කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

යක් මරණ තුනක්

හද­වත් රෝග­ය­කින් මිය­ගිය යකුන් තිදෙ­නෙකු
ගැන දැන් මට මතක් වේ මේ තොර­තුරු සමඟ..
එක් දහස් නව­සිය තිහේ දශ­ක­යෙ­හිදි මා
ළමා විය ගත­ක­ර­මිනි ඒ යකුන් දැන ගත්තේ..

හත­ළිහේ දශ­කය ගෙවී ගෙන ගියෙත් කාලෙත්
ඒ යකුන් ගැන තොර­තුරු විට විට ඇසුණා මෙසේ... ‍
අලු­යම් වෙලාවේ කෙනෙකු හදි­සියෙ මැරු­ණොත්
ආරං­චිය පැති­රුණේ “ කඩ­වර යකා ගහලා” ...

මැදි­යම් දහ­වලේ හදි­සියෙ කෙනෙකු මැරු­ණොත්
“රීරි යකා ගහලා” යනු­යෙන් එය පැති­රුණේ..
සවස සිට මැදි­යම් රැය තෙක් කාලය පුරා
එවැනි නර­බිලි ගත්තේ “මහ­සො­හොනා”නැමැති යකු..

කලා­තු­ර­කින් වන මේ සිදූ­වීම් නිතර ම
පැතිර යමින් පැව­තුණේ නිත­රම වන නියා­යෙන්..
හද­වත් රෝග­යක් නව වෙද විදු නුව­ණට
අසු­වුණ බව පැවැ­සුණේ එයින් මෑත කාල­යෙයි..

සිංහ­ල­යෙ­නුත් ඒ රෝගය හැඳින්වෙන්නේ
අප සැම දන්නා ලෙසට “හාර්ට් ඇටෑක් ”යනු­වෙනි..
මහ­සො­හොනා, රීරි යකා හා කඩ­ව­රයා
තිදෙනා ඒ රෝග­යෙන් මිය­ගොස් ය දැන් නැති උන්

සිරි­ලාල් කොඩි­කාර

(ජ්‍යෙෂ්ඨ පුව­ත්පත් කලා­වේදී සිරි­ලාල් කොඩි­කාර මහතා කවු­රුනුත් දන්නේ රංචා­ගොඩ ළමයා යැයි කියූ විටය. ඔහු රංචා­ගොඩ ළමයා නමින් මුලින්ම ලිය­න්නට පටන් ගත්තේ ඇත්ත පත්ත­ර­ය­ටය. ඔහුගේ කවි වල තිබුණේ උප­හා­ස­යයි, ඔහු ඒ උප­හා­සය මතින් සමාජ අසා­ධා­ර­ණය පිළි­බඳ කතා කළේය. ඒවාට සියුම්ව පහර දුන්නේය. දැන් රංචා­ගොඩ ළමයා අනූ හතර වැනි වියෙහි පසු වන්නේය. ඔහු උපැස් යුවළ නොද­මාම පොත පත කිය­ව­න්නේය. ලිය­න්නේය. පන්නි­පි­ටිය සිය දිය­ණි­යගේ නිවෙසේ සුවෙන් වෙසෙන ඔහු බැලී­මට ගියෙමු. ඒ ගිය ගම­නේදී රංචා­ගොඩ ළමයා අප අතට පත්කළ කවි පෙළකි මේ. එය ඊට දින කිහි­ප­ය­කට පෙර ඔහු විසින් ලියන ලද්දකි.)

- ඉසවි


සෙව්වන්දි

නිමිත්ත - නුව­ර­එ­ළිය රෝහ­ලට යන අද්දර
ගල්වැ­ටිය අතරේ එක් කුඩා රෝස කුසු­මක් පිපී තිබුණි.
ගල් වැටිය අත­රින් එබි­කම් කරනා
පවනේ සැලෙ­මින් හිනැ­හෙනා
සෙව්ව­න්දියේ...
වෙන තැනක් තිබු­ණේම නැද්ද ඔබට
මෙලොව එළිය දකි­න්නට
මේ ගල් වැටිය හැර...
පෙති එක එක දිග හැරෙ­න්නට පෙර
වන­සන්න බම­රෙක් පැමි­ණෙ­න්නට පෙර
ස්නේහය බෝ දුරයි
වැන­සෙ­න්නට එක් නිමේ­ෂ­යක් ඇති
ඔබ
වික­සිත වූ තැනම මුකු­ලිත වන්න
රුදුරු මිනිස් ඇස­කට හසු­ව­න්නට පෙර


සෝම­ලතා වෛද්‍ය­රත්න


හිනැ­හෙන වන්නිය

පරදා නියං රකුසා ජය අතට ගෙන
මගෙ වන්නි­යට සුර දිය බිඳු පතිත විණ
තුරු­ලිය පිබි­දෙ­මින් යළි නව සුවය දෙන
වැඩි ඈතක නොවේ සළු­පිළි අඳින දින

කොර­පොතු මතු වෙවී වැව් කතගෙ දෙප­තුලේ
ගිම්හා­නයේ බිහි­සුණු බවකි ඇති කළේ
සීතල වුණා සතු­ටුයි අපට වා තලේ
අම්මා තබයි ළිප උඩ නැවත කේතලේ

යායට පැහෙන­කොට හෙට හේනයි කුඹ­රයි
වැව් දිය වාන බිඳ­ගෙන පිට­තට උතු­රයි
ගම් මාව­තෙන් දිග­ටම කාපට් අතු­රයි
හිඟ නැහැ අපට මින් පසු කෑමයි වතු­රයි

සූරිය මැද­ගෙ­දර


ආදරයද මේ

කොපුල් තලාවේ කඳු­ළැලි - ගලා ගිය හෙයින් නිත­රම
වසර ගණන් දැන් ඇත කුණු කිලිටි සේදි­ලා‍
­දෙ­තොල් ලවණ රස වියැකී - යන්ත­මට පෙඟී මිහි­රෙන්
­ඔ­බට පුද­න්නට හස­රැලි කැකුළු පීදිලා

අන්ධ­කා­රයේ සපැ­මිණි - ගමන කෙළ­ව­රක් වන ලෙස
හිරුත් සඳ තරුත් එක­වර හිතට පායලා
සංව­රයි ඔබේ දෙනු­වන - පැහැ­දි­ලියි කියන බස­මට
යළිත් පෙම් රසින් මුළු ජීවි­තය නෑවිලා

රැයේ ගන­ඳු­රට රහ­සින් පිදූ සුන්ද­රම ප්‍රේමය
ලෝක­යට හොරෙන් තව­දුර - මොටද සඟ­වලා
බියේ නොසැ­ඟවී නිත­රම - අතේ වෙළී වෙළී එන්නෙමි
ඔබේ උර­හි­සට මගෙ දුක් කඳුළ පව­රලා

මෝදු වී හෙමින් කවි හිත - පාර හොය­නවා ආයෙම
සොඳුරු ඉස­ව්වක නැවතී හිඳි­න්නට සිතා
හාදු මේ තරම් සොඳුරු ද - හීන­යක් වගේ දැව­ටුණ
සුසුම ළය නිවයි ආදර මිහිරි තනු පතා

කවක් කියන විට නැත්නම් - අකුරු කරන විට පද පෙළ
මගේ ඉදි­රි­යෙම හිනැ­හෙන අයුරු ඇවිල්ලා
ඉවක් පෙර සිට ම තිබුණි ද දකි­න්නට බිඳුණු හද­වත
ළතැ­වු­ලෙන් මිදෙමි නොසැ­ලෙමි නැවත හුහුල්ලා

හැංගිලා පිදූ හාදුව - ණය බරක් දිදී තව­මත්
ගෙවා­ගන්න බැරි ලෙස වැල් පොලිය වැඩි­වෙලා
දැන් ඉතින් ගෙව­න්නට එය - අව­සර ද ඔබේ ළය මත
තුරුලු වී හාදු වැස්සක ඔබට නහ­වලා


ශ්‍රියා හිඳු­රං­ගල


මානය

පාවෙන වලා­වක් දැක
පිපි­රෙ­තැයි නොම ­සිතා
උඩ­ගිය තරම්
­බැ­ලු­මක්...
වැද හිරුගෙ සැඬ කිරණ‍‍
‘ඩෝං’ යැයි
පිපි­රුණා මහ­හ­ඬින්...

තුෂාරි නේරංජා වික්‍ර­ම­සිංහ


වලා­කු­ළක්

ලියා නිම­වුණ පසුව
හමුව වෙන්වුණ මොහොත
හිස් තැනක් විය සැඳෑ­වක
අඳුරු බට­හිර වෙරළ


මලිඳු කාවින්ද කුමා­ර­සිංහ


තාත්තාගේ මර­ණය

වැල් කැඩුණු පුටු­වයි
කේඩෑරි වූ පන් පැදු­රයි
ඉකි බිඳින බණ පොත
තාත්තා සිහි ගන්වයි...

වසර ගණ­නා­වක්
කුලුණු බර බැති සිතින්
සෙනෙ­හෙ­බර වද­නින්
කඳුළු පිසදා දෑතින්
සිනා සෙන්නී
මවු පද­වි­යෙන්
සැනැහී...

කැඳ උගුර ගෙනෙ‍න්නී
තොල් පටේ දව­ටන්නී
කෙඳි­රිය අසන්නී
දිවියේ අනි­යත බව කියන්නී...

නෑසේය කිසිදා
තාත්තාගේ සුසුම්
වසා රෙදි කඩ­කින් මුහුණ
ළඟට වී ඉකි­බි­ඳින අම්මා..

වැල් කැඩුණු පුටුව අද්දර
කඳුළු හා පෙම්බස් දොඩ­මින්
වලා කුළු හා රටා විය­මින්
අනි­යත මෙනෙහි කර­මින්
සුළඟ හා පොර බදි­මින්
ගොක් රටා නලි­යන්නේ
ලෙළ­දෙයි සුදු කොඩිය
චාමර පවන් සල­මින්..

මිය ගිය ද තාත්තා
ඇසේ තව­මත් කට හඬ
බලන්නී තිගැස්සී සැ‍ෙණ­කින්
පෙනෙන්නේ බොඳව ගිය
පමණි සිතු­ව­මක අසි­රිය..


පද්ම රංජිත් ගුණ­ව­ර්ධන


සම­නල සිහි­නය

වලා සිප­ගෙන විසල් හිම හිර
සිහිල් පව­නින් වෙලා­ගත් හද
ඉහි­ල්ම­න­සින් කයින් සම­වැද
අවදි වුන සංසාර සෙනෙ­හස

වෙරළ වැලි කැට තුඩින් පිරි­මැද
සයුරු රළ මත පියෙන් පිය මැන
නිහඬ නිස­සල සුනිල දිය­ඹක
අන­න්තය පර­ද­වන සෙනෙ­හස

වෙරළ වැලි කැට තුඩින් පිරි­මැද
සයුරු රළ මත පියෙන් පිය මැන
නිහඬ නිස­සල සුනිල දිය­ඹක
අන­න්තය පර­ද­වන සෙනෙ­හස

ඉරි­තලා විය­ළෙ­මින් මිය­දුන
අසනි වැසි වට සෙමෙන් පිබි­දුන
සිහි­න­යෙන් දිව­ගෑව රස­ඳුන
පණ ගැහී නෙතු සිඹින සෙනෙ­හස

පිපෙන මියැ­දෙන කඳුළු සින­හව
ඉසි­ඹු­වක් නොද­කි­නා­ගිරි මග
සිනා කැන් රැඳි කැකුළු මල් මැද
දුටුව සම­නල සිහි­න­යයි - දිවා­පැය


රෝෂිණී දිසා­නා­යක


සොඳුරු රූ

සඳ මුමුන මුමුන රහ­සින්
මොන­වදෝ කියයි සෙනෙ­හෙන්
තරු ළංව ළංව හිඳි­මින්
කන් යොමා හිඳියි සෙතො­සින්

ගඟ ඇදෙයි සොයා සයුරූ
වැල එතෙයි ගසක මහරූ
රළ වෙරළ සිඹින අයුරූ
මට කියා දුන්නෙ කවුරූ

සඳ පහන් රැයක නුදුරූ
නෙතු සලා හඬින් මියුරූ
‘නුඹ මගෙයි’ කියන අයුරූ
රූ මවා ගනිමි සොඳුරූ


චන්ද්‍රා සෙන­රත්


ඉටු දෙවි­යෝ...

ශිල්ප දුන් ගුරු මවු වරු
මිහි­තලේ අපෙ දෙවි­වරු
විදු­බිමේ පන්තියේ හිරු
එළිය දී දිවි සරු­කෙරු

මවු­පි­යන් මෙන් සෙනෙ­හ­සින්
සිත් තැවුල් පලවා මෙතින්
කරන මෙහෙ­වර ගුණ නැණින්
සිහි­ක­රමු ගරු බුහු­ම­නින්

මඟ තොටේ­දිත් වැදුම් ලබනා
දියු­ණු­වෙදි අපෙ නිබඳ පිපෙනා
පර­පුරේ ඉටු දෙවිඳු වෙමිනා
සිටි ගුරු­දෙවි පුදමු බැතිනා


පිය­සේන එම්. පති­රාජ


රත්ත­රනේ ආයෙම එන­වාද

සුදු සළු එළා­ගෙන අග­යත් බුම්මාන
පර­මල් බිම බදා­ගෙන කඳු­ළැල් වගු­රාන
සුළැ­ඟිලි මුළාවී දු සත් පිය­වර ලූ එල්ලාන
අප්පච්චි මම වෙමි තම දෝතින් සිය වස්තුව වැළ­ලුව

තරු ඉල්ලා හැඬුදා මව් හඳ නැළ­විලි ගී කිව්වා‍
­හී­නෙන් හිනා­වෙන කොට නොරි­දෙ­න්නට රතු කම්මුල් සිම්බා
ගිරා පැටික්කී ඈ සිහි­කොට නිත­රම වාගේ ඇඬුවා
ඉවසා ගන්ට බැරි තැන ඉබේ­ටම මට කූඩුවෙ දොර ඇරුණා

තත් සිඳු­ණාම වීණා­වක සප්ත­ස්වර අම­යුරු වේද
පිනි මිදු­ණාම ගැබ්බර වලා­වක කත කිර වරා­විද
දුක හිතු­ණාම ඉර­කට කෑ ගහලා ඒ දුක කීවැකි ද
මේ සා දුකක් මගෙ දුවේ අප්ප­ච්චිට බර වැඩි නේද...?

රංකඳ කොහේ හරි ඉඳන් අප්පච්චි තව­මත් හොය­න­වද
පිංකඳ නිසා සත් දෙවි­වරු ඇවි­දින් දූ නළ­ව­නවා නේද
දහ දුක් වින්ද මුත් කව­දා­වත් නොරි­දුණු මේ පපු කන්ද
අද රිදෙනා හැටි දැනි­ලා­වත් මගෙ රත්ත­රනේ ආයෙම එන­වාද


ගයාන් ඉන්දුල කොඩි­තු­වක්කු


දුවේ

කටු තලා‍
­පා­ව­හන්
කටු හිඳී
නුඹේ පා සිප­ග­න්න‍
­රි­දුම් වුව
ආද­රෙන් විඳ­ගන්න
හුරු­වු­නොත්,
කටු කියා­දෙයි
නුඹට
දුක දිනා
ජීවි­තය ජය­ගන්න


එන්.ඩබ්.පී. ලාල්


ඇඳි­රියේ සේයා

අව­රට හැරී දින­කර බැස ගියපු පැයේ
වට­පිට ඇඳි­රියේ සේයා මැවිල තියේ
තනි­යට නතුව සිති­විලි බොඳ වෙමිනි ළයේ
දඬු වැට මායි­මට නික­මට පරිදි ගියේ

මුළු දහ­වල පුරා ගී ගැයු විහඟ නලා
ගොළු වත සුරැක පරි­ස­ර­යම නිහඬ වෙලා
බැලු හැම අතම දල්වා කන­මැ­දිරි නිලා
කළු­වර සිදුරු කර දසු­නක් ජනිත කළා

ඇඳ­ගෙන සොඳුරු සෙව­ණැලි මිහි­ත­ලය පුරා
හඳ හාමිත් එබෙයි වෙල­පෙති දෙකට ඉරා
කැඳ වා මියුරු ගීරා­වය සවන කරා
නද දෙති පළ­ගැ­ටිත් සිහි­ලැල් ගතිය පෙරා

පිනි­පොද වැටුණු පසු­වදි නිල් තණ බිස්සේ‍
­රොද බැඳ රෑ බදුලු කැල එළි­යට බැස්සේ
වන වැද හිටිය මුව රැළ දහ­වල තිස්සේ
සුව විඳ ගනී විත් කුර­හන් පැල අස්සේ

රැය එල­ඹු­ණෙන් තම මෙහෙ­වර නොකර කඩ
සොය මින් අහර වවු­ලන් අර­ඹ­නව වැඩ
සිය ඇඹ­ණිට අම­තන විට රැගෙන ඉඩ
බිය කරු බවකි බක­මූණා නගන හඬ

වන පෙත සිසාරා මඳ­නල කුමරි එන
ගෙන එයි ගත සිසිල සියො­ළඟ වැලඳ ගෙන
පැන ගෙන ඇවිත් හා පිරි­වර ඉපිල මන
තැන තැන සරයි උඳු­පි­ය­ලිය රසය දැන

ගොම් මන් අඳුර එන­විට පැල තුළට ගලා
ඉන් බැහැ­රට අවුත් වැට මායි­මට වෙලා
සුන්දර දසුන් වෙත නිර­තුරු නයන හෙළා
තුන් රැය පුරා­වට තනි­කම බැහැර කළා


අප­රැක්කේ සුනිල්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.