළ අවධානයක් යොමු කරන මෙවර අය-වැයට ඇතුළත් නීල හරිත ආර්ථිකය පිණිස වන ප්‍රතිපත්තිමය නැඹුරුව ඉතා වටී. නව නිෂ්පාදන හා නවෝත්පාදන වෙත යොමු වන තරුණ පරපුරට එය අනාගත පාර පැහැදිලි වීමකි. වසර 13ක් වෙනුවෙන් අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කරන අය-වැය මඟින් වෘත්තීය පුහුණුවට වැඩි ඉඩක් දීම නිසා තිරසර සංවර්ධන ඉලක්ක ඇතුළේ ව්‍යවසායකත්වයට යොමු වීම ගැන හිතන්නට හැකි ය. පරිසර හිතකාමී ලෝක ප්‍රවණතාව ගැන සැලකිලිමත් වන අතර ම රටට ගැළපෙන දේ සම්බන්ධයෙන් ඉදිරි මඟ දකින්නට එයින් අනුබල දෙයි.

දුගියාට මාළුවකු දෙන යැපුම් ආර්ථිකය වෙනුවට බිළී පිත්තක් දෙන උපයන ආර්ථිකය කෙරෙහි විශ්වාසය තැබීමට, ව්‍යවසායක රටක් - නීල හරිත ආර්ථිකයක් සඳහා වන අය-වැය මඟින් මඟ පෙන්වයි. ගොවියා ව්‍යවසායකයකු කෙරෙන, වෙළෙඳපොළ ඉල්ලුමට ගැළපෙන කෘෂිකර්මාන්තයක් හා ලෝකය සමඟ ගැළපී යා හැකි වෘත්තීය පුහුණුව ප්‍රමුඛ කෙරෙන උසස් අධ්‍යාපනය ඒ වෙනුවෙන් යෝජනා වීම කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික ජන සමාජයේ පවතින ඉච්ඡාභංගත්වය නැති කරන්නට හැකි ප්‍රායෝගික පියවර වේ. එහි දී ඉතිහාසයෙන් හා සම්ප්‍රදායෙන් ගත යුතු දේ පිළිබඳ අමතක නොකළ බවට හොඳ ම නිදසුනක් වන්නේ රොන්මඩ පිරි වැව් පිළිසකර කරන්නට මේ අය-වැයෙන් මුදල් වෙන් කිරීම යි.

කෙටියෙන් පවසනවා නම්: රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගන්නට හැකි, එමෙන් ම ජීවිතයේ ඉදිරි මඟ වෙනුවෙන් කා හටත් ඉලක්කයක් දකින්නට හැකි, බලාපොරොත්තුවක් තබන්නට හැකි අය-වැය යෝජනාවක් 2018 වසර සඳහා ඉදිරිපත් වී ඇත. ඒ මඟ යෑම පිණිස රොන් මඩ මෙන් සමාජයේ පිරී ඇති පසුගාමී අදහස් ඉවත් කර ගෙන ආකල්පමය වෙනසක් ද ඇති කර ගත යුතු ව ඇත. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.