රාජපක්ෂවරුන්ගේ වර්ගවාදය පරාජය කරමු | සිළුමිණ

රාජපක්ෂවරුන්ගේ වර්ගවාදය පරාජය කරමු

 සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධනගේ සුරතලකු වූයේ එවකට අග්‍රාමාත්‍යවරියව සිටි සිරිමා බණ්ඩාරනායකගේ පුත් අනුර බණ්ඩාරනායකයි. තම දේශපාලන අවශ්‍යතා සඳහා අනුර යොදා ගත හැකි බව තේරුම් ගත් තියුණු පන්ති ඉවකින් යුක්ත වූ ජේ. ආර්. ජයවර්ධන අනුර පාර්ලිමේන්තුවට ගැනීම සඳහා උපායක් කල්පනා කළේ ය. 1974 දී කලාවැව පාර්ලිමේන්තු ආසනය හිස් වී අතුරු මැතිවරණයක් පවත්වන්නට තීන්දු වුණි. ජේ. ආර්. ජයවර්ධන වහාම කීවේ සමගි පෙරමුණෙන් අනුර බණ්ඩාරනායක අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව ය.

එක්සත් ජාතික පක්ෂයේ රුක්මන් සේනානායක ඇතුළු පසුගාමීන්ට ජේ. ආර්. ජයවර්ධනගේ උපක්‍රමය තේරුම් ගන්නට දේශපාලනික සවිඥානිකත්වයක් නොතිබුණි. ජේ ආර්ගේ තීරණයට විරෝධය පා ඔවුහු පක්ෂයෙන් ඉල්ලා අස් වූහ. එහෙත් ජේ ආර් උපක්‍රමික ලෙස අනුර බණ්ඩාරනායක සමගි පෙරමුණු අපේක්ෂකයා කර ගැනීමට උත්සාහ දැරීය. කුමන හේතුවක් නිසා හෝ අනුර බණ්ඩාරනායක සමගි පෙරමුණේ අපේක්ෂකයා නොවුණි. ජේ ආර්ගේ උපක්‍රමය බිඳ වැටුණි. එක්සත් ජාතික පක්ෂයෙන් ඒ. එම්. එස්. අධිකාරී ඉදිරිපත් කළ අතර වැඩි ඡන්ද 3,757කින් ඔහු කලාවැව මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වුණි.

එක්සත් ජාතික පක්ෂය දිනන ආසනයක් සමගි පෙරමුණට පරිත්‍යාග කරන්නට තරම් ජේ ආර් ජයවර්ධන සූදානම් වූයේ ඔහු දේශපාලන මෝඩයකු නිසා නොවේ. පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තිබූ සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ එක් ආසනයක් වැඩි කර ගැනීමට වඩා ඔහුට අවශ්‍ය වූයේ දේශපාලන උපාය උපක්‍රමයන් මගින් සමගි පෙරමුණු ආණ්ඩුව අතාර්කික කිරීමට ය. එහි ආචාරධාර්මිකතාව කෙසේ වෙතත් ජේ ආර් ජයවර්ධනගේ දේශපාලන උපක්‍රමය සාර්ථක එකකි. සමගි පෙරමුණු ආණ්ඩුවේ බිඳවැටීම බාහිරින් සිදු කිරීමට වඩා අභ්‍යන්තරයෙන් සිදු කිරීම ජේ ආර් ජයවර්ධනගේ උත්සාහය වුණි. එහෙත් එය තේරුම් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අයට අපහසු වුණි.

ජේ ආර් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව එවැනි දේශපාලනික අත්හදා බැලීම් කරන්නට තරම් පෞරුෂයක් හිමි නායකයන් හෝ ශක්තියක් හිමි නායකයන් හෝ එජාපයට නොලැබුණු තරම් ය. 2001 එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවූ පසුව 2002 පැවැති පළාත් පාලන මැතිවරණය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා දිනුවේ උපක්‍රමශීලීව ය. අනතුරුව 2006 දී රාජපක්ෂ රෙජීමය සමග ගිවිසුමක් අත්සන් කරමින් ආණ්ඩුවට තම උපරිම සහාය ලබාදුන්නේ ද ඒ මග යමිනි. එදා ගිවිසුම අත්සන් කරන දා ඔහු ප්‍රකාශ කළේ අයවැයට එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවකි. ජේ ආර් ජයවර්ධනගෙන් උගත් පාඩම් රනිල් වික්‍රමසිංහ සතුව නොඅඩුවම තිබුණි.

මේ වනවිට රාජ්‍ය බලය දරණ සම්මුතික ආණ්ඩුව සමහර සංවේදී කාරණා වල දී බරපතල ප්‍රශ්න ඇති කරගෙන සිටී. යම් යම් ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රගතියක් අත්කර ගන්නට සමත්ව ඇතත් සමහර කාරණා අසාර්ථක වී තිබේ. ජාතිවාදයට මුහුණදීමේ දී ආණ්ඩුව වඩා දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත. රාජ්‍ය දේපළ තමනුත් කොල්ලකමින් සියලු දෙනාට ස්වල්පය බැගින් කොල්ල කන්නට අවස්ථාව ලබාදුන් රාජපක්ෂ සංස්කෘතියට දේශපාලනිකව මුහුණදීම අසීරු බව සත්‍යයකි. එහෙත් විසඳිය හැකි ප්‍රශ්න ද තිබුණි.

දැන් කරන්නට තියෙන්නේ එකම එක දෙයකි. එනම් වහාම පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම්වීමයි. එහිදී එක්සත් ජාතික පක්ෂය තරග නොකළ යුතු අතර ජනාධිපතිවරයාගේ කණ්ඩායමට සම්පූර්ණ සහාය ලබාදිය යුතුය. නො එසේනම් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ද එක්සත් ජනතා නිදහස් සංධානායේ බුලත් කොළයෙන් තරග කළ යුතුය. කෙසේ හෝ රාජපක්ෂ සංස්කෘතියට මුහුණදී එය ග්‍රාමීය මට්ටමෙන් බිමේ දී පරාජය කළ යුතු අතර ඒ සඳහා ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අත්වැල් බැදගත යුතුය. රාජපක්ෂ සංස්කෘතිය මුළු එකක් ලෙස බිමේ දී පරාජය නොකර එක අඟලක්වත් ඉදිරියට යෑමට ජනවාරී 8 වන දා දේශපාලන බලවේගයට නොහැකි බව සියල්ලන් තේරුම් ගත යුතුය.

මේ දේශපාලන උපක්‍රමයට රනිල් වික්‍රමසිංහ මහතා බිය නොවන බව ඔහුගේ භාවිතයෙන් තේරුම් ගත හැකිය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ හණමිටිකරුවන්ගෙන් අග්‍රාමාත්‍යවරයාට අනිවාර්යෙන් බාධාවක් එල්ලවිය හැකිය. එහෙත් එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා පූර්වාදර්ශ කර ගත යුත්තේ පක්ෂයේ හිටපු නායකයකු වූ ජේ ආර් ජයවර්ධනගේ භාවිතයයි. ඔහු කලාවැව ආසනයේ අතුරු මැතිවරණයේ දී යොදා ගන්නට උත්සාහ කළ දේශපාලන ප්‍රයෝගය අග්‍රාමාත්‍යවරයාට පූර්වාදර්ශයක් විය යුතුය.

වඩාත්ම බරපතල කාරණාව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා දේශපාලනිකව ශක්තිමත් වීමයි. රාජපක්ෂවරු සුපුරුදු ලෙස ජාතිවාදය අවුස්සමින් සිටිති. ඊට මුහුණදෙන්නට ආණ්ඩුවට යාන්ත්‍රණයක් නොමැත. ඒ නිසා සියුම් ලෙස සමාජය පුරා පැතිර යන්නේ සම්මුතික ආණ්ඩුව රට බෙදන්නට සූදානම් වන බවයි.

රාජපක්ෂවාදය සමාජගතව ඇත්තේ මිනිසුන්ගේ ගූඪ ආශාවන්ට එය ආමන්ත්‍රණය කරන බැවිනි. මහජන මුදල් හොරා කෑම, ආණ්ඩුවේ රස්සාවක් ගෙන නිකන් සිටීම, සහනාධාර මත යැපීම වැනි කාලකන්නි ආසාවන්ට දේශපාලනික වටිනාකමක් ලබාදෙන්නේ රාජපක්ෂවාදයයි. එය සමාජ සංස්කෘතියක් වන නිසා ඊට මුහුණදීම තරමක් අසීරුය. එහෙත් ඊට මුහුණ නොදී මුළුගැන්වීම සමාජයක් ලෙස ආපස්සට යෑමට පටන් ගැනීමකි. ඒ නිසා සියල්ලට පෙර නැවතත් වටයකින් ළඟ එන පළාත් පාලන මැතිවරණයේ දී රාජපක්ෂ සංස්කෘතිය පරාජය කළ යුතුය.

- අබරන් 

අදහස්