බලය බෙදීම රට බෙදීමක් ද? | සිළුමිණ

බලය බෙදීම රට බෙදීමක් ද?

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට බෙදන එකක් යැයි විරුද්ධවාදීන් නඟන දුර්වල චෝදනාව සබල එකක් හැටියට ඔවුන්ට ගැති මාධ්‍ය උලුප්පා දක්වනු පෙනේ. ආණ්ඩුව ඊට බිය විය යුතු නැත. බිය විය යුතු දේවල් සිදුවී ඉතිහාසයට එක්වී හමාර ය. මේ බිය නොවිය යුතු වෙලාව යි. යක්ෂයන් එළවා දැමිය යුතු අවස්ථාවයි.මන්ද යත් ඉතිහාසයේ අප දුටු මිනී කඳු, අනාගතයේදී ද දැකීමට අවාසනාවන්ත නොවිය යුතු හෙයිනි.

මීට සතියකට පමණ පෙර මහාචාර්ය ජයදේව උයන්ගොඩ රට බෙදීමේ භීතිකාව සහ සංඝ සමාජය පිළිබඳ ව අපූරු නිරීක්ෂණයක් ඉදිරිපත් කර තිබිණ. භික්ෂුන් කුල වශයෙන් බෙදී සිටිය ද භික්ෂු බව නමැති පොදු ලක්ෂණය ඔස්සේ පෙඩරල් ව්‍යුහයක් දැකිය හැකි බව ඔහුගේ අදහස ය. එමෙන් ම කුලහීනයන් යැයි සම්මත ජන පිරිස් අතරින් කුලහීන භික්ෂුන්ගේ නිකායන් බිහි නොවූයේ නම් ඔවුන් වෙනත් ආගමිකයන් බවට පත්වීමට ඉඩ තිබූ බවත් එවැනි දේ සිදුවී ඇති බවත් ඔහුගේ නිරීක්ෂණය යි. ශ්‍රී ලංකාවේ අවසාන වැඩවසම් බළ කොටුව හැටියට භික්ෂූන් කුල ක්‍රමය පවත්වා ගෙන යෑම පිළිබඳ දැඩි විවේචනයක පසු වූ මාහට මහැදුරු උයන්ගොඩගේ නිරීක්ෂණය අලුත් ඇසක් විවර කර දුන්නේ ය. මහාචාර්යවරයාගේ ලේඛනය බලය බෙදීමට එරෙහි භික්ෂු සංස්ථාවේ හැසිරීම පිළිබඳ අන්‍යාලාපයෙන් කළ සරදමක් වැන්න.

“ප්‍රබුද්ධ භික්ෂූන් විශාල ප්‍රමාණයක් මේ ගැන සතුට පළ කළා. ඒකෙන් පේන්නේ අප මේ ප්‍රශ්න දිහා අන්තවාදී නොවී මධ්‍යස්ථ ව බැලිය යුතු බවයි.”

දුරකතනයෙන් කළ මගේ ප්‍රතිචාර දැක්වීමට මහාචාර්යවරයා පිළිතුරු දුන්නේ ය.

මෙයින් හැඟී යන්නේ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජ බලය පාවිච්චි කරමින් ආවේගකාරීව ප්‍රතිචාර දක්වන භික්ෂ‍ූන්ට වඩා වෙනත් මතයක් දරන ප්‍රබුද්ධ භික්ෂූන් පිරිසක් සිටින බව ය. උන්වහන්සේලාගේ අදහස්වලට ඉඩක් දීම මාධ්‍ය හිතාමතා පැහැර හරී. ඊට හේතුව කුණු ඇවිස්සීම හා භීතිය ඇති කිරීම භාවිතය බවට පත්කර ගත් මාධ්‍යයට, ප්‍රබුද්ධ චින්තනය හතුරකු සේ පෙනී යෑම ය. අනෙක් වැදගත් කරුණ වන්නේ පාලකයන් ප්‍රබුද්ධ භික්ෂූ කතිකාවකට වඩා ඝෝෂකයන්ගේ හඬට සංවේදී වීම ය. මෙය රටේ දේශපාලන සෞඛ්‍යයට බලවත් අන්දමින් හානි කරයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුල් වන අතුරු කමිටු වාර්තාව මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත. රේඛීය අමාත්‍යාංශ හා පළාත් සභා අතර විෂය නිරාකරණය කිරීමේ ගැටලු, මූල්‍ය කොමිසමේ ගැටලු, සමගාමී ලැයිස්තුව පිළිබඳ ගැටලු පළාත් රාජ්‍ය සේවය සහ මධ්‍යම ආණ්ඩුවේ රාජ්‍ය සේවය අතර විෂමතා යනාදී වශයෙන් ගැටලු සමුදායක් මහ ඇමැතිවරුන් විසින් කලක් තිස්සේ ම මධ්‍යම ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඉදිරිපත් කරනු ලැබ ඇත.

13ට වැඩි බලතල පිළිබඳ යෝජනාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඉදිරිපත් කළේ එහි ප්‍රතිඵල ලෙස ය. එය කියමනකට පමණක් සීමා විය. ඔහු පත් කළ සර්ව පාක්ෂික කමිටුවේ බහුතර කණ්ඩායමේ යෝජනාවලිය ද පළාත්වලට බලතල පැවරීමේ ව්‍යාකූලතා නිරාකුල කිරීමේ අදහස ඉදිරිපත් කළේ ය. ජාතිවාදයට බර ව‍ූ සුළුතරයේ යෝජනාවලට බියවූ හිටපු ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට පිටු පා යමින් බහුතරයේ යෝජනා කසළ බඳුනට දමා සුළුතරයේ හඬ අනුව දේශපාලන සටන් පාඨ මුවහත් කර ගත්තේ ය. මේ සියලු කරුණු අනුව පෙනී යනුයේ දීර්ඝ කාලීන කතිකාවතක ප්‍රතිඵල ලෙස ව්‍යවස්ථා සම්පාදනයේ දී සැලකිල්ලට ගත යුතු බලතල බෙදා හදා ගැනීමේ යෝජනා ඉදිරිපත්ව ඇති බවය. පිළිබඳ මුලින් ම අදහස් දැක්වූ ප්‍රබුද්ධයා තරුණ නීතිඥවරයකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ය. ඔහු යාපනයේදී කළ ප්‍රකාශයක් 1926 ජූලි 17 දා සිලෝන් මෝනිං ලීඩර් පුවත්පතේ පළ විය. එහි මෙසේ සඳහන් වෙයි.

“ලංකාවේ එක් එක් පළාතකට සම්පූර්ණ ස්වයං පාලන අයිතිය තිබිය යුතු ය. දිවයිනේ විශේෂ ආදායම් වියදම් ගැන තීරණය කිරීමට මන්ත්‍රණ සභා එකක් හෝ දෙකක් තිබිය යුතු ය. මේ ක්‍රමයට විරුද්ධව දහසකුත් එකක් තර්ක ඉදිරිපත් විය හැකි වුවත් එම විරුද්ධතා අඩු වී ගියාට පසු ‍ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය ලංකාවට තිබෙන එක ම විසඳුම බවට පත්වනු ඇත.”

මේ වනාහී කදිම අනාගත වැකියකි. සංඝ සමාජයේ අප්‍රබුද්ධ කොටස්වල ඝෝෂාවට බියෙන් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමූ මොහොතේ ද ඔහු අනතුරු ඇඟවීමක් කළේ ය. අනාගතයේ ගෙවීමට සිදුවන වන්දිය පිළිබඳ ඔහු කී දේ පසුගිය අවුරුදු තිහක කාලයේදී අපට දැක ගත හැකි විය.

බණ්ඩාරනායක මහතාගේ මෝනින් ලීඩර් ප්‍රකාශයෙහි මෙසේ ද සඳහන් විය.

“ඉතිහාසය දෙස බලන විට පෙනෙන දෙයක් නම් දෙමළ, පහත රට සහ උඩරට සිංහල යන මෙම ජන කොටස් අවුරුදු 1000 කට වඩා මේ රටේ ජීවත්ව සිටි නමුදු “ඔවුන් එක්වීම සඳහා කිසි ම සූදානමක් පෙන්වා නැති බව ය‍. ඔවුහු තම තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, භාෂා සහ ආගම් වෙන ම පවත්වා ගෙන යති. මේ වෙනස්කම් ක්‍රමයෙන් අහෝසි වී යනු ඇතැයි සිතිය හැක්කේ මෝඩයකුට පමණි.” බණ්ඩාරනායක මහතා මෙහිදී සෑම පාලන ඒකකයකටම බලය ලැබෙන නමුත් හැම ඒකකයක් ම එක්වී සිටින බව පැහැදිලි කරයි.

ඉංග්‍රීසි ජාතිකයකු ව‍ූ ඩයිසි සාමිවරයා මෙසේ පැවසීය.

“රාජ්‍යයේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නිර්මාණය කරනු ලබන්නා වූ ද එය විසින් පාලනය කරන්නා වූ ද සම්බන්ධීකරණ ගණනාවක් අතර බෙදී යයි.”

මේ අදහස ගුප්ත නැත. අරුත පැහැදිලි ය. පෙඩරල්, සන්ධීය, අර්ධ සන්ධීය, පළාත් සභා යනාදී වචනවලට බිය වී සිටින මානසිකත්වයෙන් මිදිය හැක්කේ තමන් ජීවත්වන මහ පොළොවේ යථාර්ථය වටහා ගැනීමෙනි.

“ඉන්දුලංකා ගිවිසුම” භීතිය දනවන වගන්තියකි. පළාත් සභා ක්‍රියාත්මක වූයේ ඒ අනුව ය. එය ද එක්තරා පෙඩරල් මාදිලියකි. බලය බෙදා ගැනීම එහි මූලධර්මයයි. අපේ රටේ අතීතයෙහි ක්‍රියාත්මක වූ ගම් සභා ක්‍රමය ද බලය බෙදා ගැනීමේ ක්‍රමයකි. ප්‍රාදේශීය රජවරුන් පළාත් පාලනය කළ ඉතිහාසයක් ද විය. ඒවා ද පෙඩරල් ව්‍යුහ වෙත්. බණ්ඩාරනායක මහතාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන, වෙනස්කම් පවත්වා ගනිමින් එකට ජීවත්වීමේ සත්‍යය මාක්ස්වාදීන් අර්ථකථනය කරන්නේ ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය හා ජාතීන් අතර සමානාත්මතාව වශයෙනි.

සෑම ජනවර්ගයක ම අභිලාෂය වන්නේ තම භාෂාමය සංස්කෘතිකමය අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම ය. එය පිළි නොගැනීම අශිෂ්ටත්වයේ ලක්ෂණයයි. එය‍ට බාධා පැමිණෙන විට ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවෙයි. ඇතැම් විට යුද්ධයක් දක්වා පරිවර්තනය වෙයි. ඕනෑම ජනවර්ගයක අනන්‍යතාව පිළිගනිමින් ඔවුන් එක ම රටක වැසියන් ලෙස ජීවත්වීමේ පහසුකම සැලසීම බලය බෙදා ගැනීම ඔස්සේ තහවුරු කෙරෙයි. වචනවලට බිය වී කරන ඝෝෂාවට වඩා වැදගත් වන්නේ මහපොළොවේ සිදුවන දේ වටහා ගැනීම ය. ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව අවුරුදු දෙසීයකට වඩා පැරණි ය. මෙතෙක් සිදුකර ඇත්තේ සංශෝධන විසි ගණනක් පමණි. කළු ජාතික වහලුන් ද රට වැසියන් ලෙස පිළිගැනීමට අමතරව බලතල බෙදා ගැනීම ව්‍යවස්ථාව මඟින් නිරානුකුලව තහවුරු කර තිබේ.

ඒ වෙනුවෙන් ජීවිතය ද දුන් ඒබ්‍රහම් ලින්කන් නමැති ශ්‍රේෂ්ඨයාගේ අධිෂ්ඨානශීලී කැපවීම අපේ රටට පූර්වාදර්ශයකි.

ඇමෙරිකානු ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙයි.

“එක්සත් ජනපදය, සංගමයේ සිටින සෑම රාජ්‍යයකටම සමූහාණ්ඩු ක්‍රමයක් සහතික කරන අතර ඒ සෑම රාජ්‍යයක් ම ආක්‍රමණවලින් ආරක්ෂා කරයි. ව්‍යවස්ථාදායකය නැතහොත් විධායකය යෙදවීම ඔස්සේ රාජ්‍ය ඇතුළත සිදුවන ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කරයි” බලය බෙදා ගැනීම රටේ ආරක්ෂාවට තර්ජනයක් ය නගන ඝෝෂාකරුවන් මෙය කියවිය යුතු ය.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවල බලහවුල්කාරිත්වය පැහැදිලිව දක්වා ඇත. ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම මධ්‍යම ආණ්ඩුවෙන් හෝ විධායකයෙන් ඉවත් කිරීමේ කිසිදු යෝජනාවක් එහි නොමැත.

කාට හෝ එහි සැකයක් තිබේ නම් එහි දෙමළ, සිංහල, ඉංග්‍රීසි පිටපත් පරීක්ෂා කර බැලිය හැකිය. නොමැති අයකු වෙතොත් ලබාදීමට ද මේ ලියුම්කරු කැමති බව සඳහන් කරනු රිසියෙමි.

තිඹිරියාගම බංඩාර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.