නොවැ­ම්බර් මළ­වුන්ගේ මාසය නැකත් සඳහා අසුබ ද ? | සිළුමිණ

නොවැ­ම්බර් මළ­වුන්ගේ මාසය නැකත් සඳහා අසුබ ද ?

මේ නොවැම්බර් මාසයයි. මෙය මළවුන්ගේ මාසය බැවින් සුබ කටයුතු සදහා බාධා ඇතිකරන මාසයක් බව ඇතැමුන් විශ්වාස කරයි . මළවුන්ගේ මාසය නැකත් හෙවත් මුහුර්ත සාධනයේ දී ද බොහෝ දෙනාට ජුගුප්සා ජනක සිතුවිලි ඇතිකරනේ එබැවිනි. මුහුර්ථ සෑදීමේ දී විශේෂයෙන් සළකා බලන නිර්ණායක බොහෝමයක් ඇතත් ''මළවුන් ඇදහීම හේතුවෙන් මුහුර්ථ නො ගන්න යැයි මොනම ජ්‍යොතිෂ ග්‍රන්ථයක වත් කියා නැත. ඒ සදහා ඇත්තේ ග්‍රහ ගමනට අදාළ වෙනත් ක්‍රමවේදයකි. මුහුර්ථයක් සෑදීම සදහා ජන්මියාගේ උපන් කේන්ද්‍රයට සීහෙන හා අදාළ කාර්යාලට ශුභ කාල වකවානු ‍තෝරාගැනීම, ඒ වකවානුවලට අදාළ දිනය , නැකත, තිථිය, කරණය, යෝගය ආදී සුබ පඤ්චාඬග ය ‍තෝරා ගැනීම ඉන් ප්‍රධාන වේ. මෙහිදී සුභ මුහුර්ථයට අදාළ පලදායී කාලය ‍තෝරාගැනී මේ දී විශේෂයෙන් රවි, සදු, ගුරු ආදී ග්‍රහයන් ගේ ගෝචරය සලකා බැලෙන අතර ඒ සියලු නිර්ණායකයන් ගණිතමය, ජ්‍යාමිතික මූල්ධර්මයකට අදාළව විමසා බැලෙන බව කිව යුතුය. භූතමය, ගුප්තමය, පාරභෞතිකමය හේතුසාධක මුල්කරගෙන මුහුර්ථ නොගැනීමක් ජෝතිෂයේ කොතැනකවත් සඳහන්ව නැත.

මළවුන්ගේ මාසය කිතුනු සම්ප්‍රදායට අයත් ඇදහීමකි. මෙය ක්‍රි.ව. 998 දී පමණ ආරම්භ වූ බව ඉතිහාසයේ සදහන් ය. ''ක්‍රිස්තු වර්ශ 06 වෙනි සියවසේ දී බෙනඩිකාන තාපසාරාම වලවිසූ තාපස පූජක වරුන් රෝගීව සිටි ඔවුන්ගේ අනික් තාපස පූජක වරුන්ට සුවය පතා පෙන්තකොස්ත මංගල්‍යය දිනට පසු දින දිව්‍ය පූජාවක් තබා යාච්ඥා පුදකර ඇත. නොවැම්බර් 02 වෙනිදාට මෙම මළවුන්ගේ මංගල්‍ය සැමරීම ආරම්භ කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 998 දී බෙනඩිකාන තාපසයකු වූ ප්‍රංශයේ ක්ලූනි හි සාන්ත ඔඩ්ලෝ විසිනි. නොබෝ කලකින් එය ප්‍රංශයේ කතෝලික රදගුරු පදවි පුරා ව්‍යාප්තව ගිය අතර , බටහිර කිතුනු සභාවල වැදගත් මංගල්‍යයක් ලෙසින් පිළිගැනීමට හා අනුස්මරණයට පාත්‍ර විය. කතෝලික සභාව පැවැත්විය යුතු මංගල්‍යක් ලෙසින් මෙය ප්‍රකාශයට පත් කෙරුනේ 14 වනසිවසේ දී ය.

මේ අනුව නොවැම්බර් මාසය මළවුන් සිහිකිරීම උදෙසා කිතුනු දහම අදහන්නන් පවා පෙළඹී ඇත්තේ 14 වන සියවසෙන් පසුව ය.

එහිදී ද එය ශොකජනක ඇදහීමක් ලෙස අර්ථ දක්වා නැත. ''ශුධිකාගිනිස්ථානය'' නම් පාපී බලවේග රැස්ව සිටින ලෝකයෙන් ඒ අය මුදවා දෙවියන් වහන්සේ වෙත පැමිණ වීම උදෙසා යාච්ඥා කිරීම විවිධ පුණ්‍ය ක්‍රියා සිදු කිරීම නොවැම්බර් මාසයේ දී සිදු කරයි. තවද එම දහ⁣මේ ම පැහැදිලි ඉගැන්වීම් අනුව මළවුන් ශුද්ධාත්ම වෙත පිවිසෙන්නේ ද මෙම නොවැම්බර් මාසයේ දී ⁣වේ. එනම් මෙලොව යහපත්ව වාසය කළ පිරිස් දෙවියන් වෙත පැමිණ වීමයි. එබැවින් ඒ අයගෙ මරණය ශෝකජනක මරණයක් නොවන්නේ ය.

එබැවින් දේව පණිවිඩය නිසිලෙස පිළිපදිමින් මියගිය කිසිවකු ගේ මෙලොව ඥාතීන් මළවුන්ගේ මාසයේ දී දුක්විය යුතු ද නැති බවද ඉන් අරුත්ගැන් වේ. එනම් නොවැම්බර් මාසය ( එය අතීතයේ සිට පැවති චාරිත්‍ර අනුව මළවුන් සිහිකිරීම නොවැම්බර් 02 පමණ ක් බව දක්වා ඇතත් වර්තමානයේ සමහර රටවල මෙය ඔක්තොමබර් 31 දිනයේද සමරණු ලබයි. ) හුදෙක් මළවුන් සිහි කිරීමට යොදා ගැනීමක් මිස මළවුන්ගේ අශුභ ක්‍රියාකාරකම් වල විහිදීමක් එයින් සංකේතවත් නොකරන බවපෙනෙයි..මේ අනුව කතෝලික ආගමික ඉගැන්වීම් තුළ පවා නොවැම්බර් මාසය අශුභ යැයි කියා නැත.

නැකත් සදහා ශුභම මාසය වෙසක් මාසය බව සමාජ සම්මතයක් ඇත. එහෙත් නැකත් සෑදීම සංවේදී කෝණයකින් බැලුවහොත් වෙසක් මාසය යනු බෞද්ධයන් ගේ අශුභ මාසයක් ලෙස ද අර්ථ දැක්වූවත් වරදක් නැත.

පන්සාලිස් වසක් ධර්ම දේශනාකර ලොවක් සැනසූ ගෞතම සම්බුදුරජාණන් වහන්හසේ පිරිනිවන් පෑම සිදවූ යේ ද එම වෙසක් මාසයේ දී ය. එහෙව් වෙසක් මස නැකත් සදහා ශුභ යැයි සම්මත කර ඇත්තේ බුදුසිරිතට අදාළ සිද්ධිදාමය නිසාම නොවන බව මේ අනුව පැහැදිලි වනවා ඇත. රවි හෙවත් සූර්‍යා නව නැකත් චක්‍රයකට පිවිස ආරම්භ කරන අලුත් ගමනනේ දී සදුට සප්තම වන හෙවත් පසළොස්වක පොහොයක් යෙදෙන පළ මු අවස්ථාව වෙසක් පොහොයයි. මේ අවස්ථාවේ දී සදු විසා නැකතේ ගමන් කරන බැවින් එයට ද වෙසක් මාසය යන නාමය යෙදුනා මිස ඉහත බුදුසිරිතට අදාළ සංවේදී කාරණා ඒ නියමයන්ට බලපා නැත.

දිනෙන් දින, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය කාලය ගෙවීයයි. ගෙවීම, ක්ෂයවීම අතර කාල ගණනය පෘථිවිය ඇතුලු භෞතික ග්‍රහ චලනයන් ට සාපේක්ෂව සිදුකිරීම අතීතයේ පටන් පැවති ක්‍රමවේදය යි. වෙනස් වන විශ්ව ග්‍රහ ස්වභාවයන්, චලනයන් සදහා යම් ඒකාකාරී ගණිත රටාවක් පවතින බව අතීත සෘෂිවරුන් නම් වූ තාරකා පර්යේෂකයන්, විද්‍යාඥයන් ද දැන සිටියේය..

ඉතා සියුම්ව ඒවා අධ්‍යයනය කල එම පඬිවරුන් ග්‍රහ ස්වභාවය මගින් ඒ ඒ අවස්ථාවන් වලදී ඇතිකරන ශක්ති ස්වරූපය හා ඒවා ඇතිවන ආකාරය, කාලරාමු ගණිතමය ආකාරයන් මැන බැලීමට යම් යම් සිද්ධාන්ත, ක්‍රමවේද ගොඩ නැගූවේය.. සිද්ධාන්ත , සංහිතා, හෝරා නම් වූ ජෝතිෂ ඉගැන්වීම් වලට අදාළ මූලික අංග 3 න් හෝරා නමින් කොටසක් වෙනම ඛණ්ඩනය කර ඇත්තේ මුහුර්ථ සදහා වෙනස් ම වූ ක්‍රමවේදයක් පවතින බැවින් ය.

හුදෙක් ඒ කිසිවකට සංවේදී කරණා, ගුප්තමය, භූතමය, පාරභෞතිකමය කාරණා අදාලකරගෙන නොමැත. ඒ සියල්ල 100% ක් විද්‍යාත්මක්, භෞතික සාදක උපයෝගීකොට ගොඩනැගී ඇත.

නොවැම්බර් මාසය නිරයන, සායන ජෝතිෂ ක්‍රම 2ට ම අනුව රවි ග්‍රහයා රාශි 2ක ගමන් කරයි. නිරයන ක්‍රමයේ දී රවි තුලා සහ වෘශ්චික රාශි වලත්, සායන ක්‍රමයේ දී රවි වෘශ්චික, ධනු රාශි වලත් ගමන් ගනී. තවද එහි දී රවි සා, විසා, අනුර යන නැකත් 3හි ද ගමන් ගන්නා අතර නොවැම්බර් මාසය අඩුම තරමෙන් ගණ්ඩාන්ත රාශියක ගමන් කරන්නේ ද සායන ක්‍රමය අනුව පමණි. එය ද නොවැම්බර් 02 හෝ මුල දී නොව නොවැම්බර් 21 ආසන්නයේ දී ය.

නිරයන ක්‍රමය අනුව රවි තුලා රාශියේ නීච වන නමුත් එය ද මුල් දින 15 තුළ පමණි. එහෙත් මළවුන්ගේ මාසය නම් සංකල්පය බටහිරින් ආරාම්භ වී පෙරදිග දෙසට පැමිණ ඇති බැවින් නිරයන ජෝතිෂ සිද්ධාන්ත මත තීරණය වූ වාය යන්න පිළිගත නොහැක. ඊළගට ගොඩනැගිය හැකි තර්කය නම් සායන බටහිර ජෝතිෂය අනුව රවි වෘශ්චික හෙවත් කීට රාශි ගතවීම මේ සදහා හේතු සාධක ලෙස දැක්වී ම විය හැකි වුවත් සායන ක්‍රමය අනුවම රවි කීට රාශි ගත වන්නේ ඔක්තොම්බර් 21 දින සිටයි. එසේ නම් එතැන් සිට මළවුන්ගේ මාසය තීරණය විය යුතුය.

චන්ද්‍ර මාස ක්‍රමයේ දී ද නොවැම්බර් අග කාලය උදුවප් මාසයේ ආරම්භක කාලයයි. එනම් කිතුණු දහමට අදාලව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ඒ අයගේ ප්‍රීතිමත්ම උත්සව කාලයයි. එයට පෙර එනම් නොවැමබර් මුල ඉල් මාසය පවතින නමුදු ඒ සදහා වර්ථමාන ග්‍රෙගරියන් කැලැන්ඩරයේ දින ගැලපීම සමපාත නොවේ. එබැවින් භාවිත කැලැන්ඩරයට අදාළව චන්ද්‍ර මාසයේ උදාව හෝ නිශ්චිත දින වකවානු නියම කළ නොහැකිය..

මේ අනුව ආගමික දෘෂ්ටියෙන් ද ජෝතිෂමය දෘෂ්ටියෙන් ද අසුබ තත්ත්වයක් නොපෙන්වන නොවැම්බර් මාසය සුබ කටයුතු ආරම්භය සදහා යොදා ගැනීමෙන් කිසිදු බාධාවක් ඇති නොකරන බව පැවසිය යුතුය. විශේෂයෙන් ජෝතිෂ විෂයට කිසිම් අදාළත්වයක් නොමැති මෙවැනි වැරදි මත හේතුවෙන් නිකරුනේ තම කාර්‍යයන් කල් දැමීම හෝ අසුබ මානසිකත්වය ඇතිකර ගැනීම නොකළ යුත්තකි. මේ ශාස්ත්‍ර මගින් මිනිසා ගේ දියුණුවට ගත හැකි පල ප්‍රයෝජන කොතෙකුත් ඇතත් මෙවැනි මනෝවිකාරික සිතුවිලි මගින් නම් සිදුවන්නේ අයහපතක් ම ය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.