උඩ යන්න බිම පෙනෙන තෙක් | Page 2 | සිළුමිණ

උඩ යන්න බිම පෙනෙන තෙක්

නොකඩවා වහින වැස්ස කරදරයක් වුණත්, අපි සොබාදහමට අවනත වුණෙමු. කඩ වීදි පසු කරගෙන යන වාහන නැවතෙන්නට තැනක් හොයන හැඩයි. ඒත් සීරුවටවත් මාරු විය නොහැකි මාර්ග තද බදය සෑම රියැදුරෙක්ම අපහසුවට පත් කළේ නිතැතිනි. වැහැලා වැහැලා පායන විටත් වහින තරමටම අමාරුයි. මොනවා වුණත් ගමන් බිමන් ප්‍රමාද කරගන්න බැහැනේ. කාලගුණය කියලා කාලසටහන් වෙනස් කරන්න බැහැ. සිරිදාස ලොකු හාමුදුරුවන්ට වුණු පොරොන්දුව ඉටු කරන්න කිසිදු පැකිළීමක් වුණේ නැහැ.

‘‘අද මගේ හිතේ ලෙඩ්ඩුත් අඩු වෙයි.‘‘

සිරිදාස රැල් බුරුල් ඇරලා උගුර පාදලා කිව්වේ අමුතු තාලෙකට.

‘‘අපේ මහත්තයා මාව කරදරයක්ද මන්දා.”

‘‘අපෝ නෑ අපේ හාමුදුරුවනේ මොන කරදරයක් ද?

ඔබ වහන්සේගේ වැඩේට කොහොම හරි ඉස්පිරිතාලේ යන්න එපායැයි.‘‘

වෘත්තියෙන් සිංහල වෛද්‍යවරයෙකු වූ සිරිදාස ඉංගිරිසි බෙහෙත්වලට එතරම් මනාප නොවුණත්, ලොකු හාමුදුරුවන්ගේ කැමැත්තට අවනත වුණේ බෑ නොකියා බැරිකමටය. ඒත් මේ දවස්වල මාරන්තික උපවාස නිසා ඉස්පිරිතාලයකට ගොඩ වදින්න පුළුවන් වේද දන්නේ නැහැ. කවදාවත් නිවාඩු ගන්නේ නැති ලිප්ටන් වටරවුම අදත් බෑ නොකියාම සෙනඟ කන්දක් දරාගෙන සිටියේ දරා ගත යුතු බැවිනි. සිරිදාස ලොකු හාමුදුරුවන් කැටුව ඉස්පිරිතාලයට ඇතුළු වෙන විට මාරාන්තික උපවාස කරුවෝ අට්ටාල උඩ ඉඳගෙන බලාගෙන සිටියෝය.

‘‘ඇත්තටම සිරිදාස මහත්තයෝ මේ ළමයින්ට කන්න බොන්නවත් නැතුව ලෙඩ වේවි නේ‘‘

සිරිදාස යන්තමට සිනාසුණේය. මාරාන්තික උපවාස යනුවෙන් ලියා තිබූ ඉටි කොළය සුළඟ සමඟ තද පොරයකට ලෑස්ති වේවි. ඒත් සිරිදාස නිසොල්මන්ව බලා සිටියේය.

‘‘මාරාන්තික උපවාස නිසා මේ දරුවෝ බඩ ගින්නේ ඇති නේ?‘‘

නැවත වරක් ලොකු හාමුදුරුවෝ ඇසූහ.

සිරිදාස එවරද බිම බලා ගත්තේය. මොහොතක් ඉක්ම ගිය පසු අට්ටාලය උඩ සිටිය පිරිමි ළමයි කීපදෙනා බැස ගියහ. ඒ වෙනුවට නැවත වරක් අලුත් පිරිමි ළමයි කීපදෙනෙක් ඉඳ ගත්හ.

‘‘අනේ අම්මපා මාරාන්තික උපවාස කියන්නේ මේවට ද? ඒ කාලේ තිබුණ උපවාස ගැන හිතන කොට මේවා මොනවද අප්පා?

සිරිදාස එවර හඬ නඟා සිනාසුණේය. ගමේ වෙද්දු කාගෙන් ඉල්ලීම් කරන්නද? මොන අයිතිවාසිකමක් දිනා ගන්නද? නාඩි සාස්තරේ දන්නව නම් මනුස්සකමට බෙහෙත් කියාවි. ඉගෙන ගත්තේ පරම්පරාවෙන්. අත්තා කිරිකිත්තා පනත්තාට පින් අත්වෙන්න වෙද සාස්තරේ හොඳට ඉගෙන ගත්තත් වැනල් ස්විස් එකක් ජීවිතේට තියලා නැහැ. ඒත් ඉතින් අනේ අපොයි නොකිය නාඩි බලලා සාස්තරේ නියමටම කියනව. කපනවා කොටනවා කියලා සිංහල වෙද පොත්වල තියෙනවා ද මන්ද. සිරිදාස දිග හුස්මක් ගත්තේය. හාමුදුරුවන්ගේ ඕනේකමට මිස මේවාට ඇවිල්ලා පුරුද්දක් තියෙන එකක්යැයි. කොහෙද ඉතින් අපේ උන්නාන්සේ අහන එකක්යැයි.‘‘

පෝලිමේ කෙතරම් වෙලාවක් ඉඳගෙන හිටියත් වැඩක් වුණේ නැහැ. හාමුදුරුවෝ ආපස්සට හැරුණාහ.

‘‘හැබෑවට දැන් මොකද මහත්තයෝ කරන්නේ?‘‘

‘‘අනේ හාමුදුරුවනේ මේ තියෙන්නේ ග්‍රහයන්ගේ කොටු මාරුවක් මිසක් ලෙඩක් නෙවෙයි. මේකට හොඳටම ප්‍රතිකර්මේ නාඩි සාස්තරේ‘‘

සිරිදාසගේ වවන ලොකු හාමුදුරුවන්ට නොරිස්සුවේය. කොළොම්පුරේ විශ්වවිද්‍යාලයකට ගිය හාමුදුරුවන්ට මොන නාඩි සාස්තරද?

සිරිදාස අසල තිබුණ කාමරයකට එබුණේය. යන්තම් මෑත් කර දොරෙන් දුටු සුපුරුදු මුහුණ එකපාර හැඳින ගැනීමට සිරිදාස සමත් වූයේය.‘‘ ආ...අසේල දුනුසිංහ.‘‘

‘‘අසේල මාව අඳුන ගන්න බැරිද? මං සිරිදාස මද්දුමහේවා. යටිලවල ඉස්කෝලේ‘‘

දොස්තර නළාව ළඟ තියාගෙන සිටි පුද්ගලයා උඩ බිම බැලුවේය. මොන යටිලවල ඉස්කෝලේද? මං ගියේ කලම්බු සෙවන්. ” සිරිදාස බයෙන් හැකිළුණේය. ඉස්සරහට තැබූ අඩිය පස්සට ගත්තේය.

‘‘ අපි යං හාමුදුරුවනේ, අපි දන්න හඳුනන කවුරුත් නැහැ. ස්ට්‍රයික් හින්දා බෙහෙත් දෙන එකක් නැහැ.‘‘

නැවතත් ලොකු හාමුදුරුවන් සමඟ සිරිදාස ගමට ආවේ මහත් කලකිරීමෙනි. අසේලට මාව හඳුනා ගන්න බැරි වුණ හැටි. ඒ කාලේ අසේලට ගෙදරින් බත් එකක ගිං දුන්නේ තමා බව සිරිදාසට කල්පනා විය. දොස්තර කෙනෙක් වුණා පස්සේ ඒ සේරම අමතක වෙලා. ඇත්තටම හඳුනන්න බැරි තරම් වෙනසක් වෙලා නැහැනේ. ඇත්තටම මිනිස්සුන්ට මෙව්වර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද?

‘‘ඔන්න සිරි මේපාරත් උඹ ලෙඩා මං දොස්තර.‘‘

ඉස්කෝලේ හැම විවිධ ප්‍රසංගයකම සිරි ලෙඩා වුණේ ඒ විදිහටයි. ඒත් තාත්තට පිං සිද්ධ වෙන්න වෙද සාස්තරේ ඉගෙන ගන්න සිරීට හැකියාව ලැබුණේ පරම්පරා වෙදකමේ පිහිටෙන්. දියව් දියව් කියලා පෙළපාළිවල නොගියට වැනල් ස්විස් නොතිබ්බට සනීප වෙලා ගිය කි දෙනෙක් නැවත ඇවිත් සිරීට දොහොත් මුදුන් දීලා වඳිනවද?

‘‘අනේ දෙවියෝ මං ඇවිද ගන්න බැරුව හිටියේ‘‘

කොරවෙලා හිටිය කාන්තාවක් සුවපත් කළ දවසක ඒ කාන්තාව සිරිදාසට දණ ගහලා වැන්ද බව සිරිදාසට මතක් වූයේය.

කාලය දවස්වලින් මාසවලින් ගෙවී ගියේය. සිරිදාසගේ වෙදකම එන්න එන්න ජනප්‍රිය විය.

‘‘නාඩි සාස්තරේ අනුව ලෙඩ සුවපත් කරන වෙද මහත්තයාගේ ගෙදර ද?” මේ දිනපතා ලෙඩ්ඩු සිරිදාස සොයාගෙන ආහ. අත අල්ලා සුවය සාදන සාස්තරේ නිසා සිරිදාසගේ නම ප්‍රකට වීය. සුව කරගන්න බැරි ලෙඩුන් වගේම කැඩුම් බිඳුම් ලෙඩ්ඩු ද සිරිදාස සොයා ආහ. උදේ පටන් බෙහෙත් දීම අවසන් වෙන්නේ හැන්දෑ වෙන විටය. එහෙත් සිතේ සතුට නම් කෙළවරයක් නැත.

‘‘වෙදමහත්තයාට බොහොම පින්. මේක මගේ ගා‍ෙන් සන්තෝසමට කියලා.‘‘

ලෙඩ හොඳ වුණ ලෙඩ්ඩු කැමැත්තෙන්ම දුන් තෑගි බෝග සිරිදාස භාර ගත්තේ ගෞරව පූර්වකය. ලෙඩුන් ගාන වැඩි වුණා කියා සිරිදාස කිසිසේත් වෙනස් නොවූයේය. දිනක් හදිසියේ අමුත්තෙක් සිරිදාස සොයා ආවේය.

‘‘ආ..... ඔබතුමා, එන්න එන්න මට හරිම සන්තෝෂයි. මං හිතුවේ නෑ කවදාවත් ඔබතුමාට මාව ඕනේ වේවි කියලා. අපේ වෙදකමේ ස්ටයිල් නෑනේ. තියෙන්නේ කරුණාව මෛත්‍රිය විතරයි. පඩි අඩුයි කියලා අපි කෝම ස්ට්‍රයික් කරන්නද?‘‘ සිරිදාස නළළ රැළි කර සිනාසුණේය. අමුත්තා අතීතය සිහිපත් කරමින් කල්පනාවට වැටුණේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.