බට­හිර දිසාව අසුබ නැත! | Page 2 | සිළුමිණ

බට­හිර දිසාව අසුබ නැත!

අද සමාජය පිළිබඳ ව සලකා බලන කල බටහිර දිශාව හෙවත් පශ්චිම දිශාව පිළිබඳ කතාකරනවිට අමුතු බියක් ඇති වී ඇති බවක් පෙනේ.

ඉර උදාවන දිශාව ලෙස නැගෙනහිර දිශාව ඉතා සුබ දිශාවක් ලෙස බොහෝ අය සලකන අතර ඉර බැස යන දිශාව ලෙස බටහිර දිශාව අසුබත්වයක් නියෝජනය කරන බව බොහෝ අයගේ විශ්වාසයයි. මේ ඒ පිළිබඳ ව කෙරෙන විශ්ලේෂණාත්මක විග්‍රහයකි.

සමාජ මතය - සූර්යයා උදාවන්නේ යම් සේ ද එලෙසම උදාවීම, නැගීම, ඉහළ යාම වැනි සුබ කටයුතු වලට පෙරදිග හෙවත් නැගෙනහිර දිශාව බොහෝ අය සුදුසු සේ සලකන අතර නැගෙනහිර බලා කටයුතු කිරීම ඉතා සුබ බව ද සලකනු ලබයි.

බැසයාම, දුර්වලවීම, පහතට යාම, පහත වැටීම සූර්යයා බැස යන ලෙසින්ම නියෝජනය වන බව ගැමි වහරේ මතයක් ඇත.

මරණයෙන් පසු හිස බටහිරට - එනිසාම ජීවිතය බැස යාමෙන් අවසන් වීමෙන් අණතුරුව හිස බටහිරට දැමිය යුතුය. යන මතයක් ද සමාජයේ පවතී. නමුත් මෙය හුදෙක් සමාජමය මතයක්ම ය. මෙහි හරයක් නොමැති බව කිව යුතු ය. විද්‍යාත්මක ව සලකා බලන කළ මරණයේ දී හිස දැමිය යුත්තේ බටහිරට නොව උතුරු දිශාවට ය. එවිට කිසිම අපහසුතාවයකින් තොර ව නිදහසේ මරණයට පත්විය හැකි ය. එයට හේතුව චුම්භක බලරේඛාවල උතුරට ඇද ගැනීමේ ශක්තිය යි.

සමාන්‍යයෙන් පෘථිවි චුම්භක බලරේඛා ක්‍රියාත්මක වීමේ දී උතුරු දෙසට යම් ඇදගැනීමේ ශක්තියක් පවතී. හෙළ වෛද්‍ය ශාස්ත්‍රයෙහි නොයෙක් ඖෂධ වර්ග ගැනීමේ දී ගසෙහි උතුරු පැත්තේ පොතු, මල්, කොළ ගැනීමට නියම කොට ඇත්තේ එනිසාවෙනි. පෘථිවි චුම්භක බල රේඛා බලයන් නිසා උතුරට ඇදීයන යම් ශක්ති ස්වභාවයන් ගසෙහි උතුරු පැත්තේ රැුඳී තිබීම එයට හේතුවයි. පෘථිවියෙහි පවතින මෙම උතුරු දෙසට සූක්ෂ්ම ශක්ති ඇදගැනීමේ ස්වභාවය නිසා නිදා ගැනීමේ දී උතුරු දෙසට දීර්ඝ කාලීනව හිස දැමීම මගින් ශක්තීන් හානි වී ස්නායු රෝග පවා ඇතිවීමට ඉඩ ඇති අතර එය වාස්තු විද්‍යාව තුළ ද අසුබ ක්‍රියාවක් බව පැහැදිලිව සටහන් කර ඇත.

අප විශ්ව ශක්තිය සමග සම්බන්ධ වීම හිස් මුදුන හරහා සිදුවන අතර ඉංදියානු යෝග විද්‍යාව අනුව කුණ්ඩලීනී ශක්තිය ද මේ ඔස්සේ ක‍්‍රියාත්මක වනු ඇත. එනිසා හිස් මුදුන උතුරු දෙසට යොමු කිරීම මගින් මෙම ශක්ති විවරය ඔස්සේ අපගේ ශක්තීන් ඒ දෙසට ගලායනු ඇත. එනිසා මරණ මොහොතේ දී උතුරට හිස දැමීම මගින් බාධාවකින් තොරව ශක්තිය පිටවී යමින් සුව පහසු මරණයක් උදා කරනවා ඇත.

එහෙත් කිසිම විටෙක බටහිර දිශාවට හිස දැමීම අසුබ බව වාස්තු ශාස්ත‍්‍රය තුළ ප්‍රකාශකොට නැත. විශේෂයෙන් වයස අවුරුදු 50 න් පසු බටහිරට හිස දැමීම සුදුසු බව වාස්තු ශාස්ත්‍රය තුළ දක්වා ඇත. බටහිරට හිස දැමීමෙන් ප්‍රබල සෘජු සිතිවිලි ඇතිවන බව ශාස්ත්‍රය තුළ දැකිවෙයි.

විද්‍යාත්මකව සලක බලන කල ද බටහිරට හිස දැමීම වරදක් නැත. එහිදී ශරීය හරහා චුම්භක බල ක්‍රියාත්මක වීම නිසා ශරීරයේ නැවත ආරෝපණය වීමත් ශක්ති ගැන්වීමත් සිදුවනු ඇත.

බටහිර දිශාවට අයත් ශක්තීන් පිළිබඳව සලකා බලතහොත් මෙහි සූක්‍ෂම ජල ශක්තියක් පවතිනු ඇත. එනිසාම බටහිරට ළිඳ සුදුසු යැයි බොහෝ වාස්තු පොත්වල දක්නට ඇත. නමුත් බටහිර දිශාවෙහි බර අඩුවීම හෙවත් සැහැල්ලූ වීමද ගැඹුරු වීම ද නුසුදුසු නිසා බටහිරට ළිඳ තැබීම කිසිසේත් අනුමත කළ නොහැක.

මා සිතන ආකාරයට බොහෝ අය බටහිර දිශාවට ළිඳ අනුමත කොට ඇත්තේ සූක්ෂ්ම ජල අවස්ථාව සලකා විය යුතු ය.

නිරිත දිශාව පඨවිය හෙවත් ඝන අවස්ථාව වන අතර වයඹ දිශාව වායු අවස්ථාව දරයි නිරිතේ සිට වයඹ දක්වා අග්නික වැඩීමක් පවතින අතර මෙහි මධ්‍ය අවස්ථාව ලෙස බටහිර සූක්ෂම ජල ස්වභාවයක් පවතිනු ඇත. වාස්තු විද්‍යාව අනුව ඉහළ ජල ටැංකි බටහිර සහ නිරිත අතරට යෙදිය යුතු බවට ප්‍රවීණ වාස්තු විද්‍යාඥයන් පැවසීමට කරුණ එය ය.

නිරිතෙන් නියෝජනය වන පඨවි ධාතුවට අයත් ටැංකියෙහි ඝන පඨවි ස්වභාවය සහ අධික බර නිසා නිරිත දෙසට ද සූක්ෂම ජල ස්වභාවය නිසා බටහිරට ද එය සුදුසු ය. එම නිසා මෙම දිශා දෙක අතරට ඉහළ ජල ටැංකි තැබීම සුදුසු යැයි දක්වනු ඇත.

බටහිර දොර දැමීම පිළිබඳව නොයෙක් සමාජමය මතයන් පවතින අතර බොහෝ දෙනෙකු දරන අදහස නම් එය ඉතා නුසුදුසු බවයි. සාමාන්‍යයෙන් නිවසකට අන්තරීක්ෂ කිරණ ශක්ති ගලාඒම ඊශාන දිශාවෙන් සිදුවන අතර එනිසාම ඊශාන දිශාවේ වැඩි කවුලූ ප‍්‍රමාණයක් තිබීම ඉතා සුදුසු වන්නේ එම නිසා ය. නිරිත දිශාවේ අඩු කවුලූ ප‍්‍රමාණයක් රඳවා ගනිමින් එසේ නිවසට එන අන්තරීක්ෂ කිරණ ශක්තීන් නිවසේ රඳවා ගැනීම සඳහා නිවසේ සැලසුම සකස්විය යුතු ය. ඊශාන දිශාවට ප්‍රධාන ලෙස ආසන්නව ඇති නැගෙනහිර දිශාවත් උතුරු දිශාවත් ප්‍රධාන දොර තැබීම සඳහා වඩාත් සුදුසු වන්නේ එම නිසා ය. එයින් ද නැගෙනහිර දිශාව ඉතා සුබය. එයට හේතුව ද්වාර චක්‍රය අනුව ඊශාන දිශාවට ඉතා ආසන්නව දොර යෙදීමට හැකියාව ලැබීම ය. දකුණ සහ බටහිර නිරිතට ආසන්න දිශා ද්විත්වය නිසා නැගෙනහිරට දොර දැමීම සහ උතුරට දොර දැමීම තරම් සුබදායක නැත. එහි ද ද්වාර චක්‍රයන් පිහිටුවා බලන කල නිරිතට ආසන්නම ලෙස ද්වාරය බටහිරට දොර තැබීමේ දී පිහිටන අතර එය සාමාන්‍ය තත්ත්ව යටතේ අසුබදායක බවක් ඇත. එය සාමාන්‍යයෙන් කියන බටහිර දිශාව අසුබ යැයි සලකා ඇතිවූ සිද්ධාන්තයක් නොවේ.

නමුත් බටහිර දිශාවට දොර තැබිය යුතුම නම් එහි ශක්තිගලනය හොඳින් අධ්‍යයනය කර ඊශාන දිශාව සහ නිරිත දිශාව ගැන හොඳ අවධානයක් සිදුකර ශක්ති ගලනයට බාධා නොවන අයුරින් ඉතිරි පිහිටීම් ආදිය සියල්ල සකස්කර දක්ෂ වාස්තු ශිල්පියාට කටයුතු කළ හැකිය. 

 

Comments