මගේ චිත්‍ර කතාවල පාඨකයන් ජීවත්වුණා | Page 2 | සිළුමිණ

මගේ චිත්‍ර කතාවල පාඨකයන් ජීවත්වුණා

චිත්‍රකතා පුවත්පත මෙරට ස්ථාන ගත වෙන්නේ නවසීය හැත්තෑව දශකයේ මුල් භාගයේදී ය. ඒ ලේක්හවුස් ආයතනයෙන් ‘සතුට’ පත්‍රය නිකුත් කිරීමත් සමඟය.ඉත‍ාමත් කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයේ ඉහළම තලයට පැමිණි චිත්‍රකතා පත්‍රය අද ස්ථාන ගත වී ඇත්තේ කොතනදැයි වෙනම විමසා බැලිය යුත්තකි. එනමුත් එදා -මෙදා තුර චිත්‍රකතාවේ ජනප්‍රියතම පෙම් යුවළ විමසුවොත් ඒ නිරායාශයෙන් එන පිළිතුර කැලුම් -දේදුනු ය. මෙවන් සදාදරණීය මතකයන් රැසක් ශ්‍රී ලංකේය ජනමනසේ තැම්පත් කළ ඒ සොඳුරු සිත්තරාට අපි ‘පැහැසර හමුව’ට ආරාධනය කලෙමු. ඔව්හු නම් බලංගොඩ සරත් මධුවෝය.

 උපන් දිනය ?

1949 මැයි 18

 උපන් ගම ?

බලන්ගොඩ!

 උප්පැන්නයේ නම ?

දොරවෙල බද්දලා‍ය සරත් බැද්දගේ

 දෙමව්පියන් ?

අර්. බැද්දගේ පියා, මව දිලිනෝනා.

මුලින්ම අකුරු කළේ ?

බලන්ගොඩ බුද්ධජයන්ති මහ විදුහල

 පසුව ?

බලන්ගොඩ මහ විදුහල

 පාසල් අධ්‍යාපනය එතනින් නිමා කරනවා ?

නෑ! ඒ කාලේ අටවැනි ශ්‍රේණියෙන් ශිෂ්‍යත්ව විභාගයක් තිබුණා. එය සමත් වෙලා දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළු වුණා.

 ඔබ පාසල් යන අවධියේ කුමන චරිතයක්ද ?

දඩබ්බර ගතිත් තිබුණා.

 පාසල් අවධියේ පටන් චිත්‍ර ඇදීමට හපනෙක් ?

හපනෙක්ද කියන්න දන්නේ නෑ: නමුත් මා පාසල් කාලයේ පටන් ඇදිම් කළා.

 ඒ කියන්නේ ?

කොටින්ම කියනවා නම් මගේ පළමු චිත්‍ර කතාව ජාතික පුවත්පතක පළ වෙන්නෙත් මා උසස් පෙළ සිසුවකු සිටියදී

 ඒ කොහොමද ?

බෙනට් කියන මිත්‍රයකු මාර්ගයෙන් ටෛයිම්ස් ආයතනයේ ධර්ම ශ්‍රී කල්දේර‍ා මහතා හඳුනාගන්න ලැබෙනවා කල්දේරා මහතා ලිව්ව කතාවට මා ඇන්දා

 මොකක්ද නම ?

‘රාජ උදහස’

 ලංකාදීප පත්‍රයේ පළවුණේ ?

ඔව් ! ඒ සඳහා මට රුපියල් තිහක මුදලක් ලැබුණා !

 පසුව ?

ලේක්හවුස් ආයතනයෙන් පටන් ගත් ලංකාවේ පළමු චිත්‍රකතා පත්‍රය වු ‘සතුට’ ට සම්බන්ධ වෙනවා.

 එහි ඇදපු චිත්‍ර කතාව ?

‘නිව්රෝ’ කියලා වීර කතාවක්

 මා කලින් ඇසිය යුතු ප්‍රශ්නයක් දැනුයි අසන්න මතක් වු‍ණේ කවුද ඔබේ චිත්‍ර ගුරුතුමා ?

මට චිත්‍ර ගුරුතුමෙකු සි‍ටියේ නෑ !

 උපතින් ගෙනා කුසලතාවක් ?

ඔබ හරියටම හරි !ඔබ දන්නේ මා චිත්‍ර ශිල්පියෙක් විදියට පමණයි

 ඔව් !

නෑ ! මා මුර්ති ශිල්පයත් කරනවා !

ඒ සඳහාත් මට කිසිම ගුරුවරයකු සිටියේ නෑ !

 ඔබ සතුට පත්‍රයෙන් ඉවත් වෙන්නේ ?

සතුට අතිශයින්ම ජනප්‍රිය වුණා පි‍ටපත් ලක්ෂයක් පමණ අලෙවි වුණා.එයි කර්තෘ බන්දුල සමරසිංහ ඉවත්වීමෙන් පසු අපත් ඔහු සමඟ ඉවත් වුණා.

 එතකොට ඔබට රැකියාවක් ?

ඒ වෙනවිට මා රජයේ පාසල් ගුරුවරයෙක්

ඒ කොහෙද පාසල ?

ඉඹුල්පේ ර/ශ.රිපුත්‍ර මහ විදුහලට මගේ මුල්ම පත්වීම ලැබුණා. ඒ 1973 සැප්තැම්බර් 03

 ඔබ චිත්‍ර ගුරුවරයෙක් ?

නෑ ! මා විද්‍යාගුරුවරයෙක් එතකොට ගුරු වැටුප රුපියල් තුන්සීයයි !

 සතු‍ට පත්‍රයෙන් පසුව ?

බන්දුල මුල් වෙලා සිනෙත්‍ර කියන ආයතනයක් පිහිටුවලා අපි චිත්‍රකතා පොත් ගැහුවා.

 ඔබ ‘සිත්තර’ට එන්නේ !

කැමිලස් පෙරේරා මගින් ආ ආරධනයක් අනුවයි මා එයට සම්බන්ධ වෙන්නේ. සිත්තරේ කර්තෘ වු‍ණේ චිත්තන ජයසේනයි.

 එහිදි ඔබ ජනප්‍රියත්වයේ ඉහළම තලයට පැමිණියා ?

ඔව් ! ඉතිං ඊට පස්සේ ආදර කතාව හා යුනිකො වීර කතාව නිසා.

 ඔබ ඉතිං ඊට පස්සේ කතාවේ කැලුම් දේදුනු රූප නිර්මාණය කරන්නේ ජීවමාන චරිත ඇසුරෙන්ද ?

කැලුම්ගේ රූපය නම් මා සිතේ ඇදුණු එකක්. නමුත් දේදුනුගේ රූපය ජනප්‍රිය නිළියක් වු කාන්ති ගුණතුංග ඇසුරෙන් සිතුවම් කළා.

 මේ වෙන විට ඔබ පාසල් ගුරුවරයෙක් ?

ඔව් ! මා රත්නපුරේ ශාරිපුත්‍ර විද්‍යාලයේ සේවය කරමින් සිටියදී යි කැලුම් දේදුනු නිර්මාණය කරන්නේ ! මේ නිසා මට ප්‍රශ්නයක් ආවා.

 ඒ මොනවද ඒ ?

එකට සිටි පිරිස් අධ්‍යපන අමාත්‍යාංශයට පෙත්සම් ගැහැව.

 ඉතිං ඊට පස්සේ ?

මා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිඛිත අවසරයක් අරගෙන ඇන්දා

 ශාරිපුත්‍ර විදුහලෙන් පසුව ?

බෙලිහුල්ඔය ගලගම විද්‍යාලයට මාරුවීමක් ලැබුණා.

 එහි ඔබේ අනාගත සහකාරියත් සි‍ටියා ?

ඇය එතකොට එම පාසලේ උසස් පෙළ සිසුවියක්ව සිටියා නමුත් මා ඇයට කවදාවත් උගන්වලා නෑ.

 ඒ කතාව දැනගන්න කැමතියි ?

අප මේ කතාව කිසිම දිනයක පුවත්පතකට කියලා නෑ !

 කරුණාකර සිළුමිණ පාඨකයින්ගේ පැහැසර හමුවට කියන්න ?

ඇය දුටු මුල් දිනයේ මා සිත් ගත්තත් මා කිසිම දිනක පාසලේ දී ඒ බව කිව්වේ නෑ. කතා කරලවත් උගන්නලා වත් නෑ !

 එහෙනම් ?

දෛවය හරිම පුදුමයි !

 ඒ කියන්නේ ?

මා ගලගම විදුහලෙන් ගුරු වෘත්තියට සමු දී කොළඹ ඇවිත් දර්ශන ප්‍රකාශන ආයතනයේ ‘සිතුවම්’ කියන පත්‍රයට සම්බන්ධ වෙනවා රුපියල් පන්දහසක වැටුපකට !

 පාසලේ සි‍ටි සිතගත් යුවතිය හමුවන්නේ ?

මා මරදානේ පිහිටි ප්‍රකාශන අයතනයට දිනක් මෝටර් රථය පදව‍ගෙන එන විට ඇය පදික වේදික‍ාව දිගේ තවත් යෙහෙළියක් සමඟ බොරැල්ලෙ ඇවිද යනවා දුටුවා.

 ඔබ මොකද කළේ ?

මා වහාම මෝටර් රථය හරවාගෙන ඇවිත් ඇය සමඟ කතා කළා. ඇය ජාතික රෝහලේ භෞතචිකිස්ස පාඨමාලාව හැදැරීමට තේරිලයි කොළඹ ඇවිත් තිබුණෙ.

 පසුව ?

වැඩිකල් හිටියේ නෑ අපි කසාද බැන්දා ඒ 1985 ජනවාරි

 පාඨමාලාව ?

එය අතහැර දැමුවා !ඇයගේ ගෙදරින් ආ විරෝධය විවාහය ඉක්මන් වීමට බලපෑවා !

 එතකොට ඔ‍ෙබ් ආර්ථිකය ?

ඉතාමත් හොඳයි මේ කාලයේදී මා ආදායම් බදු පවා ගෙවනවා !

 රැකියා ආයතනය වෙනස් කරනවා !

ඔව් ! මා ඉන්පසුව හිතවත පත්‍රයට සම්බන්ධ වෙනවා පසුව මා මුද්‍රණ යන්ත්‍ර අරගෙන මගේම පත්‍ර ගැහුවා ඒ ‘සදාවාසනා’හා ‘චුටි’ කියා ළමා පත්‍රයක්

 ඔබගේම වු එම ව්‍යාපාරය ආර්ථික ජයග්‍රහණ ලබනවා ?

නෑ ! එය අසාර්ථක වෙනවා මුද්‍රණ යන්ත්‍ර විකුණා දමන්න සිදුවුණා

 ඉන් පසුව ?

නැවත කැමිලස් සමඟ ‘සත්සිරි’ පුවත්පතට සම්බන්ධ වෙනවා.

 ඔබ අවසන් වශයෙන් සිටි චිත්‍රකතා පත්‍රයේ කලාප හැටක් පමණ නිකුත් වී නතර වෙනවා ?

ඔව් ! එය මගේ ක්‍රමයට කරගෙන යාමට අවකාශ තිබුණේ නෑ !

 පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකක් දැන ගන්නට කැමතියි ?

ඓශ්චර්යකින් මුණ ගැසුණු කියා මා ඔබට කිව්ව මගේ බිරිඳ කාන්ති ලතා සේමපාල ඇය බෙලිහුල් ඔය -ගලගම.

 දරුවන් ?

දුවයි !පුතයි, පුතා හිමේසාන් සහකාර ඉංජිනේර‍ැවෙක් ලෙස කටයුතු කරනවා. ඔහු මීට මාස දෙකකට කලින් විවාහ වුණා.ඒ දුවත් අපි ළඟ සිටිනවා.

 දුව ?

අමාදර්ශි ! ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා !

 අද චිත්‍රකතාව ගැන යමක් කියන්න ?

හැඟිම් දැනවීම අඩුයි කියා. මට සිතෙනවා එදා චිත්‍ර කතා බලලා ජීවිත අත්දැකීම් ලබපු උදවිය අද සමාජයේ උසස් තැන්වල සිටිනවා.

 ඇයි හැඟිම් දැනවීම අඩුයි කිව්වේ ?

අපි එදා චිත්‍රපටයෙන් ගීතයෙන් හා සොබාදහම සමඟ ජීවත්වීමෙන් විශාල ආස්වාදයක් ලැබුවා ඒ ආස්වාදය තමයි මගේ සිතුවම් හා භාෂා රටාවට බලපෑවේ.

 අද ගීතයේ - චිත්‍රපටයේ සුන්දරත්වයක් නැතය කියාද ඔබ කියන්නේ ?

ඔව් ! කලාවේ සෑම අංගයක්ම පිරිහිලා මානව ගුණධර්ම උද්දීපනය වෙන්නේ නෑ.

 හේතුව ?

අද සන්නිවේදන මාධ්‍ය වැඩියි තරඟකාරිත්වය තුළ කොහෙද මානව ගුණධර්ම රකින්නේ.

 ඔබ කියන්නේ අපේ රටේ කලාව පිරිහිලා ?

ඔව් ! පිරිහීම පටන්ගෙන තිබෙන්නේ ! ඒ පිරිහිම තුළ මිනිස් හදවත් දරුණු වෙනවා ! එදා මිනිස් හදවත්වලට හා ප්‍රඥාව දියුණු කිරීමට ගීතය බලපෑවා අද ගීතය කකුල් දෙකටයි. 

Comments