සිනා කතා | සිළුමිණ

සිනා කතා

පෙරගමන් කරුවෝ සහ පසුගමන් කරුවෝ

“ලේඛකයොත් ඇතුළත් වෙන කලාක‍ාරයෝ කියල කියන්නෙ. ඒ හින්දා ඔවුන් ගැන දැනට වඩා වැඩි හොඳ අවධානයක් යොමු කිරීම ආණ්ඩුවේ වගකිව යුත්තන්ගේ වගකීම කියලයි මම නං හිතන්නේ.” ඉදිරි වසර උදෙසා කලා සහ සංස්කෘතික වැඩ පිළිවෙළක් සැකසීම සඳහා පැවැත් වු සම්මන්ත්‍රණයක දී තම අදහස් දක්වමින් ප්‍රකට ලේඛකයකු වු පෙරේරා කිවේ ය.

“ඔය සමහර ලේඛකයෝ දෙතුන් දෙනා මගේ කාර්යාලයට ඇවිත් තමන් හමුවේ තියෙන ප්‍රශ්න ගැන දීර්ඝව කරුණු දක්වන අවස්ථා කොතෙකුත් තියෙනවා. එහෙම කතා කරලා ගිහින් එක් එක් කෙනා තනියම ආපහු ඇවිත් . තමන් එක්ක කලින් අ‍ාව‍ ලේඛකයන් වැරැදි කිව්ව අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. ඒ හින්දා ඔය කියන නාමය ‘පෙරගමන් කරුවෝ සහ පසු ගමන් කරුවෝ’ කියල සංශෝධනය කළොත් නේඳ හොද? සම්මන්ත්‍රණය මෙහෙය වු අධ්‍යක්ෂ වරයා කිවේ සෝපහාසයෙනි.

 

එහෙම නැතුව පුළුවන්ද?

“මන්ත්‍රීතුමා තමන්ගෙ කාර් එකේ යනවා මිසක් ඔය මෝටර් සයිකල් පදිනවයැ. ඉතින් මේ හෙල්මට් එකක් අහවල් දේකටද?” සුපිරි වෙළෙඳ සලකින් මන්ත්‍රීවරයා හෙල්මටයක් මිලදී ගන්නවා දුටු රාමනායක විමසුවේ තරමක විමතියෙනි.

“ඇයි බං, ලබන අවුරුද්දේ මුල වෙනකොට ඡන්දෙ අනිවාර්යයෙන් ම ති‍ෙයනවයි කියල ඊයේ රෑ ප්‍රවෘත්තිවලට කියනවා උඹට ඇහුණෙ නැද්ද? එතකොට මට මගේ ආසනේ ඡන්ද දායකයෝ හම්බුවෙන්ඩ යන්ඩ මේ වගෙ ෆුල්කවර් හෙල්මට් එකක් නැතුව පුළුවන් ද?” මන්ත්‍රීවරයා ඇසීය.

 

පාඩුවක් නෑ

“දැන් ඔය සාහිත්‍ය ග්‍රන්ථ, චිත්‍රපටි වගේ දේවල්වල විනිශ්චය මණ්ඩලවලට පැන ගත්තාම ඒ පොත් කියවනවට, චිත්‍රපට බලනවට සෑහෙන ගතමනාවක් තමුසෙට ලැබෙනවා ඇති නේද?” සාහිත්‍ය උත්සවයකදී මහාචාර්ය සකලසූරිය තමා අසල දැවටෙමින් සිටි ගලපිටමඩ දෙස බලා ඇසීය.

“අපොයි නෑ ප්‍රොෆෙසර්, ඒවයින් ලැබෙන සොච්චමෙන් නං වැඩක් නැහැ. ඒත් ඉතින් අපි තෝරන පොත් ලිව්ව කර්තෘවරු ඒවයේ පොත් ප්‍රකාශකයෝ ලවා, ඒ වගේ ම චිත්‍රපටවල අධ්‍යක්ෂවරු ඒවායේ නිෂ්පාදකවරු ලවා අපිට යහමින් සලකන හින්දා පාඩුවක් නෑ” ගලපිටමඩ කීවේ දේශපාලනඥයකු මෙනි.

 

දුක හිතෙන්නෙ නැද්ද?

“අර මැරුණු නළුවා ගැන තමුසෙ ලිව්ව කවි පෙළ පත්තරෙන් කියවලා මට පුදුම දුකක් ඇතිවුණෙ දයාපාල” කවියෙකු වූ රූපසිංහ මහතා තමා වෙත පැමිණි දයාපාල දෙස බලා කීවේ නාට්‍ය උළෙලේදී ලද විරාමයකදී ය.

“ඒ අකල් මරණෙ ගැන මම ලියපු කවිපෙළ කියවල ඔබතුමාගෙ හිතේ ඒ වගෙ දුකක් ඇති වුණා නං ඒ කවි පෙළ සාර්ථකයි කියල ඒකෙන් ම පේනවා නේද මිස්ටර් රූපසිංහ?” දයාපාල කට පළල් කර හිනාවෙමින් කීවේ බලවත් උද්දාමයකිනි.

“නෑ...නෑ... මට දුක හිතුණේ ඒ මරණයටත් වඩා කවිය කියන දේ ඒ කවිපෙළෙන් මරලා තියෙන හැටි දැකලයි.” රූපසිංහ කීවේ සාවඥ සිනාවක් නඟමිනි.

 

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි

“මොකෝ අද මේ උසාවිය පැත්තෙ එන්ඩ හිතුණේ. මොකක් හරි නඩුවකට පැටළුනාවත්ද?” තම කාර්යාලයේ සිට අලුත්කඩේ කන්ද නඟිමින් සිටි නීතිඥ සේරසිංහ උසාවිය සමීපයේ ගස් සෙවණකට වී පාර දෙස විමසිල්ලෙන් බලා සිටින දයාපාල දැක තම ගමන නවතා විමසීය.

“අපොයි නෑ මිස්ටර් සේරසිංහ... අද අපේ නළුවා එයාට විරුද්ධව තියෙන කේස් එකකට උසාවි එනවනෙ. මම මේ උදෙන්ම ආවේ එයාට සහයෝගයක් දක්වන්ඩ හිතාගෙන. මමත් එයා පිටුපසින් ගියාම ඒක එයාට ලොකු හයියක් වෙයිනෙ. අනික ඔය රූපවාහිනි මාධ්‍යවලින් අනම් මනම් අහන්ඩ ගත්තාම මාවත් අද රෑට රූපවාහිනි නිවුස්වලින් පෙනේවිනෙ. ඒකයි මේ ආවේ” දයාපාල විරිත්තමින් කීවේ ය.

“එතකොට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි නේද?” සේරසිංහ ගමන අරඹමින් කීවේ උස් හඬින් සිනාසෙමිනි.

 

එතකොට මොකද කරන්නෙ?

“දැනට මේ තියෙන ව්‍යවස්ථාව අපේ ලේඛක සංවිධානයට නොගැළපෙනවා කියලයි මට නං හිතෙන්නෙ. ඒ හින්දා අපි කමිටුවක් පත් කරලා මේ ව්‍යවස්ථාව සංශෝධනය කළොත් නේද හොඳ?” ලේඛක සංවිධානයේ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත් වෙමින් එහි ලේඛිකා වසන්ති කීවා ය.

“අපොයි! කතා කරන්ඩ එපා. ඔය ව්‍යවස්ථාව අපි වෙනස් කරලා අලුත්ම එකක් හැදුවාම මහා සංඝරත්නය ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා සංඝාඥාවක් පැනෙව්වොත් එහෙම මොකද කරන්නෙ?” කාරක සභික ප්‍රේමචන්ද්‍ර වහා නැගිට කීවේ ය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.