නිහඬව ම සමුගත් | සිළුමිණ

නිහඬව ම සමුගත්

ධර්මසිරි රාජපක්ෂ වර්ෂ 1949 සැප්තැම්බර් මස 29 වැනි දින කුරුවිට, එරත්න නම් පිටිසර ග්‍රාමයෙහි උපත ලැබුවේ ය. ඔහුගේ පියාගේ නම පතිරන්නැහැලාගේ මුදලිහාමි ය. මව අප්පු විතාරණ මුදියන්සේලාගේ ඥානවතී රත්නසේකර වූවා ය. රාජපක්ෂ ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ සිරිපා එරත්න මහා විද්‍යාලයෙනි. අනතුරුව, මේ ශිෂ්‍යයා මල්වල ශ්‍රී ඤාණෝභාස පිරිවෙනට ඇතුළු වෙයි. ඔහු දහවෙනි ශ්‍රේණියේ සිටිය දී ‘අකල්වැහි’ නමින් ලියන ලද කෙටිකතාවක්, දිනමිණ පුවත්පතේ පළ විය. විදුහල්පති එම කෙටිකතාව කියවා බලා රාජපක්ෂගේ නිර්මාණ හැකියාව අගය කළේ ය. මෙයින් සතුටු වන රාජපක්ෂ පුවත්පත් හා සඟරාවලට තව තවත් කෙටිකතා රචනා කරයි. අනතුරු ව, රසවාහිනී සඟරාව මඟින් පැවැත්වූ කෙටිකතා තරගයකට ඔහු ‘ආණ්ඩුවේ ඉඩම සහ අපි’ නමින් නිර්මාණයක් ඉදිරිපත් කරන්නේ ය. කෙටිකතා තරගයෙන් රාජපක්ෂට ප්‍රථම ස්ථානය ලැබිණ. පසුව ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ අනුග්‍රහය යටතේ පැවති කෙටිකතා තරග‍යකින් ද, මේ ශිෂ්‍යයා දෙ‍වැනි ස්ථානය දිනා ගනියි. කෙසේ වෙතත්, රාජපක්ෂයන් කෙටිකතා හය හතකට වඩා රචනා කර ඇත.

රාජපක්ෂගේ මව කවියට ඇල්මක් දැක්වූ තරමක් උගත් කාන්තාවකි. මවගේ ඇසුර නිසා පුතුගේ සිත ද ක්‍රමයෙන් කවියට නැඹුරු වෙයි. මීට අමතරව, ගැමි සමාජ පසුබිම මෙන් ම, පාරිසරික පසුබිම ඔහුට බලපෑවේ ය. ඔහුගේ ගම පිහිටා තිබුණේ ශ්‍රී පාදයට සමීපව ය. එබැවින්, එම ගැමි පරිසරයෙන් සුන්දර මෙන් ම, අසුන්දර අත්දැකීම් සම්භාරයක් ඔහුට ලැබිණ. මේ අත්දැකීම් පාදක කරගෙන රාජපක්ෂ කවි රචනා කරයි. ඔහු දේශපාලන විද්‍යා පතපොත ද පරිශීලනය කළේ ය. පාසල් අවධියේ සිටම මේ ශිෂ්‍යයා වාමාංශික දේශපාලනය වෙත නැඹුරු වෙයි. රාජපක්ෂගේ පියා ජීවන අරගලයට මුහුණ දුන්නේ විවිධ බාධක හා දුෂ්කරතා මධ්‍යයේ ය. කලක් සිය වෙළෙඳසලක් පවත්වා ගෙන‍ ගියේ ය. එරත්න ගමේ දිළින්දන් රැසක් සිටි බැවින් රාජපක්ෂ නිර්ධන පන්තියට ප්‍රේම කළේ ය. ඔහු වාමාංශික අදහස් දැරුවේ මේ පන්තිය කලක් ඇසුරු කළ බැවිනි. ඔහුගේ කාව්‍ය නිර්මාණවලට ද නිර්ධන පන්තිය විෂය විය.

මල්වල ශ්‍රී ඤාණෝභාස පිරිවෙනෙන් උසස් පෙළ සමත් වන මේ යෞවනයා වර්ෂ 1972 දී පේරාදෙණි සරසවියට පිවිසෙයි. එහෙත්, ඔහු නොබෝ කලකින් කැලණිය සරසවියට ඇතුළු වී, සිංහල විශේෂ උපාධියක් හදාරයි. සරසවි අවධියේ ‍දී ඔහුගේ සිත කාව්‍ය රචනය කෙරෙහි ඇදී ගියේ ය. විමල් දිසානායකයන් විසින් මෙහෙයවන ලද නිර්මාණ පන්තියට හෙතෙම සහභාගි වූයේ ය. එම පන්තියේ ආලෝකයෙන් රාජපක්ෂ සිය නිර්මාණ කුසලතාව ප්‍රගුණ කර ගනියි. වර්ෂ 1975 දී ‘ඉතින් සහෝදරවරුනි’ නමින් කාව්‍ය සංග්‍රහයක් හේ පළ කළේ ය. එහි ඇතුළත් “වහ බීපු නෝනෙ නංගිට” යන පද්‍ය පන්තියෙන් මේ තරුණ කවියාගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහයේ සාර්ථකත්වය පෙනෙයි.

සඳ අහසේ හිනාවුණේ
කොළ සෙලවී හීන් පවන්
සැලී සැලී නොසැලී වාගේ
හීන්සැරේ ඇදී ගියේ

කවියාගේ බස හැසිරවීමේ අපූර්වත්වය නිසා ශබ්ද රසය ඉස්මතු වෙයි. වචන යොදන විලාසයක්, අවස්ථාවට ගැළපෙන වචන තෝරා ගැනීමත්, නිසාත් ශබ්ද රසය දැනවෙයි. “සැලි සැලි නොසැලී වාගේ” යන යෙදුමෙන් සුළඟ හීන් සීරුවේ හමායන ශබ්දය අපට ඇසෙන්නාක් සේ ය. ‘සැලී’ යන වචනය තෙවරක් ම යෙදීම ඒ සඳහා බලපා තිබේ. චන්ද්‍රරත්න මානවසිංහගේ “පෙති අතරින් සැලි සැලී” පද්‍යය මෙහිදී සිහිපත් වෙයි. රාජපක්ෂගේ මේ කාව්‍ය සංග්‍රහය සැලකිය යුතු පාඨක පිරිසකගේත්, සාහිත්‍ය විචාරකයන්ගේත් අවධානයට පාත්‍ර විය.

රාජපක්ෂ කවියා සරසවියේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ අතර ජනතා ලේඛක පෙරමුණේ සභාපතිවරයා ද වූයේ ය. සරසවියෙන් උපාධිය ලබාගැනීමෙන් පසු රාජපක්ෂ මල්වල ඤාණෝභාස පිරිවෙනට ගොස් ගුරුවරයකු වශයෙන් සේවය කළේ ය. අනතුරුව, හේ මාතර මහා මන්තින්ද පිරිවෙනේ ද ඉගැන්වූයේ ය. ප්‍රථමයෙන් ම රජයේ ගුරු පත්වීමක් ඔහුට ලැබුණේ ර/ බුත්කන්ද විද්‍යාලයට ය. පසුව, රාජපක්ෂ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා ගනියි. පසුකලෙක, හෙතෙම තමා ඉගෙන ගත් එරත්න මහා විද්‍යාලයට ස්ථාන මාරු වී යයි. එහෙත්, විශ්‍රාම ලබන තෙක් ගුරු සේවයේ නිරතවීමට ඔහුට ඉඩ ප්‍රස්තා නොලැබිණ. දැඩි ලෙස ගිලන්වීම නිසා රාජපක්ෂ ගුරු වෘත්තියෙන් සමුගත්තේ ය.

1985 වර්ෂයේදී මේ කවියා “ශක්තියේ පුෂ්පය” නමැති කාව්‍ය සංග්‍රහය පළ කරයි. “ගමේ කවියා සහ විදග්ධ කවියා” එහි එන රසයෙන් පිරුණු හරවත් පද්‍ය පන්තියකි.

මට වඩා ඔබ මිතුර
උතුම් මනු දහම් ගෙන
නා ගසේ මල් විලස
සුවඳ පතුරන ගමට
එම වගක් නුඹ නොදැන
මා පුදන කරුණ කිම

ගමේ කවියා තුළ තිබෙන උතුම් මිනිස් ගුණාංග මෙයින් ධ්වනිත වන්නේ ය. “නා ගසේ මල් විලස” යන උපමාව අවස්ථාවෝචිත ය. නා ගහේ මල්වල සුවඳ හාත්පස පැතිරී යන්නා සේ ම, ගමේ කවියාගේ මානවදයාව නිසා ගමට ම සෙතක් සිදුවෙයි. එහෙත් ගැමි කවියා තමා තුළ තිබෙන වටිනාකම නොදන්නේ ය.

“නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව” මේ කාව්‍ය සංග්‍රහයේ එන අපූර්ව නිර්මාණයකි. 2017 වර්ෂයේ සිට අ.පො.ස (උ.පෙළ) විභාගය සඳහා නිර්දිෂ්ට නූතන පද්‍ය සංග්‍රහයට උක්ත කවි පන්තිය ඇතුළු කර තිබේ.

“කුප්පි ලාම්පුවේ දැල්ල මිලින කොට
පිඟන් කටු කෑල්ලක් ගෙන
කිරි පිහිය මුවහත් කරමින
සොඳුරු වූ රහසිගත සෙනෙහෙ වීණාව ගෙන

.....................

“නිදිවරන නැගණියනි,
රළු ය
නුඹෙ අත
කිරි පිහියට...”

මේ පද්‍ය පන්තියෙන් ධ්වනිත වන්නේ ජීවත්වීම සඳහා නැගණිය කරන අරගලයයි. ඕ වෙහෙස නොබලා වැඩ කරන්නීය. “වය වයා මිහිර විඳ” යන යෙදුමෙන් රැකියාව තෘප්තියෙන් කරන බව විශද වේ. දෙනගම ඥානවතී අමානුෂික ලෙස මරා දැමීම විෂය කරගෙන රාජපක්ෂයන් විසින් රචිත “තලමලේ” කවි පන්තිය නන්දා මාලනීගේ “කිඳුරියකගේ විලාපය” කැසට් පටයේ ඇත. එය ගීතයක් බවට පරිවර්තනය කොට ගුණදාස කපුගේ හා නන්දා මාලනී ගායනය කළහ.

දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර
බිම හෙළලා අර ගෙනම තලමල

උක්ත ගීත ඛණ්ඩයෙන් ගම්‍ය වන්නේ සාහසික අපරාධ මේ බෞද්ධ රටේ සිදුවූවත්, අපරාධකරුවනට දඬුවම් නියම කිරීමට දෙවියන් වත් ඉදිරිපත් වන්නේ නැති බවයි. මෙහි වේගවත් රිද්ම රටාවක් ගැබ් වෙයි.

වර්ෂ 2003 වර්ෂයේ දී රාජපක්ෂයන් විසින් රචිත ‘සඳවතුර’ බොහෝ කලක් අත්පිටපතක් ලෙස තිබිණ. වර්ෂ 2010 දී ඔහුගේ යහළුවෝ මෙය තෙවැනි කාව්‍ය සංග්‍රහය වශයෙන් පළ කළහ. රාජපක්ෂ කවියා වසර හයක පමණ කාලයක් ඇවිදීමට පවා නො හැකිව දුක්ඛිත ජීවිතයක් ගත කළේ ය. ඔහු 2016 නොවැම්බර් මස 04 වැනි දින කලුරිය කළේ ය. කොළඹ නගරයෙන් ඉතා දුරස්ථව ජීවත් වූ නිහඬ කවියකු වූ ධර්මසිරි රාජපක්ෂයන්ගේ අගය බොහෝ දෙනෙකුට නො දැනිණ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.