මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය අවසන් තරග 18 වැනිදා මහරගම දී... | සිළුමිණ

මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය අවසන් තරග 18 වැනිදා මහරගම දී...

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන සිලෝන් බිස්කට් සමාගම අනුග්‍රහය දක්වන 2017 මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා සහ පිරිමි අවසන් පූර්ව සහ තෙවැනි ස්ථානයන්හි තරග ඊයේ (11) සහ අද (12) මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර අවසන් මහා තරග නොවැම්බර් 18 මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මන්චි අඛණ්ඩව 10 වැනි වසරටත් ජාතික වොලිබෝල් තරගාවලියට අනුග්‍රහය දක්වයි. වාර්ෂිකව සංවිධානය කරන මෙම තරගාවලිය මෙවරත් කාණ්ඩ සතරක් යටතේ පැවැත්විණි.

ඒ නවක කාන්තා, පිරිමි, සහ සුපර් ලීග් කාන්තා පිරිමි වශයෙනි. එහිදී මුලින්ම දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් පැවැත්විණි. ප්‍රථම වරට මෙම තරගාවලියේ ප්‍රධාන තරග කිහිපයක් කොළඹ, ගම්පහ, හම්බන්තොට, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල එළිමහන් ක්‍රීඩාංගණවලදී ද පැවැත්විණි.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවලදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පිරිමි කණ්ඩායම් 08 ක් සහ කාන්තා කණ්ඩායම් 06 ක් ක්‍රීඩා කරන ලදි. මීට පෙර එම ප්‍රධාන තරග පැවැත්වූයේ ගෘහස්ත ක්‍රීඩාංගණවලදීය. එම නිසා ඒ තරග නැරැඹුවේ සීමිත ප්‍රේක්ෂක පිරිසක් පමණි. නමුත් මෙවර තරග කිහිපයක් එළිමහන් ක්‍රීඩාංගණවලදී පැවැත්වීම නිසා වැඩි පිරිසකට තරග නැරැඹීමේ අවස්ථා උදා විය.

මෙවර තරගාවලිය පිළිබඳ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති මෙන්ම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ පැවැසීය.

"දිවයින පුරා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම කුසලතා දියුණු කරගනිමින් ජාතික තලයට පිවිසීම සඳහා මන්චි වෙතින් ලැබෙන සහයෝගය අගය කළ යුතුයි. මෙය වාණිජ සමාගමක් සිය වාණිජ අරමුණුවල සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ජාතික මට්ටමේ කර්තව්‍යයක් සඳහා කැපීපෙනෙන ලෙස දායක වූ අවස්ථාවක් ලෙස මම දකිනවා. ඉදිරියටත් මේ උදාර කර්තව්‍යය කරගෙන යාම සඳහා මන්චි වෙත ශක්තිය හා ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා."

මෙවර තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අංශයේ තරගවලට සහභාගි වනුයේ යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වෙළෙඳසේවා සහ ජාතික තරුණ සේවා සභාව යන කණ්ඩායම්ය.

එහිදි කාන්තා අංශයෙන් යුද, ගුවන්, නාවික, පොලිසිය, වෙළඳසේවා සහ ජාතික තරුණ සේවා සභාව යන කණ්ඩායම් තරග කරයි.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.