සාහිත්‍යය එපා; කුඹු­රට බහින්න | සිළුමිණ

සාහිත්‍යය එපා; කුඹු­රට බහින්න

1965 - 70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවට පක්ෂ කීපයක් සම්බන්ධව සිටියේය. එම ආණ්ඩුව හඳුන්වන ලද්දේ ජාතික ආණ්ඩුව වශයෙනි. ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන් සහ මන්ත්‍රිවරුන් විටින් විට පළ කළ විවිධ අදහස් නිසා ආණ්ඩුව අසීරුතාවයට පත්වූ අවස්ථා ද තිබුණි.

ජාතික ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති පුටුව හිමිව තිබුණේ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාටය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඊරියගොල්ල මහතා දේවතාපය මනුතාපය වැනි පරිවර්තන කෘතීන් සිංහල සාහිත්‍යයට එක් කළ දක්ෂ පරිවර්තකයෙකි.

නිදහස්ව අදහස් පළ කළ ඔහු මහරගම ගුරු විද්‍යාලයේ පැවැති උත්සවවලට නිතර පැමිණියේය. වරක් එහි පැවැති රැස්වීමකට සහභාගි වූ ඊරියගොල්ල මහතා කාව්‍යශේඛරය ගුත්තිලය වැනි සාහිත්‍ය කෘතින් කටපාඩම් කිරීමෙන් කිසිදු යහපතක් වන්නේ නැතැයි ද, ඒ වෙනුවට සිසුන් අත්කම් වැඩට යොමු විය යුතු යැයිද, කුඹුරට බැස ගොවිතැන් කිරීඹට පුරුදු විය යුතු යැයි ද කීය. එසේ ම මේ අධ්‍යාපන ක්‍රමය වහා වෙනස් කළ යුතු යැයි ද ඊරියගොල්ල මහතා ප්‍රකාශ කෙළේය.

ඊරියගොල්ල මහතාගේ ප්‍රකාශ කැපී පෙනෙන ලෙස පළ කිරීමට එකල පුවත්පත් ද සැදී පැහැදී සිටියේය. ඉහත කී ප්‍රකාශයට පළවීම සමඟ බලවත් විවේචන ද එල්ල වන්නට පටන් ගත්තේය. මේ ප්‍රකාශයන්ට පිළිතුරුදීම වෙනුවට ඊරියගොල්ල මහතා කෙළේ පාසල් සිසු සිසුවියන් කුඹුරට බැස්සවීමයි. සිසුහු ගොයම් පැළ සිටුවීමට ද, අස්වනු කැපීමට ද සහභාගි වූහ. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ද එම උත්සව සඳහා සහභාගිවීම නිසා සිසුන් කුඹුරට බැස්සවීම ජාතික ව්‍යාපාරයක් බවට පත්වී, ජාතික රජයේ ආහාර නිෂ්පාදන ව්‍යාපාරයේ අංගයක් බවට ද පත්විය.

තවත් රැස්වීමක දී ඊරියගොල්ල මහතා ප්‍රකාශ කෙළේ මිනිසුන් මියගිය විට නිවන් සැප ලැබේවා යැයි සඳහන් දැන්වීම් ගැසීම නොකළ යුතු බවයි. ඒ වෙනුවට කළ යුත්තේ මිනිසුන් ජීවත්ව සිටිනවිට ම නිවන් සැප ලැබේවා යන්න පසක් කළ යුතු බවයි. සමහර මිනිසුන් තමන් නොමැරෙන බව සිතමින් කටයුතු කරන බවද ඔවුන්ගේ නළලේ නිවන් සැප ලැබේවා යන්න කෙටිය යුතුව ඇතැයි ද ඔහු කීය.

එසේම ඇතැම් ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා පවත්වා මෛත්‍රි බුදුන් දැක නිවන් දැකීම දක්වා නිවන කල් තබන බව ද තවත් රැස්වීමක දී ඊරියගොල්ල මහතා ප්‍රකාශ කෙළේය. මේ ආත්ම භවයේ දීම නිවන් දැකීම තම අරමුණ යැයි කී ඔහු දිනකට කීපවතාවක් පන්සිල් ගැනීම විහිළුවකැයි ද ජීවිත කාලයට ම එකවතාවක් පන්සිල් ගැනීම සෑහෙන බව ද කීවේය. මේ කීමට අනුව කටයුතු කළ ඊරියගොල්ල මහතා කිසිදු රැස්වීමකදී පන්සිල් ගත්තේ ද නැත.

ඊරියගොල්ල මහතාගේ මේ ප්‍රකාශයට මහ සඟරුවන දැඩි ලෙස විරෝධය පළ කිරීමට වන්හ. ඇමැතිවරයාට එරෙහිව රැස්වීම් ද විරෝධතා ද ඇරැඹිණ. ඊරියගොල්ල මහතාගේ කතාව බලවත් මාතෘකාවක් බවට පත් වූ විට අගමැති ඩඩ්ලි සේනානායක මහතා ද ඊට මැදිහත් විය. ඊරියගොල්ල මහතාගේ ප්‍රකාශය අඩංගු පටිගත කිරීමට සවන් දී සුදුසු තීරණයක් ගන්නා බව සේනානායක මහතා ප්‍රකාශ කෙළේය.

ඊරියගොල්ල මහතාගේ ප්‍රකාශයට සවන් දුන් අගමැතිවරයා සිය තීන්දුව ප්‍රකාශ කෙළේය. එම ප්‍රකාශයේ කිසිදු ශාසන විරෝධි දෙයක් නැතැයි තීරණය කළ අගමැතිවරයා ඊරියගොල්ල මහතාගේ කතාව සම්පූර්ණයෙන් ම ප්‍රචාරය කරන ලෙස ගුවන්විදුලියට උපදෙස් දුන්නේය. ඒ අනුව ඊරියගොල්ල මහතාගේ කතාව රටපුරා ප්‍රචාරය විය.

ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ සිටි තවත් ඇමැතිවරයෙකු වූයේ පිලිප් ගුණවර්ධන මහතා ය. ඔහුගේ පක්ෂය මහජන එක්සත් පෙරමුණයි. ලංකා වාමාංශික ව්‍යාපාරයේ ආරම්භක නායකයකු වූ පිලිප් ගුණවර්ධන මහතා ආණ්ඩුවට සම්බන්ධව සිටි නමුත් මාස හයක් යනතුරු කිසිදු ප්‍රකාශයක් නොකළේය. ඔහු ගත කෙළේ නිහඩ එහෙත් කාර්යක්ෂම දේශපාලන ජීවිතයකි.

මේ නිහඬ හැසිරීම බිඳ දමමින් මාස හයකට පසු පිලිප් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් රටේ දියුණුව සඳහා තමා ජාතික රජයට සම්බන්ධ වූ බව කීවේය. ‘දවස’ පත්‍රය එදා මේ පුවත පළ කෙළේ ‘පිලිප් මුනිවත බිඳී’ යන සිරස්තලයෙනි.

මේ අවස්ථාවට සමගාමීව පිලිප් ගුණවර්ධන මහතා ප්‍රකාශ කෙළේ රටේ යහපත වෙනුවෙන් යකා සමඟ නොව යකාගේ ආච්චි සමඟ එක්වීමට වුවද තමන් පසුබට නොවන බවයි.

පිලිප් ගුණවර්ධන මහතා ස්පාඤ්ඤ බස හා සාහිත්‍යය පිළිබඳව මනා අධ්‍යාපනයක් ලබා සිටි උගතෙකි. ඔහු අධ්‍යාපනය ලැබ‍ුවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයෙනි. වරක් අයවැය විවාදයකදී කතා කළ පිලිප් ගුණවර්ධන මහතා සමාජවාදය සහ සංස්කෘතිය ගැන අදහස් දැක්වීය. සෞන්දර්යය සහ පතිවත අතර නිරන්තර ගැටුමක් ඇතැයි පැවසූ ඔහු සමාජවාදය සහ සංස්කෘතිය අතර එවැනි ගැටුමක් ඇති නොවේවා යැයි ප්‍රාර්ථනා කෙළේය. මේ උපමාව ස්පාඤ්ඤ කියමනක් යැයි ද ඔහු එදා කීවේ ය.

ජාතික ආණ්ඩුවේ අවසානය කෙබඳු වේද දේශපාලන ඉදිරි දැක්ම කවර ආකාරයේ එකක් වේ දැයි පිලිප් ගුණවර්ධන මහතාගෙන් පුවත්පත් කලාවේදියෙකු විමසූ විට ඔහු කදිම පිළිතුරක් දුන්නේය. අනාගත කුස්සිවල උයන පිහන අනාගත කෑම වට්ටෝරු ගැන කීමට තමා නොදන්නා බව ඔහුගේ පිළිතුරයි.

පිලිප් ගුණවර්ධන මහතාගේ සොයුරු රොබට් ගුණවර්ධන මහතා ජාතික ආණ්ඩුවේ තානාපතිවරයා ලෙස චීනයේ කටයුතු කෙළේය. චීන නායක මා ඕ සේතුංංගේ අනුදැනීම පිට චීන සංස්කෘතිය විප්ලවය දියත් වූ අවධියයි ඒ. සංස්කෘතික විප්ලවයේ අරමුණ වූයේ චීනය තුළ නැවත ධනවාදී ආකල්ප මතුවීමට එරෙහිවීමයි. චීනයේ තවත් නායකයකු වූ ලියෝ සෘඕ චී මා ඕගේ අදහසට එරෙහිව ගෙනගිය වැඩපිළිවෙළ නිසා සංස්කෘතික විප්ලවයේ ලේ ගැලීම් ද සිදුවිය.

විවේකයක් සඳහා ලංකාවට පැමිණි චීනයේ ලංකා තානාපති රොබට් ගුණවර්ධන මහතා චීන සංස්කෘතික විප්ලවය පිළිබඳව දේශනයක් කෙළේය. මෙහිදී ඔහු චීන සංස්කෘතික විප්ලවය නිවැරදි යැයි කීම නිසා ජාතික ආණ්ඩුවේ සිටි දක්ෂිණාංශික කොටස් රොබට් ගුණවර්ධන මහතාට එරෙහි වාග් සංග්‍රාමයක් පටන්ගත්හ. චීනයට වෙනත් තානාපතිවරයෙක් පත්කරන්නැයි ඔවුහු අදහස් පළ කළහ.

නැවත අදහස් පළ කළ රොබට් ගුණවර්ධන මහතා තමාගේ කතාවේ සියලු ම අදහස් තම හිතට එකඟව ප්‍රකාශ කළ බවත්, කැමැති කෙනෙකුට චීනයට ගොස් එහි සිදුවන දේ බලාගෙන විත් කතා කරන ලෙසත් අභියෝගයක් ද කෙළේය.

මේ අවුල විසඳීම සඳහා අගමැතිවරයා සහ රොබට් ගුණවර්ධන මහතා අදහස් හුවමාරුවක නිරත වූහ. එම සාකච්ඡාවෙන් පසු අගමැති ඩඩ්ලි සේනානායක මහතා ප්‍රකාශ කෙළේ රොබට් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ තමා ද අනුමත කරන බවයි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.