තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

ගී ලියන ගී ගයන ප්‍රාදේශීය ලේකම්

බුදු හිමියනේ...

පටාචාරාවන්... කිසාගෝතමියන්...

දෙව්රමට යන පාර අහනව මගෙන්...

දෙව්රමත් නැත ඔබත් නැතිවග ...

කෙලෙස කියමි ද මං...

මේ දිනවල කවුරුත් ඔහු ගැන කතාබහ කරන්නේ කලා ලොවේ දැක පුරුදු මුහුණක් නිසා නම් නොවෙයි. ඔහු ලියූ ඔහු ගායනා කළ ගීත නිසාවෙනි. එක් අතෙකින් ගායකයකු ගී පද රචකයකු ලෙස කලාලොවට එක් වන අලුත්ම සාමාජිකයෙක් ලෙස ඔහුව හඳුන්වා දෙන්නට පුළුවන්. ගී ලියන ගී ගයන අපූරු ප්‍රාදේශිය ලේකම්තුමා ලෙසට රසිකයන් අතර ප්‍රචලිත සුසන්ත ජයතිලක මේ වන විට අලව්ව ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද කලා නිර්මාණ සමඟ නිතර ගැවසෙන සුසන්ත ජයතිලක ඔහුගේ නවතම ගීත කිහිපයක් එළිදක්වන්නට සූදානම් වන පුවත අපිටත් දැන ගන්නට ලැබුණා. මේ ගැන ඔහුගෙන්ම විමසා බලන්නට අපි කටයුතු කළා.

 මේ ඔබේ පළමු ගී එළිදැක්වීම ...

ඔව්. ලබන 26 වැනි ඉරිදා සවස 2.30ට කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මා ලියූ මා ගැයූ ගීත එළිදක්වනවා.

 ඔබේ ළමා අවධිය ගීත නිර්මණයට සෘජුවම බලපාන්න ඇති ...

' මම ගීත නිර්මාණ කලාවට යොමුවන්නේ කුඩා කල සිටමයි. මගේ මව්පියන්, සීයා- අත්තම්මා මේ හැම දෙනාම මාව කුඩා කාළෙ නැ‍ෙළව්වේ ජන කවි, උම්මග්ග ජාතකයේ කවි කියමින්. එනිසා කුඩා කා‍ෙල ඉඳළම කවි තාලයට කියන්න වගේම අපේ පැරැණි ගී සාහිත්‍යය ගැන යම් අවබෝධයක් ලබන්නටත් මට හැකි වුණා. මට මතකයි මගේ සීය මාව පපුවට තුරුළු කර ගෙන උම්මග්ග ජාතකය දත් නැති කටින් කියන හැටි හරි රසයි. පසුව පාසල් කා‍ෙලදි මේ කලා හැකියාවන් තව දුරටත් වැඩි දියුණු වුණා. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ බෝවල සිරි සිදුහත් කණිටු විදුහලෙන්. පසුව උඩකැකුලාවල කණිෂ්ට විදුහලටත් , වෑවල අලව්ව මහා විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබුවා. කැලණිය විශ්ව විද්‍යාලයෙන් තෘතීය අධ්‍යාපනය ලබලා ගුරුවරයෙකු, පරිපාලන නිලධාරියකු ලෙසත් මම කටයුතු කළා. මේ කාල සීමාවේ මගේ කලා හැකියාවන් තව තවත් වැඩි දියුණු වුණා කියලා කියන්න පුළුවන්. පාසල් කාලෙදි සමස්ත ලංකා ගීපද රචනා ජයග්‍රහණ පවා මා අත් කර ගෙන තිබෙනවා.

 ඔබේ ගීතවලට ප්‍රස්තුත වන්නේ සමාජ සංසිද්ධීන්...

මේ සමාජයේ ජීවත්වන බොහෝ පිරිසක් මගේ රාජකාරී ස්වභාවය අනූව නිතර දෙවේලේ මට හමුවෙනවා. ඒ අතර විවිධ සමාජ මට්ටම්වල විවිධ ආර්ථික මට්ටම්වල ගැමියන්, නාගරිකයන් හමුවෙනවා. විවිධ දුක්මුසු, සතුටුදායක සිදුවීම් අහනවා. දකිනවා. මේ සියල්ල සමඟත් මගේ කාර්ය බහුලත්වය සමඟ රාජකාරි කරලා සේවය නිමාවෙලා නිවෙසට ගියහම මගේ සිතේ තිබෙන වෙහෙස නිවා ගන්න මට අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් මම තෝරාගත් මාධ්‍ය තමයි ගීතය. ගීතයක් ලියන්න මට සෑහෙන වේලාවක් ගත වෙන්නේ නැහැ. හැමදාම සාලෙට ඇවිත් විවේකපාඩුව ගී පද රචනාවක් මගේ අතින් දවසේ සිදු වන එක් සිදුවීමක් ගැන හෝ ලියන්නට මම පෙළඹුණා. අන්තිමට එය මගේ විනෝදාංශයක් බවට පත් වුණා. සතුටුදායක වේවා හද සසල කළ සිදුවීමක් වේවා ඒ කම්පනය මගේ අතින් ගී බවට පත්වෙනවා. ගීතයක් ලියනවා වගේම ගයනවා කියන්නේත් හරියට භාවනාවක් වගෙයි.

 ඔබ අතින් පළමුව ගීතයක් ලියැවෙන්නේ මවට සහ ඔබේ ආදර බිරියට...

ඔව්. මගේ සාර්ථකත්වයේ පිටුපස ඉන්නේ මගේ මව වගේම මගේ බිරියයි. ඕනම කෙනෙකුට ජීවිතයේ අසීරුකාලයන් පසුකරන්නට වෙනවා. මටත් එහෙම කාලයක් තිබුණා. ඒ කාලයේ මගේ ළඟින්ම හිටියේ මගේ බිරියයි. ඇය මට අයෝමය ශක්තියක් වුණා. ඈ වෙනුවෙන් මගේ අතින් ගීතයක් රචනා වුණා. ඒ ගීතය මේ ගීත එළිදැක්වීමේ දී රසිකයනට අහන්නට ලැබේවි.

මගේ අම්මා ජීවතුන් අතර නැහැ. ඇගේ වියෝවත් මගේ හද කම්පනය කළ සිදුවීමක් වුණා. ඇය නැතිවෙලා දින ගණනක් ගත වන විට ඇගේ කාමරය අසලින් මම යනෙන විට ඇගේ මා වෙත තිබූ ස්නේහය වගේම ඇගේ සුවඳ මට දැනෙන්නට වුණා. අතට වෙරළු ඇහිද ගෙනේ ඉනට පළා නෙළා ගෙනේ කියලා අම්ම මාව නැළැ වූ හැටි මට මතක් වුණා. ඒ අනූව අම්මා ගැන ගීතයක් මගේ අතින් ලියැ වුණේ විනාඩි 5ක් වගේ කලායක් තුළයි. ඒ ගීතයත් මේ උළෙලේ දී එළිදකිනවා.

 ඔබට ලැබෙන ප්‍රතිචාර...

මේ ගීත රස විදපු බොහෝ දෙනෙක් හුඟක් හොඳ ප්‍රතිචාර දැක්වුවා. විශේෂයෙන්ම මගේ ගායනයේත් , ගී පද රචනයේත් මුල් විචාරකයන් ව‍න්නේ මගේ බිරිය හා පුතුන් තිදෙනායි. මොකද මගේ නිර්මාණ මුලින්ම ඔවුන්ට රස විඳින්නට ලැබෙන නිසා මගේ පද නිර්මාණවලට ගායනයට ඔවුන්ගෙන් තමයි කමෙන්ට්ස් ලැබෙන්නේ. මගේ මේ සෑම ගීතයකටම තනු නිර්මාණය කළේ විශාරද කරුණාරත්ත විජේවර්ධන මහත්තයා. මගේ පදමාලා සඳහා විශිෂ්ට ලෙස ඔහු සංගීතය නිර්මාණය කළා. ඒ වගේම මේ අවස්ථාවේ මේ කාර්යය සාර්ථක කරගන්න මට උදව් කරන මගේ බිරිය නිසාංජලා ජයතිලක හා පුතුන් තිදෙනාත් නිවෙසේ සියලු දෙනාමත්, කාර්ය මණ්ඩලයත්, සදීප, ආනන්ද ඇතුළු හැමදෙනාටමත් ස්තූතිවන්ත වෙනවා.

************************************************

මනෝජ්ට දාහතයි

ඔහුගේ හඬ වගේම රුවත් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නැහැ. විටෙක චතුර ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසත් තවත් විටෙක වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කරන මනෝජ් ඉඳුරුව රසිකයන්ගේ නිබඳ ආදරයට නතු වූ චරිතයක්. මනෝජ් ගේ මාධ්‍ය ජීවි‍තයේ නවතම තොරතුරු සොයා බලන්නට අපි කටයුතු කළා.

' මේ දවස්වල තරමක් කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. විශේෂයෙන්ම සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති නිවේදකයෙක් , මැදිරි කළමනාකාරවරයෙක් ලෙස කටයුතු කරන නිසාම කාර්යබහුලත්වය වැඩියි. කොහොම වුණත් මගේ මාධ්‍ය ජීවිතයට මේ වන විට අවුරුදු 17ක් සම්පූර්ණ වෙනවා. අතීතය දෙස හැරී බලද්දී ලොකු සතුටක් දැනෙනවා. මම මාධ්‍ය කලාවට මුලින්ම අත්පොත් තබන්නේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු ලෙස කටයුතු කරන සමයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක නිෂ්පාදන සහායකවරයෙක් ලෙසට එක් වෙමින්.

ඒ 2000 වසරේ දියි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ,කලාකරු එච්. ඩී. ප්‍රේමරත්න මහතා තමයි මගේ ඒ පටන් ගැන්මේ මුලික අඩිතාලම දැමුවේ. තාරකා වාසලමුදලිආරච්චි සොයුරියගේ මාර්ගයෙන් මට චන්දන සූරියබණ්ඩාර මහතා හඳුනාගන්නට ලැබෙනවා. ඉන්පසුව 2007 වසරේ සිරස ආයතනයේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස එක්වෙනවා. එයට අවස්ථාව සලසා දෙන්නේ චන්දන සූරියබණ්ඩාර මහතා. ඉන්පසුව සහකාර ප්‍රවෘත්ති කළමනාකාරවරයෙක් ලෙස මම කටයුතු කරනවා. ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට ඉදිරියට එන හැම පැය විසිහතරම අපට වැදගත්. ඒ හැම මොහොතක්ම අපිට අමතක නොව මතකයන්.

මම ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට එක් වෙන සමයේ මට කටයුතු කරන්න ලැබුණේ ප්‍රවෘත්ති කලාවේ ප්‍රවීණයන් රැසක් සමඟ චේතනා ලියනගේ, තනූජා ජයවර්ධන වගේම ඔමායා කෝවිලගොඩත් මට අමතක කරන්න බැහැ. ඔවුන් සමඟ ප්‍රවෘත්ති නිවේදනයට මට අවස්ථාව ලැබ්ණා. ඒ ගැන සතුටුයි. ඒ වගේම මම මතක් කළ යුතුයි සිරස ආයතනයේ ප්‍රධානී රාජා මහේන්ද්‍රන් ඒ වගේම සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් නාලිකා ප්‍රධානී සුරංග ප්‍රීතික, සිඩ්නි චන්ද්‍ර ‍ෙස්කර. ඔවුන්ගෙන් මගේ ඉදිරි ගමනට ලැබෙන අත්වැල ගෞරවයෙන් මම සිහිපත් කරනවා. මගේ මව, සොහොයුරා වගේම මගේ නෑනත් මට ශක්තියක්.

************************************************

යළි ඉපදෙන 'කොළඹ සන්නිය '

මේ දිනවල විවිධ චිත්‍රපට යළි යළිත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ අතර අලුතින්ම ප්‍රතිනිර්මාණය වෙන චිත්‍රපටය තමයි 'කොළඹ සන්නිය' චිත්‍රපටය. මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට ලක් වූ චිත්‍රපටයක්. ජෝ අබේවික්‍රම, එඩී ජයමාන්න, දෙනවක හාමිනේ, දයා අල්විස් වැනි ප්‍රවීණයන් එදා මේ චිත්‍රපටයේ චරිත මැවුවා. මේ වන විට එය හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයෙන් නැවතත් සිනමාවට ගෙන ඒ මට නියමිතයි.

එදා ජෝ අබේවික්‍රමයන් රඟ පෑ 'අන්දිරිස්' චරිතයට මෙදා සරත් කොතලාවල ද ගීතා රඟ පෑ චරිතයට මේනකා මධුවන්ති ද රංගනයෙන් දායක වෙන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ චරිතය ගැන අපි සරත්ගෙන් විමසා බැලුවා. 'ඇත්තටම අපිට ප්‍රවීණයන් රැසක් රඟපාපු චිත්‍රපටයක් තමයි නැවත රඟපානන්ට සිදු වී තිබෙන්නේ. නමුත් ඒ පිටපතම නෙවෙයි. වෙනසක් සහිතවයි එය ලියැවෙන්නේ. ඇත්තටම පැරැණි චිත්‍රපටයේ ඒ චරිත ඔවුන් රඟපෑවේ විශාල රංගන පරාසයක් ඇතිවයි.

එය තරමක් අභියෝගාත්මකයි. නමුත් අපි අපිටම ආවේණික වූ රංගන ශෛලියකින් තමයි මේ චිත්‍රපටයේ චරිත මවන්නේ. එනිසා මම හිතන්නෑ ජෝ මහත්තයා විදිහටම මම රඟ පෑ යුතුයි කියලා. ඉදිරියේදී මේ ගැන අපේ ප්‍රේක්ෂකයනට දැක බලා ගන්නට පුළුවන් වේවි.'

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.