“බුදුසරණ ආදිකතුවර ප්‍රේමසිරි අබේසිංහයෝ සමුගනිති” | සිළුමිණ

 “බුදුසරණ ආදිකතුවර ප්‍රේමසිරි අබේසිංහයෝ සමුගනිති”

 “අබේගේ තාත්තා නැතිවෙලා.” ඉකුත් සිකුරාදා උදැසන කාර්යාලයට පැමිණි විට ලැබුණ පළමු ආරංචිය එයයි. “අබේ” යනු අප පුවත් පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන නිහාල් පී. අබේසිංහය. ඔහු ගේ පියා ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු මෙන්ම කවියකු වන ප්‍රේමසිරි අබේසිංහයන්ය. වයසට යාමත් සමඟ ඔහු කලක් රෝගාතුරව සිටියේය.

දිනෙක අපි ඔහු බලන්නට කහතුඩුවේ සිංහ මැදුර නිවෙසට ගියෙමු. ඒ මීට වසරකට පමණ පෙරය. දෙහිවල ලයනල් ප්‍රනාන්දු, සිරිල් පී. ගුණරත්න, සනත් පියසේන, පියසේන වික්‍රමරත්න සමඟ තවත් කවියෝ කිහිප දෙනෙක්ම එක්වුහ. තම කවි මිතුරන් දැකීමෙන් අපමණ සතුටට පත් ප්‍රේමසිරි අබේසිංහයන් අප පිළිගත්තේද හිටිවන කවි කිහිපයකිනි. ඒ එතුමන් පිළිබඳ මට ඇති මතකයන් ගෙන් එකකි.

සැවොම දන්නේ ඔහු පුවත්පත් කලාවේදියෙකු මෙන්ම කවියකු ලෙසය. නමුදු ඔහු ගුරුවරයකු බව බොහෝ අය නොදන්නවා වන්නට ඇත. ඒ එක්දහස් නවසිය අනූව දශකයේ අගභාගයයි. එකල එතුමන් මට හමුවූයේ රාජා ධර්මපාල මහතා විසින් නාරාහේන්පිට පවත්වාගෙන ගිය ධර්මවේදී ජනසන්නිවේදනය පාඨමාලාවේදීය. අපි එහි ඉගෙනුම ලැබූවෙමු. ඔහු එම පාඨමාලාවේ ගුරුවරයකු ලෙස කටයුතු කළේය.

කවියකු වූ ප්‍රේමසිරි අබේසිංහයන් මෑතක් වනතුරුම සිළුමිණ ට කවි ලීවේය. ඔහු බොහෝවිට ලියූවේ බුදුගුණ විදහා දැක්වෙන කවිය. මේ අබේසිංහ මහතා පිළිබඳ ඇති කෙටි මතකයන්ය. නමුදු ඔහුගේ පුවත්පත් කලා දිවිය ඊට වඩා බොහෝ පුළුල්ය.

කහතුඩුවේ උපන් ප්‍රේමසිරි අබේසිංහ මහතා කුඩා කළ අධ්‍යාපනය ලද්දේ කහතුඩුව කනිෂ්ඨ විද්‍යාලයේය. ඉන් පසුව හොරණ විද්‍යාරත්න විද්‍යාලයෙන් ද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රා‍ලයෙන්ද ඉගෙනුම ලැබූවේය. තරුණ අබේසිංහයන්ගේ සිත පුවත්පත් කලාව කෙරෙහි ඇදි යන්නේ හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ඉගෙන ගන්නා සමයේ හොරණ වජිරඥාණ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ කළ බෞද්ධ සඟරාවත් සමඟිනි. එනිසාම පාසල් අධ්‍යාපනයෙන් පසු වාර්තාකරුවකු ලෙස ලංකාදීප පුවත්පතට බැෙඳන අතර පසුව දවස පුවත්පත ආරම්භ කිරිමත් සමඟ එහි සෝදුපත් බලන්නකු ලෙස සේවයට එක් වන්නේය. දවස පුවත් පතින් ඉවත් වන ඔහු සියරට පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා ලෙස කලක් කටයුතු කළේය. ඉන් ටික කලකට පසු පත්තර මහගෙදර දිනමිණ පුවත් පතේ උපකතුවරයකු ලෙස සේවයට‍ බැ­ෙඳන්නේය. බුදුසරණ පුවත් පතේ කර්තෘධුරයට පත් වීමෙන් පසු ඔහු එම පුවත්පත මඟින් සුවිශාල සමාජ මෙහෙවරක් ඉටුකරන්නේය. වසර දහ අටක් තිස්සේ බුදු සරණ පුවත් පතේ කර්තෘධුරය හෙබ වූ අබේසිංහ මහතා ඒ කාල සීමාවේදි භික්ෂුන් වහන්සේ සමඟ බොහෝ ළෙන්ගතුව කටයුතු කරන්නේය. ලේක්හවුස් බෞද්ධ සංගමයේ ආරම්භක ලේකම්වරයා ලෙස ඔහු වසර ගණනාවක් කටයුතු කළේය. මිහින්තලා ආලෝක පූජා කමිටුවේ වසර පහළොවක් තිස්සේ කටයුතු කළ ඔහු තම දැනුමෙන් හැකියාවෙන් කළ සමාජ මෙහෙවර සුවිශාලය.

කවි රචකයකු මෙන්ම හිටිවන කවියකු වූ අබේසිංහයන් බුදු සරණ පුවත්පතේ කර්තෘ ධුරය දරන සමයේ කවියන්ට තම නිර්මාණ එළි දැක්වීමට අත හිත දුන්නේය.

වසර දෙකක් පමණ ශ්‍රී ලංකා පත්‍ර කලාවේදී සංගමයේ සභාපතිධුරය ද දැරූ අබේසිංහයන් මල්වතු පාර්ශ්වයෙන් පිරිනමනු ලබන බෞද්ධ පත්‍ර කලාශූරි සම්මානයෙන් පිදුම් ලැබුවේය. කලා භූෂණ සම්මානයෙන් ද, කිවිපති සම්මානයෙන්ද පිදුම් ලැබූ ප්‍රේමසිරි අබේසිංහ සූරීන් “යහ මඟට සිතුවිලි, මීපාගම මවු පිය කවි සෙවණ, උපහාරය” යන ග්‍රන්ථ ලියා පළකර ඇත.

බෞද්ධ පුවත්පත් කලාවේදියකු ලෙස අගනා සේවයක් ඉටු කළ ප්‍රේමසිරි අබේසිංහයන් තම උපන් ගම් ප්‍රදේශයටද බොහෝ සේවය කළ අයෙකි. ඔහු ගමේ සමිති සමාගම් වල සභාපති ධුරය මෙන්ම අනුශාසක ලෙස මහඟු සේවයක් කළේය.

ප්‍රේමසිරි අබේසිංහ මහතා අභාවප්‍රාප්ත වන විට අසූ හතර වැනි වියේ පසු වූයේය. පුවත්පත් කලාවේදියකු ලෙස රටට දැයට අගනා මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රේමසිරි අබේසිංහයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

- ඉසවි 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.