මිය­න්මා­රය බංග්ල­දේ­ශය සර­ණ­ගා­ත­යන් හුව­මාරු කර ගනීද? | Page 2 | සිළුමිණ

මිය­න්මා­රය බංග්ල­දේ­ශය සර­ණ­ගා­ත­යන් හුව­මාරු කර ගනීද?

මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ගිය ලක්ෂ හයකට ආසන්න සරණාගතයන් යළි ගෙන්වා ගැනීම සම්බන්ධව දෙරට අතර සාකච්ඡා ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතව තිබේ. එහෙත් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතිවරයා පවසා ඇත්තේ බංග්ලාදේශයට පලා ගිය සරණාගතයන් ඉක්මනින්ම සියරට කැඳවීමට මියන්මාරය කටයුතු කළ යුතු බවයි.

මේ ප්‍රකාශය සම්බන්ධව එතරම් සතුටට පත් නොවූ මියන්මාරය ප්‍රකාශ කර ඇත්තේ මේ සරණාගත හුවමාරුව සිදුවනවා නම් එය බංග්ලාදේශය සහ මියන්මාරය අතර සාකච්ඡාවලින් පසුව දෙරටේම කැමැත්ත මත සිදුවිය යුතු බවයි. ඒ හැර වෙනත් කිසිම සංවිධානයක හෝ කිසිම රටක බලපෑම් එ් වෙනුවෙන් එල්ල නොවිය යුතු බව මියන්මාරයේ අදහස වී තිබේ.

මේ සම්බන්ධව තම මතය ප්‍රකාශ කළ මියන්මාර ජනාධිපතිනි අවුන්සාන් සුකී මහත්මිය පවසා ඇත්තේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතිවරයා නිකුත් කර ඇති නිවේදනය දෙරට අතර ඇතිවිමට නියමිත සාකච්ඡාවන්ට ප්‍රබල හානියක් බවයි.

එහෙත් ආරක්ෂක කවුන්සල සභාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ප්‍රසාදය ප්‍රකාශයට පත් වී තිබේ. බංග්ලාදේශ විදේශ ඇමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශය අගය කරන බව පවසා තිබේ. ඉදිරි දිනවලදී බංග්ලාදේශ විදේශ ඇමැතිවරයා මියන්මාරයේ සංචාරය කිරීමට නියමිත අතර එහිදී සරණාගතයන් යළි මියන්මාරයට යැවීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇතිවීමට නියමිතය.

මේ අතර මියන්මාර ජනාධිපතිනිය පසුගියදා රොහින්ගයා මුස්ලිම් ජනතාව වාසය කරන අර්බූදයට හේතු වූ රකිනේ ප්‍රාන්තයේ සංචාරයක නිරත වූවාය. ඇය මේ සංචාරයේ නිරත වී ඇත්තේ කිසිම දැනුම් දීමකින් තොරවය. උතුරු රකිනේ ප්‍රදේශයේ සංචාරය කළ ඇය එහි සිටි රොහින්ගයා මුස්ලිම් ජනතාව හමුවූ බවට තොරතුරු වාර්තා වුවද මියන්මාර හමුදාව විසින් ගිනිබත් කරන ලද නිවාස සහිත ප්‍රදේශයේ සංචාරය කළ බවට නම් කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැත. එමෙන්ම ඇයගේ මේ සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යයට නිකුත් වී ඇති ඡායාරූප සංඛ්‍යාවද ඉතා අවමය. ඉදිරියේදී බංග්ලාදේශය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලින් පසු දෙරට කුමන තීරණයකට එළඹේදැයි අවිනිශ්චිතය.


අමරිකාවට අඛණ්ඩ ත්‍රස්ත ප්‍රහාර

නොකඩවා එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් අැමරිකා ජනතාවට නිරන්තර ත්‍රස්ත භීතියකින් දිවි ගෙවීමට සිදු වී තිබේ. කුමන ප්‍රාන්තයක කොයි මොහොතක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවේදැයි අමෙරිකානු සාමාන්‍ය ජනතාවගේ ලොකුම බය බවට පත්ව තිබේ.

මේ වන විට ඇමරිකානු ආරක්ෂක අංශ හඳුුනාගෙන ඇත්තේ ස්ලීපර්ස් හෙවත් අක්‍රිය ඔත්තුකරුවන් ලෙස මෙතෙක් කල් සාමාන්‍ය මිනිසුන් අතර දිවි ගෙවමින් සිටි මුස්ලිම් මාරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් වරින් වර ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. මේ මිනිසුන් වසර ගණන් අමෙරිකාවේ ඉතාම සාමාන්‍ය අහිංසක මිනිසුන් ලෙස දිවි ගෙවූවන් බැවින් ත්‍රස්තවාදීන් හඳුනාගැනීමේ ප්‍රබල අභියෝගයකට අමෙරිකානු ආරක්ෂක අංශ මුහුණ දී තිබේ.

මේ අන්දමින් සිදු වී ඇති ආසන්නතම ප්‍රහාර සම්බන්ධව සැලකිල්ල යොමු කළ හොත් පසුගිය වසරේ අමෙරිකාවේ තැනින් තැන එල්ල වී ඇති සම්පූර්ණ ත්‍රස්තවාදී ප්‍රහාර සංඛ්‍යාව 13කි. එම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 65ක් ලෙස ගණන් බලා තිබේ. 2017 වසරේදී මේ දක්වා ප්‍රහාර හතක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව හැත්තෑ හයකි.

මේ වසරේ ජනවාරි මාසයේදී ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දී තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් පස් දෙනෙක් මිය ගිය අතර ඉන් පසු තවත් එවැනිම සිදුවීම් විවිධ ප්‍රාන්තවලින් වාර්තා විය. කොලරාඩෝ, ටෙනසී, වර්ජිනියා, නෙවාඩා වැනි වැඩි කලබලකාරී නොවන සාමාන්‍ය ජනජීවිතයක් සහිත ප්‍රාන්තවලද ත්‍රස්ත ප්‍රහාර එල්ල වීම වැදගත් කරුණක් වූයේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය කෙසේ වේදැයි අනුමාන කිරීමේ සම්භාවිතාව ඒ හේතුවෙන් අවම වු නිසාය.

පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස්හිදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් පනස් නවයක් මිය ගිය අතර ඝාතකයා සහ මුස්ලිම් අන්තවාදය අතර සම්බන්ධතාවක් නොවූ බව හෙළි විය. එහෙත් ඒ හේතුවෙන් අමෙරිකානු ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වූ තර්ජනය වැඩි වූවා මිස අඩු වූයේ නැත. සැප්තැම්බර් එකොළහ ප්‍රහාරයෙන් පසු නිව්යෝර්ක් නගරයට එල්ල වූ ප්‍රබලම ත්‍රස්ත ප්‍රහාරය පසුගිය ඔක්තෝබර් තිස් එක් වැනිදා වාර්තා වූ අතර ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් සමස්ත අමෙරිකාවම කම්පාවට පත් විය. මේ සිදුවීම් සියල්ලම තමන්ගේ මතය තහවුරු කිරීමට යොදා ගත් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ ත්‍රස්ත ප්‍රහාර දඩමීමා කර ගනිමින් විදේශිකයන්ට අමෙරිකානු පුරවැසිභාවය ලබා දෙන ග්‍රීන්කාඩ් ලොතරැයිය තහනම් කිරීම සම්බන්ධව තම අවධානය යොමු කරන බවට ප්‍රකාශයක්ද නිකුත් කර සිටියේය. එහෙත් එසේ කිරීමෙන් අමෙරිකාවේ ත්‍රස්ත ප්‍රහාරවල අඩුවක් සිදුවේද හෝ ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට හැකිවේද යන්න නම් නිශ්චිතව පැවසීමට නොහැකිය. ඒ කෙසේ වුවද නොවනතින ප්‍රහාර මාලාවක් සමඟ අමෙරිකානු සාමාන්‍ය ජන ජීවිතය මේ වන විට නිරන්තර ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වන සිරියාවේ, ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය ජන ජීවිතයට සමාන වෙමින් යන බව නම් පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. මේ රටවලට මෙවන් ඉරණමක් අත් කර දුන්නේ කවුදැයි අමුතුවන් සිහිපත් කර දිය යුතු නැත.

 

 

Comments