ජීවිතය පාට කරන නවකතාවක් | සිළුමිණ

ජීවිතය පාට කරන නවකතාවක්

කෘතිය - වණ්ණා දාසි

කර්තෘ - කත්‍යානා අමරසිංහ

ප්‍රකාශක - සූරිය ප්‍රකාශකයෝ

සිංහල නවකතාවේ ගමන් මග බොහෝ දුරට ඇනහිට ඇතැයි විචාරකයින් පවසන බව බොහෝ විචාරක ලිපි ලේඛන පරිශීලනය කරන විට නැ‍ඟෙන කරුණකි එය එසේ ම යැයි අවංකව පැවසිය හැකි ද? බොහෝ විචාරකයින් නව කෘතීන් සැලකිල්ලෙන් කියවන්නේ නැති බව ද, තවත් සමහරකුගෙන් නැගෙන චෝදනාවකි. ඒ කෙසේ වෙතත් සිංහල නවකතාවේ ගමන් මග අතරමග නැවතී ඇතැයි පැවසීමට ප්‍රබල හේතු සාධක නැත.

උසස් නවකතාවක් රචනා කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

උසස් නවකතාවක් රචනා කිරීම සඳහා අඩුම වශයෙන් අවරුදු හතළිස් පහක්වත් පසු කළ යුතු යැයි මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ‍උසස් නවකතාවක් රචනා කිරීම මොනතරම් භාරධූර කාර්යයක් දැයි ඉහත ප්‍රකාශයෙන් ගම්‍යවනු ඇත.

නවකතාව පිළිබඳව විචාරයන් එසේ තිබියදී අප වටහාගත යුත්තේ කියන්නන් වාලේ කතාන්දර ලිවීම නවකතා නොවන බවය. දැනට ලෝකය තුළ පවතින විචාර ක්‍රම අනුව ප්‍රධාන වශයෙන් නිර්මාණ විචාරය කිරීම සඳහා ක්‍රම තුනක් යොදා ගනිති.

1. යථාර්ථවාදී විචාර ක්‍රමය

2. මාක්ස්වාදී විචාර ක්‍රමය

3. පශ්චාත් නූතනවාදී විචාර ක්‍රමය

නවකතාවක් යනු කතාන්දර කීමේ කලාවක් බව ඇත්තය. එහෙත් එම කතාව තුළ පවත්නා පන්ති සමාජය ද මිනිස් සන්තානයේ හටගන්නා මිනිස් සබඳතා ද නවකතා කලාවට අනුරූපව විග්‍රහ විය යුතු ය. එසේ නැත්නම් එය නවකාතවක් ලෙස සැලකිය නොහැක. නවකතාවක මූලික කර්තව්‍යය විය යුත්තේ සමාජය මතුපිට පවතින දාශ්‍යමානයට යටින් පවත්නා යථාර්ථය සමාජ භෞතික දේශපාලනය මත තබා විග්‍රහ කිරීමත් මනුෂ්‍ය ජීවිතය දෙස නව ආකාරයකින් බලන බව පාඨකයාට පසක් කිරීමත් ය.

ඒ අයුරින් බලන කල මෙම කතුවරිය නවකතාවක් ගොඩනඟන ආකෘතිය ද අන්තර්ගතය ද එකිනෙකට සමපාත කරමින් තම දෘෂ්ටිවාදය නවකතාව හරහා සමාජයට ප්‍රදානය කරන බව පෙනේ.

සියලුම දේ විකිණෙන සමාජයක ස්ත්‍රියකට විකිණීමට ඇත්තේ තම ශරීරය පමණි. ජීවන ගමනේ ඉදිරියට යෑමත් තම දියණිය හදා වඩා ගැනීමටත් අමාගේ මවට සිදුවන්නේ තම ශරීරය පිරිමින්ට පූජාකර මුදල් උපයා ගැනීම ය. අමා මෙම සිද්ධිය සමාජයෙන් වසං නොකරයි. ඇය ඒ බව එඩිතරව ප්‍රකාශ කරයි. නමුත් ප්‍රශ්නය වන්නේ ඇය ද මේ සමාජ ක්‍රමය තුළම එයින් පෝෂණය ලබමින් කිසියම් විනෝදයක් ලබන බව ය‍. ඇයගේ මව සියල්ල ඇයගෙන් වසන් කළ ද මවගේ කාරිය ඇය ඉවෙන් මෙන් දැන ගනියි. අමා ඒ පිළිබඳව මවගෙන් ප්‍රශ්න කරන්නේ ද නැත. නමුත් ඇය සියල්ල දනියි. ඇය නොයෙකුත් සමාජ බලවේගයනට මැදිහත් වෙමින් තම ජීවිතය ගොඩනගා ගැනීම සඳහා මහත් වෙහෙසක් දරයි. ඇය දෙස ආදරය ද එබී බලයි. ඇයට ආදරය කිරීමට එන්නේ ද මුස්ලිම් තරුණයකි. ආදරයට ජාතිය බාධාවක් නොවුව ද ඇයට එය ප්‍රශ්නයකි.

මෙම නවකතාව මූලිකවම ගොඩනැගී ඇත්තේ ධනපති ක්‍රමය පවතින අප සමාජයේ ස්ත්‍රියක තම ජීවිකාව රැක ගැනීමටත් තම දියණිය ජීවත් කරවීමටත් දරන අප්‍රතිහත උත්සාහය මත ය. ඒ සඳහා නිලමනි නමැති ස්ත්‍රියට සිදුවන්නේ ගණිකා වෘත්තියේ සරණ පැතීමට ය. ඇය ගැනුම් කරුවන් සොයා යද්දී ධනපති පොලිසිය විසින් ම ඇයට අත්අඩංගුවට ගනු ලබන්නී ය. එහෙත් ඉහළ පන්තිවල නම් ගණිකා වෘත්තීය යෙහෙන් සිදු වෙයි. එදිනෙදා ජීවිතය මේ සමාජයේ දෝලනය කර ගැනීම සඳහා නිලමනි දරන උත්සාහය දුටු විට මේ සමාජ ක්‍රමය පිළිබඳව පාඨකයාට ඇතිවන්නේ අපුලකි. එම අපුලම මේ සමාජ ක්‍රමය තේරුම් ගැනීම සඳහා මහත් උපකාරයක් සපයයි. නිලමනි ජීවිතය තුළ ම තම දියණිය වෙනුවෙන් ගෙවන ජීවිතය කෙමෙන් කෙමෙන් නිමාවන විට දියණියට ද සිදුවන්නේ තම මව මෙන් ලිංගික ශ්‍රමිකයකු බවට පත්වී තම ජීවිතය ගැටගසා ගන්නට ය.

මේ පුරුෂ මූලික සමාජයේ ඇයට වෙන විකල්පයක් නැත. අමා (දියණිය) සෙමින් සෙමින් සමාජය‍ට පිය තබමින් නොයෙකුත් රැකියාවල් වල නිරතවීම සඳහා සූදානම් වුව ද ඇයට එය තුළ ද නිදහස් ජීවිතයක් ගත කිරීමට නොහැකි වෙයි. ඇයට හමුවන මිනිසුන් ඒ සඳහා ඇයට අවකාශ නොදෙයි. තමා සේවය කරන රූපවාහිනි සේවයේ ප්‍රධානියාගේ අණසකට යටවෙන ඇය පිළිකා රෝගයෙන් වද විඳින තම මව ගලවා ගැනීම සඳහා ප්‍රධානියාට තම කය පූජා කරයි. නමුත් ඇය එයින් කම්පනයට පත්වන්නේ ද නැත. අමාගේ චරිතයේ වඩාත් ප්‍රබල භූමිකාව එයයි. ඇයට තව තවත් පිරිමි චරිත හමුවෙයි. ඔවුන් සමඟ සමාජ සංවාදයේ යෙදෙන ඇය ඉතා එඩිතරව තම ජීවිතයේ බාධකවලට මුහුණ දෙයි. නවකතාවේ පසුභාගයේදී සමාජ දේශපාලන පසුබිම මතුකිරීම සඳහා කතුවරිය දරන උත්සාහය අගය කළ යුතු ය. මෙහිදී අමාගේ ජීවිතයට සම්බන්ධවන සෂා සහ මාලන් ප්‍රබල චරිත බවට පත්වෙති. මාලන් නමැති දේශපාලන චරිතයේ මෙම නවකතාවේ ප්‍රබල තැනක් ගනියි. කතුවරිය ඔහුගේ මුවට නංවන ප්‍රබල වදන් සමාජය වෙනස් කිරීම පිළිබඳව වඩාත් අර්ථ ගන්වයි.

“දියුණු සමාජයක් කියන්නේ කිසි කෙනෙක් අගතියට පත්වෙන්නේ නැතුව හැමෝටම එක විදියට ජීවත් වෙන්න පුළුවන් තැනක්, ඉතින් අපි හදන්නේ එහෙම සමාජයක් තියෙන රටක් හදන්න”

“ඒ වුණාට රටක් කියන්නේ ඇඳුම් සාප්පුවක් නොවෙයි. ඒක ඒ තරම් සරල නැහැ.”

“සරල දේවල්වලින් ම තමයි අමා සංකීර්ණ දේවල් ගොඩනැගෙන්නේ. එක මිනිහෙක්ගේ පුංචි ක්‍රියාවක් මිලියන ගණනක් මිනිස්සු අනුගමනය කළොත් ලෝකේ වෙනස් කරන්න පුළුවන් කියලා අහලා නැද්ද?

“මේ චක්‍රය කොහෙන් හරි කඩන්න ඕනා නැත්නම් අර සෙක්කුව වගේ අපි කැරකිල්ල හැදෙන කල් එකම තැනක වටේට කැරකැවෙනවා.”

කතුවරිය මතු කරන චරිත හරහා ඇය මතු කරන්නේ මෙම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මාවතකි. ඒ සඳහා ඇය පුද්ගල මනෝමූල අදහස් ඉදිරිපත් නොකොට සමාජ දේශපාලන මතවාද ඉදිරිපත් කිරීම අගය කළ යුතු ය. කතුවරිය නවකතාව අවසාන කරන්නේ සමාජ දේශපාලන මතවාද පෙරටුකර ගෙන ය. අමා ජනතා රැස්වීමක් අමතන විලාශයෙන් නවකතාව අවසන් කිරීම ඉතා වැදගත් ය. ඇය මෙසේ කියයි.

“ඈතට ඈතට විහිදුණු ජනකායට තව තවත් හිස් ගෙඩි නොනවත්වා එක්වෙමින් ගුණනය විය. අන්තිම මිනිස් තීරුවට පිටුපසින් පොලිස් ජීප් රථ එක පෙළට නවත්වා තිබුණි. කාකි ඇඳුම් හැඳගත් මිනිස් රූ පෙළක් අවි අත දරා සිටිති. මට බියක් නොදැනෙයි. ඔවුන් සහ අප අතර හුස්ම ගන්නා දැවැන්ත පවුරක් නැගී සිටින බැවින් අසාමාන්‍ය උද්දාමයක් සමඟ මුසුවූ කිසියම් ආනන්දජනක හැඟීමක් සිරුරේ හැම සෛලයක් පාසාම දිව යමින් සිටියේ ය.

හදිසියේම මම මේ දහස් සංඛ්‍යාත මිනිසුන් කෙරෙහි උපන් ප්‍රේමයෙන් මන්මත් වී සිටියෙමි‍. පොද වැස්ස අතරින් හිරු රැස් එබිකම් කළේ ය. කොළඹ හිතුවක්කාර අහස දෙබෑ කරමින් දේදුන්නක් පායා එමින් තිබුණේ ය.”

ඇයගේ මෙම අවසානය තුළින් මතුවන්නේ “අදහස් මහජනතාව ග්‍රහණයට ගත් කල්හි අතිප්‍රබල ද්‍රව්‍යමය බලයක් බවට පත්වන්නේ” යයි මාක්ස්ගේ ඓතිහාසික ප්‍රකාශයයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.