මෝඩකමට බෙහෙත් මෙඩිකල් ෆැකල්ටියෙත් නෑ | සිළුමිණ

මෝඩකමට බෙහෙත් මෙඩිකල් ෆැකල්ටියෙත් නෑ

 ‘ඔන්න නොවැම්බර් 6 වෙනිදා ඉඳලා රට රැකගන්න ජීවිතේ පූජාකරන්න සූදානම් වීරයෝ පිරිසක් බිහිවෙනවා’

‘ඒ කවුද?’

‘සයිටම් එකට විරුද්ධව මරණීය උපවාසය පටන් ගන්න එක’

‘වීරත්වය කියන්නේ හැමදාම ඔය වගේ එකක්ද?’

‘ඒ කියන්නේ?’

‘ඒ කියන්නේ ජෝක් එකක්ද?’

‘ඇත්තමට මිනිස්සු හැමදාම ජීවිත පූජාකරලා තියෙන්නේ කාගේ හරි ඉගැන්නුම් බහකට රැවටිලාද?’

‘මිනිස්සු ගොඩක් දිවි පුදලා තියෙන්නේ කවුරු හරි විසින් කඩේ යැවීම නිසාද?’

‘ඔය නොවැම්බර් 6 උපවාසේ පටන්ගන්න තාත්තයි ප්‍රභාකරන්ගේ සයිනයිඩ් කරල් බෙල්ලේ බැදගත්ත අවුරුදු දාහතරේ පහළොවේ කොල්ලෝ කෙල්ලොයි අතර වෙනසක් තියෙනවද?’

‘මිනිස්සු දිවි පුදන්නේ පරාර්ථකාමීත්වයට වඩා ආත්මාර්ථකාමී හැඟීම් ඉහවහා යාම නිසාද?’

‘ආත්මාර්ථය ඉහවහා යෑම නිසා කිසිම දෙයක් තෝරාබේරාගැනීමට බැරි වීම නිසාද?’

‘මෝඩකමයි වීරකමයි එකක්ද?’

‘නොවැම්බර් හය ඉඳලා පටන්ගන්න නාඩගමේ නම කඩේ යාම ද මෝඩකමේ වීරවන්ත තාත්තාද?’

‘අපේ අයගේ බොළඳ ළමා මනස ගැන හොඳම උදාහරණය තමයි සයිටම් කතන්දරේ’

‘බොරු විරයෝ වෙන්න හදන්නේ කිසිම වීරත්වයක් නැති අය’

‘අපි දකින වීරයන්ගෙන් ගොඩක් අය ඒ වගේ අය’

‘වීරකම කියන්නේ ටීවී එකෙන් මූණ පෙන්නා ගැනීමය කියන සරල තැන තමයි ඔය ගොඩක් වීරයෝ ඉන්නේ’

‘ඇත්තමට මේ මෝඩ වීරයන් කරන්නේ රූපවාහිනී චැනල්වලට නොමිලේ රියලිටි වැඩසටහන් සපයා දීම විතරයි’

‘අද වීරයෝ වෙන්නේ විසඳුම් දෙන අය නෙමෙයි ප්‍රශ්න ඇති කරන අය’

‘ඒ නිසා කට්ටිය හදන්නේ ප්‍රශ්න ඇති කරලා වීරයෝ වෙන්න’

‘දැං ඔය නොවැම්බර් හය වෙනිදා ඉඳලා කරන්න හදන්නෙත් ඒකනේ’

‘මෝඩකමට වෛද්‍ය විද්‍යාලවලත් බෙහෙත් නැද්ද?’

‘ඔව් ඔව් මෝඩකමට බෙහෙත් මෙඩිකල් ෆැකල්ටිවලත් නෑ’

‘වෛද්‍ය නිලධාරීන් සංගමේට නම් යම්තම්වත් ආපහු තමන්ගේ වගකීම ගැන කල්පනා වුණා’

‘ඒත් ඒ අය අවුලවපු ගින්න දැන් ඒ අයටත් නිවාගන්න බැරිවෙලා තියෙන්නේ’

‘පනින්න පෙර සිතාබලනු කියන්නේ ඒක තමයි’

‘හැම දේශපාලනඥයාම වගේ ප්‍රශ්නවලින් වාසි ගන්නයි බලන්නේ’

‘එතකොට ඒක ද දේශපාලනේ කියන්නේ’

‘ඒක අන්තරේ දේශපාලනඥයන්ටත් පොදුයි. පෙරටුගාමී දේශපාලනඥයන්ටත් පොදුයි’

‘මේ රැවටිලිකාර දේශපාලනය වෙනුවෙන් මිය යන තුරු උපවාස කරන එක වීරකමක් කියලා හිතන වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමව්පියොත් ඉන්නවා’

‘ඒක පුදුමයක් නෙමෙයි’

‘ඇත්තමද? හිතාගන්න ටිකක් අමාරුයි’

සිහිනයෙන් ගෙන ගිය මගේ සංවාදය අවසන් වූයේ හිතන්න අමාරු තැනකිනි. සමහර විට සිහිනවල ස්වභාවය එබඳුය.

අදහස්