එන්න දැනගන්න දියවැඩියාවෙන් වළකින්න | සිළුමිණ

එන්න දැනගන්න දියවැඩියාවෙන් වළකින්න

ශ්‍රී ලංකා දියවැඩියා සහ නිර්නාල ග්‍රන්ථි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයෙහි සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද, විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය, විශේෂඥ වෛද්‍ය වර්ජිනි මල්ලවාරච්චි යන මහත්ම මහත්මීන් වැඩසටහනේ අනුග්‍රාහක භවතුන් සමඟ

 ‍ලෝක දියවැඩියා දිනය දෙසැම්බර් මස 14 වැනිදාය. ඒ නිමිත්තෙන් අද 12 කොළඹ ගාලු මුවදොර පිටියේදී පා ගමනක් සහ ප්‍රදර්ශනයක් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ දියවැඩියා සහ නිර්නාල ග්‍රන්ථි ආශ්‍රිත ‍රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මඟින් සංවිධානය කරනු ලබන මේ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 6.30ට ඇරැඹේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ මහජනතාව මේ පා ගමනට එක්වෙති. මෙවර දියවැඩියා දිනයෙහි මෙරට තේමාව නිරෝගී කාන්තාවක් -නිරෝගී පරපුරක් යන්න ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යරුන්ගේ සංගමය පවුල් සෞඛ්‍ය කාර්යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ හා සෞඛ්‍ය ඒකක සියල්ලෙහි සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන මෙහි අනුග්‍රාහකත්වය ජාත්‍යන්තර සිංහ සමාජය, සිංගර් සමාගම විසින් දරනු ලැබේ.

නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා පදනම සකස් කිරීම පුද්ගලයාගේ උපතේ පටන්ම ඇරැඹිය යුතු හෙයින් ගැහැනු දරුවාගේ පෝෂණය හා නීරෝගීභාවය සැලකිල්ලට ගනිමින් මෙවර තේමාව සකස් කර ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා සහ නිර්නාල ග්‍රන්ථි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයෙහි සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි.

පුද්ගලයකු මෙළොවට බිහි වීමේ පටන් මරණය දක්වා ම නීරෝගීභාවය සඳහා සිය මවගේ සෞඛ්‍ය සම්පන්න භාවය හේතු වෙයි. කාන්තාවන් ස්ථුලතාවට ගොදුරු වීම, දියවැඩියාව හෝ ගැබිනි සමයේ දියවැඩියාවට ගොදුරු වීම කලල අවස්ථාවේ පටන්ම දරුවාගේ වර්ධනයට හා නීරෝගී භාවයට අහිතකර ලෙස බලපායි. ස්ථුලතාවෙන් හෝ දියවැඩියාවෙන් හෝ පෙළෙන මවකට උපදින දරුවෝ ද බොහෝ විට අනාගතයේදී එම රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරති. එහෙයින් කාන්තාවගේ නීරෝගී බව පිළිබඳ සැලකිලිමත් වීම අනාගත පරපුර දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගවලින් බේරා ගැනීමට ඇති හොඳ ම පිළියම වන බවද වෛද්‍ය සුමනතිලක පවසයි.

කාන්තාවගේ සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ බාල වියෙහි පටන්මය. දැරියක වැඩිවියට පත් වන සමයෙහි පටන්ම ඇයට ආහාර හා පෝෂණය ද ප්‍රමාණවත් තරම් ව්‍යායාම ලබා දීමද පිළිබඳ විශේෂ අවදානයක් යොමු කළ යුතුය. දැරියක මල්වර වන්නට පෙර සිටම ඇයගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීමෙන් ස්ථුලතාව හෙවත් අධි බරෙන් ද මන්ද පෝෂණයෙන් ද ඇය වළක්වාගත හැකිය.

ස්ථුලතාව මෙන් ම මන්දපෝෂණය ද ඇති කාන්තාවන් ගර්භණී භාවයට පත් වූ කළ කලලයේ වර්ධනයෙහි අඩුපාඩු, මොළයේ වර්ධනයෙහි අඩුපාඩු මෙන් ම හදවත් සිදුරු වැනි උපතේදී ම ඇති වන විවිධ සංජානීය ආබාධ ඇති විය හැකිය. ගබ්සා සහ මළ දරු උපත්, ඇතිවීමේ අවධානමක් හා පසුකාලීනව දියවැඩියාවට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්වයි. බර අඩු දරුවන් මන්දපෝෂණයට ගොදුරු වන අතර බුද්ධි වර්ධනයෙහි හීනතා ඇතුළු විවිධ බෝ නොවන රෝගවලට ගොදුරු වීමට ඇති අවස්ථා ඉහළය. මේ අවදානමින් මිදීම සඳහා ඇති හොඳම පිළියම දිවිය පුරාම සැලකිලිමත්ව කටයුතු කිරීම බවද වෛද්‍ය සුමනතිලක පවසයි.

වසරකට ලෝකයේ පුද්ගලයන් මිලියන 3 ක් බෝ නොවන රෝග හේතුවෙන් මිය යති. ඒ අතුරින් මිලියන 15ක් වයස අවුරුදු 60ට පෙර මිය යති. බෝ නොවන රෝගවලට ගොදුරුව මිය යන්නන් අතරින් 7%ක් දියවැඩියාව හා ආශ්‍රිත සංකූලතාවලින් මරණයට පත්‍ වෙති.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 15%ක් දියවැඩියාවෙන් පෙළෙන බවට අනුමාන කෙරෙන බව ශ්‍රී ලංකා දියවැඩියා පදනමෙහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි. නාගරික ජනගහනයෙන් 27%ක් දියවැඩියාවෙන් පෙළෙන අතර කොළඹ අවට වාසීන් අතරින් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන බව මෑතදී සිදු කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන ඇතැයි දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා පවසයි.

මෙරට දියවැඩියාව වැළඳුණු කාන්තාවන් සංඛ්‍යාව පිරිමින්ට වඩා වැඩිය. සෑම කාන්තාවන් 1/10 ක්ම දියවැඩියාවෙන් පෙළෙයි. ස්ථුලතාවට ගොදුරු වන කතුන්ගේ සංඛ්‍යාව ද පිරිමින්ට වඩා වැඩිය. මෙරට ගැබිනි මවුවරුන්ගෙන් 10% කට වඩා දියවැඩියාවට ගොදුරු වෙති. ගැබිනි සමයේ දියවැඩියාව හෝ දියවැඩියාවට ආසන්න තත්ත්වයෙහි පසු වන ගැබිනියෝ 15 - 20% අතර වෙති. ගැබිනි සමයෙහි දියවැඩියාව හේතු කොටගෙන උපත් ආබාධ, මළ දරු උපත් ගබ්සා ඇති වීම මෙන් ම උපතින් පසුව සීනි වැඩිවීමෙන් මොළයට හානි වීමේ ද ඉඩ තිබේ. මවගේ දියවැඩියා තත්ත්වය මුල් කාලයේ සිට ම දරුවාගේ ක්‍රියාකාරීත්වයට අනිසි බලපෑම් එල්ල කරයි.

මෑතදී ‍බටහිර රටවල කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කාන්තාවගේ ස්ථුලතාව පවුලේ සියලු දෙනාගේම සෞඛ්‍යය හා පෝෂණයට අහිතකර ලෙස බලපාන බවය. මෙරට ළමයින් අතර ස්ථුලතාව හා දියවැඩියාව තත්ත්වය දිනෙන් දින වැඩි වන බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි. ස්ථුලතාවයෙන් පෙළෙන ළමයින්ගෙන් 3/4ක්ම වැඩිහිටිවියේදී ද ස්ථුලතාවට ගොදුරු වෙති. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දියවැඩියා රෝගයට ද ගොදුරු වෙති. වත්මන් ළමා පරපුර අක්‍රියශීලී ජීවන රටාවකට ‍හුරු වීම, සීනි, ලුණු සහිත තෙල් අධික ආහාර පාන බහුලව ගැනීම, එළිමහනේ දුවපැන ඇවිදින ක්‍රීඩා වෙනුවට එකතැන සිටිමින් කරන රූපවාහිනී නැරැඹීම, පරිගණක ක්‍රීඩා මෙන් ම විභාග අභිමුඛ අධ්‍යාපනය හේතුවෙන් ඇතිවන මානසික පීඩනය ද ළමයින් අතර ස්ථුලතාව වැඩිවීමට හේතු වී තිබේ.

සෑම ළමයකු ම දිනකට විනාඩි 60ක් වත් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදවීම, පාසලේදී දිනපතා විනාඩි 20ක් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදවීම, සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායී ආහාර පාන ලබා දීම සහ සීනි ලුණු සහ තෙල් අධික ආහාර පාලනය මෙන් ම ළමා සිත සතුටුවන අයුරින් ක්‍රීඩා, කලා කුසලතා ඇතුළු ජීවන කුසලතා වර්ධනය කිරීමෙන් ළමා පරපුර බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීමට හැකිවේ. මෙරට ස්ථුලතාවට හා දියවැඩියාවට ගොදුරු වූ ළමයින් පිළිබඳ මෙතෙක් නිශ්චිත දත්ත සොයා ගෙන නැති අතර කොළඹ වෛද්‍ය පීඨය මඟින් මහාචාර්ය පූජ‍ිත වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසාද් කටුලන්ද සහ විශේෂඥ වෛද්‍ය සුමුදු සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් විසින් මේ දිනවල ඒ පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කරගෙන යන බවද වෛද්‍ය කටුලන්ද පවසයි.

අද ඇරැඹෙන දියවැඩියා සැමැරුම් පාගමන හා ප්‍රදර්ශනය හැරුණු විට දියවැඩියාව ඇත්දැයි හඳුනා ගැනීම සඳහා අදාළ සියලම පරීක්ෂණ නොමිලේ සිදු කර ගැනීමට ඊට සහභාගී වන සැමට හැකි වේ. අක්ෂි හා පාද පරීක්ෂාවන්, පෝෂණය හා ව්‍යායාම සඳහා මඟ පෙන්වීමේ වැඩසටන්, දන්ත සායන, වකුගඩු පරීක්ෂාව, විශේෂඥ වෛද්‍ය හමු ඇතුළු සියලු පහසුකම් එදින නොමිලේ සලසා ඇති බව දියවැඩියාව සහ නිර්නාල ග්‍රන්ථි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය මහතා පවසයි. “නීරෝගී කාන්තාවක් - නීරෝගී පරපුරක්” යන තේමාව යටතේ පැවැත්වුණු දීපව්‍යාප්ත චිත්‍ර තරගයේ ජයග්‍රාහී සිතුවම් දැක්මක් ද ප්‍රදර්ශනයට ඇතුළත් වේ. සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ සිංහ සමාජයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ පා ගමනට පවුලේ සියලු දෙනා සමඟ සහභාග වෙමින් දියවැඩියා රෝගයෙන් වැළැකීමට පියවර ගන්නා ලෙසත් දැනුවත්ව සුවපත් දිවියකට මග පාදා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා දියවැඩියා හා නිර්නාල ග්‍රන්ථි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සාගරිකා දිසානායක ජයසිංහ
ඡායාරූප - තිලක් පෙරේරා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.