අත් වරදක් සිදුවූ අයකුට ස්වයං විවේචනය තුළින් නිවැරැදි විය හැකිය | සිළුමිණ

අත් වරදක් සිදුවූ අයකුට ස්වයං විවේචනය තුළින් නිවැරැදි විය හැකිය

 කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ

මම වයස අවුරුදු 20 දී කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා සූරින් විසින් වේදිකාවට ගෙනා (1961) නීතිඥ ජෝන් ද සිල්වා සූරින්ගේ වෙස්සන්තර නාට්‍යයෙන් මහා වේදිකාවට ප්‍රවිෂ්ට වීමි. රංගනය පමණක් නොව වේදිකා නාට්‍ය රචනය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය යන අංශයන්හි නිරත වීමට අවකාශ ලැබුණි. නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලා මගේ ප්‍රධානත්වයෙන් පවත්වමින් නවක ආධුනික හා අංකුර ශිල්පීන්, ශිල්පිනියන්ට මඟ හෙළිකරදීමට ද හැකි විය. නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය සංඛ්‍යාව හයකි. කලාව පිළිබඳ මෙන් ම ජීවිතය ගැන දැනුම ලබාදීමට උත්සාහ කළෙමි. මගේ මුල්ම පාඩම වූයේ සතර සවිය සහ නෙළුමයි. අපේ පාඨමාලාවන්ට පැමිණි සුනිල් පොරමඩල නම් වර්තමානයේ ප්‍රවීණ මාධ්‍යවේදියා සතර සවියනමින් සංවිධානයක් පිහිටුවා ළමා පොත් රචනය ගැන විවිධ වැඩසටහන් පවත්වනු ලැබේ.

ම’විසින් මුලින් ම පිහිටුවන ලද ‘සතිස්චන්ද්‍ර සංස්කෘතික සංසදය’ (ස.ස.ස.) වැඩමුළුවලට සහභාගිවූ අනුර වරාගොඩ, අනුර රත්නායක, අනුර කිත්සිරි, කුලසිරි මල්ලිකාරච්චි, හේමචන්ද්‍ර පියදාස, රෝහිත ඩයස්, ජයතිලක ඇඹුල්දෙණිය සහ ආනන්ද අතුකෝරාළ මෙන් ම පොල්ගහවෙල ‘මුතුහර’ ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් වන ආනන්ද පොල්ගහවෙල, රූපා පතිරණ යන ප්‍රධාන විශාල පිරිසක් ද මගේ සෙවණේ විකසිත වූ කලා ශිල්පීන් ශිල්පිනියන් ය.

ඉහත සඳහන් කළ සියල්ලන් අදත් මා සමඟ විවිධ සමාජ සේවාවන්හි නිරත වීම මට සතුට ලබා දෙන්නකි. 2010 දී ම’විසින් පිහිටුවන ලද මිහිඳු සංස්කෘතික පදනම විසින් 2012 සිට ‘සුවඳ පද්ම’ උපහාර සම්මාන උලෙළක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කළෙමි.

2017 ‘සුවඳ පද්ම’ උපහාර උලෙළ පසුගිය ඔක්තෝබර් 29 වැනි ඉරිදා සවස 3.00 ට මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ ප්‍රධානත්වයෙන් අති සාර්ථක අන්දමින් පැවැත්වීමට අපට හැකි විය.

සියල්ලන්ගේ ම ප්‍රශංසාව හිමිකර ගැනීමට අපි සමත් වීමු. මෙම උලෙළ කොටස් තුනකින් යුක්ත ය. කලා ක්ෂේත්‍රවල විශ්‍රාමික සුවය විඳින අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන හා කිසි දිනක සම්මානයකට පාත්‍ර ‍නොවූ කලා ශිල්පීන් හා ශිල්පිනියන් විසිදෙනකු තෝරාගෙන ඒ අය ‘සුවඳ පද්ම රජතසම්මානය’ සමඟ මුදල් තිළිණ ප්‍රදානය කරන්නෙමු. ඊට අමතරව ජාතික තලයේ ශිල්පීන් හා ශිල්පිනියන් දහසය දෙනකු විවිධ ක්ෂේත්‍රවලින් තෝරාගෙන ‘සුවඳ පද්ම ස්වර්ණ සම්මානයන්ගෙන් බුහුමන් දක්වන්නේ ය.

මේ කෘතවේදී සමාජ සත්කාරය ම’විසින් තනියෙන් සියල්ල සංවිධානය කොට ෂෙල්ටන් කරුණානායක (ලේකම්) උපසභාපති දීප්ති විජේතුංග, ශ්‍රියා එදිරිසිංහ (භණ්ඩාගාරික) නාලක ඉල්ලවතුර, අමිත්ත වීරසිංහ, අනුර වරාගොඩ, කුලසිරි මල්ලිකාරච්චි සහ තවත් අයගේ සහාය ලබාගෙන සාර්ථකව සංවිධානය කිරීමේ හැකියාව මට තිබුණි.

‘සුවඳ පද්ම’ උපහාර සම්මානයෙන් පිදුම් ලබන්නට තෝරා ගන්නා අයහට මාස හතරකට කලින් ලිඛිතව අපි දැනුම් දෙන්නෙමු. 2016 දී ශ්‍රී ලංකාවේ චිරප්‍රසිද්ධ ශිල්පිනියක් එම දිනවලදී දිවයිනෙන් බැහැර යන බව පවසා ලිපියක් ම’වෙත එවන ලද්දේ ස්තුති කරමිනි. ඒ වෙනුවට අපි වෙනත් අයෙක් තෝරා ගත්තෙමු.

විශාල ප්‍රසිද්ධියක් සමඟ ජීවත් වූ ඒ කලාකරුවා සම්මානය ලබාගැනීමට පැමිණියේ නැත. එතුමාට සමීප ඒ ක්ෂේත්‍රයේ ම අයකු වේදිකාවට පැමිණ සම්මානය රැගෙන ගොස් භාර දුන්නේ ය. රස සාගරයක් බඳු මේ කලාකරුවා තම කෘතවේදිත්වය දුරකථනයෙන්වත් අප හට දැන්වූයේ නැත.

මෙවර ‘සුවඳ පද්ම’ (2017) සඳහා අප තෝරා ගන්නා ලද ශිල්පිනියක් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ලිඛිතව දැන්වූවාය.

ඒ වෙනුවෙන් වෙනත් අයකු එවීමට අකැමැති වූයේ අපේ ප්‍රණාමය ඇයට ප්‍රමාණවත් නොවන නිසා විය හැකි යයි අපි සිතුවෙමු.

ඊළඟට දශක ගණනාවක් සිනමා ක්ෂේත්‍රයේ වැජඹුන ශිල්පිනියක් අපේ යෝජනාව පිළිගෙන මුලින් එකඟ විය. ඇය පිළිබඳ විස්තරයක් ලබාදීමට ඇය මැළි වූවා ය. අවසානයේදී ඇය අපේ සම්මානය පිළිගැනීම ප්‍රතික්ෂේප කළා ය. ඊට හේතුව වශයෙන් ඇය පැවසුවේ “මට දැන් ඕවා ලියන්න වේලාවක් නැහැ. අනෙක මං දැන් ගමන් කරන මාර්ගය වෙනස් එකක්. ඊටත් ව ඩා මං ඉස්සර කරපු දේවල්වලට සම්මාන ගන්න මං කැමති නැහැ.” යනුවෙනි. මේ වන විට ඇගේ නම සහ ඡායාරූප, පුවත්පත්වලට ගුවන් විදුලිය හා රූපවාහිනි නාළිකාවට යවා හමාරය. ඇය අපව අසීරුවට පත්කරන ලද්දේ සදාචාර විරෝධි අයුරිනි.

මෙවර ‘සුවඳ පද්ම’ උපහාර සම්මාන උලෙළේ ඉතාමත් දුක්බර ක්‍රියාවක් ජනප්‍රිය සිනමා ශිල්පිනියක් කළාය. සම්මාන උලෙළ ආරම්භ කිරීමට පැය 3 1/2 කට කලින් මගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එවා පැවසුවේ “සතිස් අයියා මට ප්‍රොබ්ලම් එකක්, මං ෂූටින් දාගත්තා. සම්මානය වෙන කාට හරි ගන්න කියන්න.” මෙවැනි සදාචාර විරෝධී ක්‍රියාවන් කලා ශිල්පිනියකට කළ හැකි ද? ඇය එය කළේ කෙසේ ද? ඇයගේ ක්‍රියාව තුළ තිබෙන්නේ ආත්මාර්ථයයි.

රසඳුන ම’වෙත පැවරූ වගකීම මොනතරම් වටින්නේද? සතර සවිය සහ නෙළුම ගැන නොදැන කලා ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ජීවත් විය හැකි ද? සතුටින් ප්‍රතිඥා දී තම අත් අකුරින් තමාගේ තොරතුරු ලියා එවා ඒවා පළකළාටත් පසු ප්‍රසිද්ධ කළාටත් පසු මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට ඇයට සිත්වූයේ මන්ද? එදා රාත්‍රී මා සභාවට ප්‍රකාශ කළ දේ මෙහි සටහන් කරමි. බුදුරජාණන් වහන්සේ මේ‍ ලෝකයේ ජීවත්වන චරිත හයක් ගැන දේශනා කර තිබේ.

ලෝභ චරිත, ද්වේශ චරිත, මෝහ චරිත, බුද්ධි චරිත, ශ්‍රද්ධා චරිත සහ විතක්ක චරිතයි ඒ. විතක්ක යනු හිත එක තැනක නැත.

ඔවුන් පොරොන්දු කඩ කරති. ‘චපල’ යන වචනය ද ඔවුනට උචිත තවත් වචනයකි.

ස්වරූපය ලස්සන වූවාට සුරතල් වචන ප්‍රකාශ කළාට, සිත්ගන්නා සුළු පෙනුමක් තිබුණට කෙනකුගේ අධ්‍යාත්මය පිරිසුදු නොවේ නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය හානි සිදුකරගන්නේ තමාටමය.

නළුවා, නිළිය යනු බොරුවේ උල්පතයි. ඒ බොරුව නැමැති මවා පෑම, ඒ මවාපෑම කලාත්මක කිරීම තමයි රඟපෑමේ කලාව. රඟපෑම කැමරාව ඉදිරිපි‍ට ඉදිරිපත් කළාට, තමාගේ සාමාන්‍ය ජීවිතයෙදී කරන බොරුව මායාවකි, වංචාවකි.

එහෙම අය වෙනුවෙන් සරස්වතිය වැඩ සිටින නෙළුම ලැබෙන්නේ නැත. නෙළුම යනු පාරිශුද්ධත්වයයි. ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් ආරම්භයේදී පවත්වනු ලබන මුහුරත් උත්සවයේදී සරස්වතී මැණියන්ට පලතුරු පූජා කොට පහන් දල්වා සුවඳ දුම් අල්ලා ඇතැම් කලා ශිල්පීන් හා ශිල්පිනියන් මේ ව්‍යාජ ක්‍රියා කරන්නේ කා වෙනුවෙන් ද?

බෞද්ධයෙක් වන මගේ දර්ශනය බුද්ධ දර්ශනය යි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඇත්තේ එක ම එක දඬුවමක් පමණි. ඒ බ්‍රහ්ම දණ්ඩනයයි. ඇය සමඟ කිසිඳු ඇයි හොඳයි කමක් නොපවත්වන්නේ නම්, තමා කළ වරද යළිත් නොකිරීමට පාඩමක් උගන්වන්නට එය හේතුවේ. අත් වරදක් සිදුවූ අයකුට ස්වයං විවේචනය තුළින් නිවැරැදි විය හැකිය.

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.