ඔයාට නොහිතන නොපතන දේවල් දකින්න ලැබේවි | සිළුමිණ

ඔයාට නොහිතන නොපතන දේවල් දකින්න ලැබේවි

මෝටර් රියක ඉදිරි අසුන අසළ වූ කවුළුවෙන් එබී බැලූ සුපුරුදු සුරූපී මුහුණ ෆියෝනා එක් වරම හඳුනා ගත්තාය. සජීවා... ෆියෝනාට සතුටක් දැනිණ. සජීවා හඳුනා ගත්තද, මෝටර් රථය අසළට පියවරක් තබන්නට පෙරම, අනපේක්ෂිත ලෙස එය ඉදිරියට ගමන් කළේ ඇයට කිසිවක් සිතා ගැනීමට පවා ඉඩ නොතබමිනි.

“සජීවා...”

යනුවෙන් තම මුවින් වදන් පිටවූයේද, නැතහොත් ඇගේ නම මුව තුළම ගොළුවී ගියේදැයි ෆියෝනා නොදැන සිටියාය. නගරයේ ඉදිරියට ගමන් කරමින් තිබූ වාහන අතරට එක්ව ගමන් කළ සජීවා ගමන් කළ මෝටර් රියෙහි කවුළුවෙන් ඇය නැවත නැවතත් එබී බලන්නට ඇතැයි ෆියෝනා සිතන්නට උත්සාහ කළාය. ඇගේ දෙනෙතට කඳුළු නැගිණ.

“ඇයි සජීවා මට එහෙම කළේ?”

ඉදිරියට පැමිණෙමින් තිබූ කුලී රියට අත දිගු කළ ඇය සිතුවාය.

“සජීවට මට කතා කරන්න වුවමනාව තිබුණා. ඒත් කවුරු නමුත් කා එක ඩ්‍රයිව් කරපු කෙනා සජීවා මාත් එක්ක කතා කරන එක වළක්වන්නයි එහෙම කරේ.”

නතර කළ කුලී රියෙහි පසුපස අසුනට තම ගමන් බෑගය දැමූ ෆියෝනා පසුපස අසුනෙහි පහසු ලෙස හිඳ ගත්තාය.

“කොහාටද මිස්?” රියැදුරා ඇසුවේය.

“ලේවැල්ලට.”

කුලී රථය ඉදිරියට ගමන් කරයි. ෆියෝනාට නැවත නැවතත් සජීවාගේ මුහුණ මැවී පෙනිණ. ඇය ගමන් කළ රිය පදවන්නට ඇත්තේ විදුහල්පතිවරයකු වූ ඇගේ පියා වන්නට ඇතැයි ෆියෝනා සිතුවාය. සජීවාට තමා හා කතා කිරීමට වුවමනාව තිබෙන්නට ඇතත්, ඇගේ පියා එයට ඉඩ නොදී වහාම ඇය ද කැඳවාගෙන යන්නට ඇතැයි සිතෙන සිතිවිල්ලෙන් මිදීමට නොහැකිය.

“එදා අපි දෙන්නා අසාර්ව මීට් වෙන්න පාක් එකට ගිය බව කවුදෝ අප්පච්චිට කියලා අශ්විනී.”

අසාර් සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වා ගැනීමට බොහෝ උදව් කළ සජීවා දිනක් තම නිවසට පැමිණි අවස්ථාවක පැවසුවාය.

“ඉතින්?”

“ඉතින් තමයි. අප්පච්චි හරි වසයි. මට බැන්නා පලු යන්න.”

“පලු?”

සිනාසෙන අශ්විනීගේ කනක් රිදෙන්නට මිරිකූ සජීවා තරහ මුහුණක් මවා ගත්තාය.

“විහිළු නෙමෙයි. අප්පච්චි මගෙන් ඇහුවා කවුරු එක්කද පාක් එකේ කතා කර කර හිටියෙ කියලා?”

“මාත් එක්ක කියලා කියන්න එපායැ?”

“මෝඩයා. මහ ලොකුවට පොත් ලිව්වට සාමාන්‍ය දැනුම නෑ. කියපු කෙනා සවිස්තර වාර්තාවක් අප්පච්චිට ඉදිරිපත් කරලා තිබුණෙ. වෙන එකක් තියා අසාර් ඇඳගෙන හිටිය ෂර්ට් එකේ පාටත් කියලා තිබුණා.”

“ෂර්ට් එකේ පාට මටත් මතක නෑනෙ.”

“මට මතකත් නෑ. ඔන්න ගෑනු කෙනෙක් ඇඳුමක් ඇඳලා හිටියොත් නම් ඒක නිකම් ගලේ කොටපු අකුරක් වගේ මතක තියෙනවා. කාටද පිරිමි අඳින ඇඳුම් වල පාට මතක තියා ගන්න පුළුවන්?‘’

“හෑලි කියවිල්ල තියෙද්දි කියනවකො මොකක්ද අප්පච්චි කිව්වෙ කියලා.”

“මට කිව්වා ඔය අශ්විනී කියන ගෑනු ළමයා ගැන මට කීප වතාවක්ම අහන්න ලැබුණා. ආස්සරේ කරන්න සුදුසු ගෑනු ළමයෙක් නෙමෙයි. වහාම ඔය ආස්සරේ නවත්තන්න කියලා.”

“බොරු?”

“බොරු නම් නිකා ඉන්නවා. අප්පච්චි කියපු කතාවෙ වැරැද්දකුත් නෑ. මම නොදන්න අශ්විනී.”

සජීවා එවේලෙහි පැවසූ වදන් සියල්ල සරදමට කියන ලද ඒවා යයි සිතු නමුදු ඒවායෙහි සත්‍යයක් ඇත්දැයි දැන් සිතෙයි. නොඑසේනම් මෝටර් රියෙන් බැස පැමිණ තමා හා වදනක් දොඩා යන්නට ඇයට හැකියාව තිබිණ.

“කමක් නෑ. එකට හිටිය එකට සෙල්ලම් කරපු මගේ මල්ලිටත් මාව අමතක කරන්න පුළුවන් වුණා නම් සජීවා මාව අමතක කළ එක පුදුමයක් නෙමෙයි.”

අශ්විනී සිත හදා ගන්නට උත්සාහ කළාය. කුලී රථය වැව රවුම ඔස්සේ ගමන් කරමින් තිබේ. ෆියෝනා මහත් අභිරුචියෙන් අවට බැලුවාය. දළදා මාළිගාවේ රන් වහළය මතට හිරු රැස් වැටී දිළිසෙයි. මේ පැමිණි ගමනේදී අම්මා ද කැඳවාගෙන දළදා මාළිගාවට පැමිණිය යුතුයයි ෆියෝනා අදිටන් කර ගත්තාය.

“අම්මා දැනටමත් මාව බලාපොරොත්තුවෙන් ඇති. ඒ බවක් නොපෙන්නා හිටියා වගේ හෙමිහිට ඇවිත් මාව බදාගෙන අඬාවි. චූටි කුමාරි මොකක්ද මගෙ මැණික මේ කර ගත්තෙ කියලා.”

ෆියෝනාගේ දෙනෙතග කඳුළක් මතු විය. එහෙත් එය පිස ගන්නට ඇය නොසිතුවාය.

“ඊයෙ රෑ මහ පුදුම වැස්සක් වැස්සනෙ මිස්. මිස් කොළඹ ඉඳලද එන්නෙ?”

නිහඬතාවය මැද ගමන් කරන ෆියෝනා කතා කරවීමේ අදහසින් තරුණ කුලී රථ රියැදුරා පැවසුවේය.

“හ්ම්...” ෆියෝනා පැවසුවාය.

“කොළඹටත් වැස්සද? මං උන්නෙ මුළු ලංකාවටම වහිනවා කියලා.”

“නෑ. වැස්සෙ නෑ.” තම වදන් වල කිසිදු තෙතමනයක් නැද්දැයි ෆියෝනාට සිතිණ. ඇයට රියැදුරා ගැන ඇති වූයේ අනුකම්පාවෙකි.

”වහින්න වගේ අඳුරු කරලා තිබුණෙ නෑ. වැස්සෙ නෑ.” ඇය යළිත් පැවසුවාය.

“ඉස්සර වගේ නෙමෙයි මිස්. දැන් කාලගුණෙත් විපරීත වෙලා. හිටි ගමන් වෙනස් වෙනවා. පේනවද අද පායන ලස්සන?”

“ඒ... ඒකතමයි.”

“මිස් ලේවැල්ල පාලම කිට්ටුවමද?”

“නෑ. පොල්ගොල්ල පාරෙ. ටික දුරක් යන්න තියෙනවා.”

“මං හිතුවෙ මෙහේ කෙනෙක් නෙමෙයි කියලා.”

“නෑ. මේ මගේ උපන් ගම.”

“රස්සාවල් කරනකොට ඉතින් උපන් ගමේම ඉන්න බැහැනෙ. මමත් කැම්පස් ගියා. එහෙම වුණා කියලා රස්සාවක් කරන්න ඕනම කියලා නැහැනෙ. ටික දවසක් බලාගෙන හිටියා ජොබ් එකක් ලැබෙන තුරු. බැරිම තැන තිබිච්චි පොඩි ඉඩම් කෑල්ලක් විකුණලා වාහනේ ගත්තා. රස්සාවකට කොටු වෙනවට වඩා මේක නිදහස් මිස්.”

“ඒකතමයි.” ෆියෝනා සිනාසෙන්නට උත්සාහ කළාය.

“මිස්ගෙ මූණ වෙනස් වෙලා. මහන්සියි වගේ.”

අරමුණකින් තොරව තමා විසින් දෙනු ලබන කෙටි පිළිතුරු වලින් වෙහෙසට පත් වූවාක් මෙන් රියැදුරා පැවසුවේය.

“ඔව්. මට හිසරදේ. පාන්දරම නැගිට්ටනෙ.”

“මං කියවන්න ගත්තම මිස්ගෙ හිසරදේ වැඩි වෙන්න ඇති.”

“අනේ නෑ.” යි පැවසුවද, තරුණ රියැදුරා ඉන්පසු නිහඬව ගමන් කිරීම එක් අතකට සහනයක් සේ ෆියෝනාට දැනිණ. තල්වත්ත හන්දියෙන් පහළ පාරට මෝටර් රිය හරවද්දී සැබැවින්ම ඇගේ නළළත ඇතුළතින් වේදනාවක් දැනෙමින් තිබිණ. ජංගම දුරකතනය අත් බෑගය තුළ සිට හඬ නගනු ඇසෙයි. ෆියෝනා එය අතට ගත්තාය ස්වේතා...

“මම ළඟ ඉන්නෙ ස්වේතා අක්කා.” ස්වේතා කතා කිරීමට පෙරම ෆියෝනා පැවසුවාය.

“ළඟ කිව්වෙ?”

“ලේවැල්ල පාළම කිට්ටුව.” ස්වේතා මොහොතක් නිහඬ වූවාය. එම නිහඬතාවය අසාමාන්‍ය එකක් සේ ෆියෝනාට දැනිණ.

“ස්වේතා අක්කා. කෝ ලොකූ?”

“ලොකූ කිව්වෙ? අයියද? මේ මෙතන ඉන්නවා.”

“ඇයි කතා නැතිව ඉන්නෙ? කට්ටිය මට දෙහි කපන්න ලෑස්ති වෙලාද බලා ඉන්නෙ?”

ෆියෝනා ඇසුවේ හොරැහින් රියැදුරා දෙස ද බලමිනි. එහෙත් තම කතා බහ ඔහුට නොඇසුනාක් මෙන් විය.

“ඕන එකක්. මට බඩගිනියි. කන්න බොන්න දීලා ඉවර වුණාට පස්සෙ ඕන එකක්. මං ඇබ දෙකක් කන් වල ගහගෙනයි එන්නෙ.”

ස්වේතා සිනා ගැන්වීමට මෙන් ෆියෝනා පැවසුවද, ඇය තවමත් නිහඬය.

“කතා කරන්නෙ නැත්නම් ඔන්න මං තියනවා. දැන් මම ඉන්නෙ ලේවැල්ල පාලම උඩ.”

“නංගී... චූටි නංගී...” එවර ස්වේතාගේ කටහඬ වඩාත් දයාබර ලෙසින් ඇසිණ. එහෙත් ඒ හඬ වෙනස්ය. ෆියෝනාගේ හදවත හරහා

විදුලියක් දිව ගියේය.

“මුකුත් ප්‍රශ්නයක්ද ස්වේතක්කා?”

“ඔව්. ප්‍රශ්නයක්. ගෙදරට ගොඩ වෙන්නත් කලින්ම ඔයාට නොහිතන නොපතන දේවල් දකින්න ලැබේවි. අහන්න ලැබේවි. මොනවා වුණත් හිත හදාගන්න මගේ නංගි.”

දුරකතනය විසන්ධි විය. ෆියෝනා අන්දමන්ද ලෙස වටපිට බැලුවාය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.