ඒ ගසේ නම අන්තියාර්ය | සිළුමිණ

ඒ ගසේ නම අන්තියාර්ය

සිංහල ජන කවියේ අපූරු ගසක් ගැන මෙවන් විස්තරයක් ඇත.

ගසට නමකි ගස මළ කල වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹලට නමකි
මදයට නමකි මද කන කොට වෙන නමකි
මෙතුන් පදේ තෝරාලා කියන් සකී

පාඨකයා අනවශ්‍ය වෙහෙසට පත් නොකර, ඒ තුන් පදයෙන් කියවෙන්නේ ගොයම් ගසක් බැව් නමෝ විත්තියෙන්ම පැවසීම, අපගේ කාරියට පිවිසීමේ පහසුම මඟ වෙතැයි සිතමි.

අප දනන්ට බත සැපයෙනුයේ ඒ “ගසේ” හටගන්නා වී කරලෙනි. වී ද වංසයෙන් අඩු ද, වංසයෙන් මධ්‍යම ප්‍රමාණයේ ද, වංසයෙන් උසස්ම පැළැන්තියේ ද වෙයි. ඒ උසස් පැලැන්තියේ වී වර්ග, ඇල් වී හෙවත් හැල් වී කියාද හඳුන්වති. ඇල් වී වලිනිදු සුවඳ ඇල් වී හෙවත් සුවඳැල් ඒ පැලැන්තියේ තවත් ඉහළටම නැ‍ඟෙයි. මිනිස් වග ඉතිහාසයේ මුල්ම අවදියෙහි මෙකී සුවඳ ඇල් වී තෙමේම උපන් බවද කියනු ලැබේ. ඒ කියන්නේ, කිසිම කෘෂකයකු හෙවත් ගොවියකු විසින් නොවවන ලද බව ය; ඉබේම පහළ වූ බවය. එකී උතුම් වීවග හැඳින්වුණේ සයංජාත ඇල් වී කියාය.

කෙසේ නමුද ජන කවියා ස්වකීය තේරවිල්ලේ කියූ පරිදි, මේ වී ගස හෙවත් ගොයම් ගසද, එක විදියක “ගසකි”.

අපගේ වත්මන් සාහිත්‍යයේ පොඩි දරුවනට හඳුන්වා දුන් තවත් ගසක් වෙයි. ඒ ගසේ පල සම්පත කුමක් වීද?

“මේ ගසේ බොහෝ - පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල - බර වෙලා අතු
“නංගිටයි මටයි - ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි - හෙම ‍නොවෙමු අපී”

මෙම ගීතය රචනා කොට මුලින්ම ගායනාද කර ඇත්තේ, අප දේශයේ සම්භාවනාවට පත්ව සිටි අධ්‍යාපනඥයකු වූ උණවටුන ගමගේ පැටර්සන් ද සිල්වා හෙවත් සුප්‍රකට යූ.ජී.පී. ද සිල්වා ගුරුතුමන් විසින්. ගායකයකු, චිත්‍ර ශිල්පියකු, දේශකයකු, ගුවන්විදුලිය ශිල්පියකු හා ලේඛකයකු හැටියට පතළව සිටි එතුමෝ, අපේ රටේ අධ්‍යාපනයට මහ මෙහෙවරක් කළ ගුරු විද්‍යාලයාධිපතිවරයෙක් ද වූහ. ඔහුගේ පන්හි‍ඳෙන් මෙම අපූරු ගීතය පබැඳී ඇත්තේ, 1944 තරම් වූ ඈත කාලයකදීය.

කෙසේ නමුදු අර පොඩි දරුවන් දෙදෙනා, අනිත් දරුවන්ටද ඉතිරි කර, දෙකක් වන්නට කඩාගත් ඒ දොඩම්පලද සුමීරි, බැව් අමුතුවෙන් කිව යුතුද?

මේ වැල් වටාරම් හැඳින්වීම අවශ්‍ය වූයේ සුවඳැල් දෙන හෝ සුමිහිරි පල රස දෙන හෝ ගසක් ගැන කියන්නට නොව, අපගේ සාකච්ඡා මණ්ඩපයට පැමිණ සිටින රුසියානු මහා කවි ඇලෙක්සැන්දර් පුෂ්කින් විසින් කවි බසින් අපට හඳුන්වා දෙන විස ගසක් ගැන මඳක් කියා, මේ අපූරු ලේඛකයා සමඟ කරන “සාහිත්‍ය චාරිකාව” නිමා කරන්නටය.

1828 වසරේදී කවියා ලියන්නේ අන්තියාර් නම්, ජාවා රටේ වැවෙන විස සහිත ගසක් ගැන ය. පුෂ්කින් කවියා එ ගස හඳුන්වන්නේ මෙබසිනි.

වැලි තලා මත හිරු එළිය සාපයක්වු
මුර සෙබළෙකි සැර පරුස, බිය ගෙනෙන
හුදෙකලාවම මේ හා පොළෝතල මත
නැඟී සිටියි ශුෂ්ක නිශ්චල බිම්කඩින්

පිපාසිත මුඩු තැනිතලාය දා කෙළේ ඔහු
තැන්න මත දිළුණි හිරු, ගිනියම්ව රත් පැහැව
වෛරයෙන් පෙහෙණි කොට අතු පතර හා මුල්ද
විසෙන් පිරවිණ, විගස මරු ගෙනෙත හැකි

ඒ විස වෑස්සෙයි ගසේ පොත්තෙන්ද සුඹුලෙන්ද
දියව යයි දහවලේ ඇවිලෙනා හිරු රැසින
නමුදු රෑ එළඹි සඳ ගන බවට පත් වේය
ගසෙන් වෑහෙයි එවිස බිඳු බිඳුව පළිඟු සේ

දිලිසෙන පළිඟු සේ බිඳු බිඳුව විස වෑහෙන මෙකී අන්තියාර් නම් විස ගස, කවර අරුතක් - කවර පලයක් - උදෙසාද? ඒ තුරෙහි විස මේ මුළු මහත් මිහිගැබම විස බවට පත් කළ හැකි පරම විසකි. ඒ විසෙන් මිනිස් කැලට ගැලවීමක් නම් නැත්මැයි. කවියා තවදුරටත් විස ගසෙහි විතර ගෙනහැර පායි.

විහඟුන්ද සත්තුන්ද කිසි විටෙක ළං නොවේ
රුදුරු කළු සුළඟමැයි, හමාවිත් හැපෙනුයේ
හැප්පිලා, ඒ විගස පලායෙයි මර බියෙන
නමුදු ඒ කුරිරු විස හුමාලය රැගෙන යේ

වැහි වළාවක් ඇවිත් එතුරු හිස හැපීලා
තෙත් කරයි මහ බරැති විසල් වූ අතු පතර
එසඳ රූ රා වැටෙන දිය බින්දු තුරු මතින
මෙමිහිගැබ තුළ හොවයි නපුරු රුදු එවිස රැස

එවැනි විසෙන් වැඩගත් මිනිහකු ගැනය, කවියාගේ මෙම ගුප්තාර්ථ බහුල රචනය.

අන්තියාර් ගසෙහි විස සහිත යුෂ යොදා ගැනුණේ ඊතල විස කවනු සඳහා ය. ඒ ඊතල යොදා ගැනුණේ, සතුරන් මර්දනය සඳහාය. පුෂ්කින් මෙම විශේෂ රචනය නිමවන්නේ, එසේ මර්ධනය කරන ලද සතුරන් ගැන කියන්නට නොව, ඒ විස ගෙනනු සඳහා මෙහෙයවන ලද වහලක ගැන කියන්නටය. මේ බැලුව මැනවි.

නමුත් මිනිහා අණ කෙළෙය තවත් මිනිහෙකුට
ඒ වහල්තෙම පිටත් විය අන්තියාර් සොයන්නට
බොහොම දුර ඈත, දුරු කතර ගෙවා ගොස්
හේ තෙමේ පැමිණියේ, එවිස ගස සොහාගෙන

එපුරිසා රැනෙ විත් ගසේ ලාටුද අත්තක්ද
නමා හිස තැබූයේ, මහා බලවත් ඒ තෙමේ අස
අළු පැහැවූ ඔහු දෙබැම නැගුණු ඩා බිංදු රැස
සීතලට බිම හැළුණි, අහෝ අස මැන මබස

‍අධිපති රාජයා විසින් සතුරන් ඝාතනය කරන්නට පෙර, මේ ගසේ ලාටුද අත්තක් ද සොයාගෙන ආ වහලාට සිදු වූ විපත්තිය කවියා විසින් හෙළි කර ඇත්තේ, පාඨකයාගේ අවධානය ඔහුගේ මුලික නිමිත්ත කෙරෙහි යොමු කරවන අභිලාසයෙනි. සැබැවින්ම, ඒ මිනිසාට කුමක් වීද?

ඇද වැටුණි වහල්තෙම එබිම වූ පැදුර මත
සුදුමැලිය ඔහු මුහුණ රෝගයෙන් ආතුරව
අසරණවූ දාසයා මියගියෙය ඒ සැණින
ප්‍රතාපෙන් යුතු මහා බලවත් පාලකගෙ දෙපා මුල

එසඳ අනුචර පිරිස රැගෙන ඒ නපුරු විස
කුමරුගේ අණ පරිදි තැව‍රුවෝ එහී මත
ළඟද දුර අසල්වැසි දෙසින් දෙස රජුන් වෙත
මාරයා කැඳවුණිය, ඒ කුමරු අණින් තෙද

මුල් මුද්‍රණයේදී කවියා යොදා තිබුණේ “සාර්” යන වදනය. එහි ප්‍රකාශනයක් සමඟම කිසියම් කැළඹීමක් හටගැනිණැයි සාහිත්‍යවේදීහු කියති. ඊළඟ මුද්‍රණයේදී ඒ වෙනුවට “කුමාරයා” යන පදය යොදන ලද්දේ එහෙයිනි.

අන්තියාර් විස ගස පිළිබඳ කවිය, එදවස සාර් රජුට සහ සාර් පාලනයට විස වුණු බැව් අමුතුවෙන් කිව යුතු ‍නොවෙයි. ඒ සාර්, පුෂ්කින් මහ කවියාට මරු කැන්දූ ද්වන්ධය පිටුපස සිටින්නට ඇති වගට දැන් ඉතින් අමුතු සාක්ෂි ද අවශ්‍ය නොවෙයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.