මහ පාරේ මනුස්සකම් කොයින් ද? | සිළුමිණ

මහ පාරේ මනුස්සකම් කොයින් ද?

ඉරිදා පුවත්පතක කවි පිටුවෙන් උපුටාගත් මේ ප්‍රබන්ධයෙන් ප්‍රධාන සාධක දෙකක් මතු කර ගත හැකි ය. එක; මනුෂ්‍යත්වය පිළිබඳ පාඩමක් කියා දීම ය. දෙක; ඉතා සරල සිද්ධියක් ඔස්සේ සුන්දරත්වය මවන්නේ කෙසේ ද යන පාඩම අප හමුවේ තැබීම ය. රචකයා ගුණසිංහ හෙට්ටිආරච්චි ය. ඔහු සිද්ධියක් නිරූපණය කරන ආකාරය ද හරි අපූරු ය.

දරුවා හිස පැළැඳි පුංචි හෙල්මටය මහ පාරට වැටී කරකැවී කවියා ගේ දෙපාමුල නවතින ආකාරය සජීවී දසුනක් ලෙස සහෘද මනසෙහි මැවෙයි. නිරූපණය යනු නව ප්‍රබන්ධ විධි විෂයයෙහි ප්‍රධාන ශිල්පීය ලක්ෂණයකි. සජීවී චරිත හා විශ්වසනීය සිද්ධි නිරූපණයට කවියෝ මහත් ආයාසයක් දරති. ගුණසිංහ හෙට්ටිආරච්චි ආයාසයකින් තොරව අපූරු නිරූපණයක නිරත වෙයි. පුංචි දරුවා, පියා, මව අප ඉදිරියෙහි සජීවී දසුන් මවති.

බිම වැටුණු පුංචි හෙල්මටය කවියා විසින් අහුලාගෙන අයිතිකරුවන් වෙත භාර දෙනු ලැබේ. පියා “අනේ බොහොම පින්!” කියයි. මව තුති හිනාවක් නඟන්නේ හැකිතාක් හිස පහත්කොට ය. පුංචි දරුවා කට ඇ‍රගෙන බලා සිටි. අපූරු දර්ශන පෙළක් මැවෙයි. සමාදානයෙන් කල් ගෙවන පුංචි පවුලක් අප සිහියට නැ‍ඟෙයි. කවියා පුංචි දරුවා ගේ කම්මුල සෙමෙන් මිරිකන්නේ ආදරය වැඩි කමට ය. සුරතල් දරුවා හිනා යායක් පෑ බව කවියා කියයි. ආදරය ඉදිරියේ සියල්ල අමතක කළ හැකි ය. කවියා කිසියම් සිදුවීමක් නිරීක්ෂණය කරන ආකාරය ද වැදගත් ය. ඔහු ඉතා සරල සිද්ධියක් ඔස්සේ මනුෂ්‍යත්වය මේ යැයි අපට කියා දෙයි.

මනුෂ්‍යත්වය යනු ලෝකයේ ප්‍රධාන මාතෘකාවකි. එක අතෙකින් ලෝක ප්‍රජාව මනුෂ්‍යත්වය ඉල්ලා සිටී. තව අතෙකින් අන්තර්ජාතික ආයතන එය ගොඩනැඟීම සඳහා ක්‍රියා කරයි. නූතන ලෝකයේ මානව සබඳතා බිඳවැටීම පිළිබඳ අභියෝගයක් පවතින අතර කලාකාරයෝ එය විවිධාකාරයන් ප්‍රකාශයට පත් කරති.

මහ පාරේ මනුස්සකම යනු ඉතා යෝග්‍ය හෙඩිමකි. එහි යම් උත්ප්‍රාසයක් ද තිබේ. මනුෂ්‍යත්වය අන්තයට ම පිරිහී ඇත්තේ මහ පාර උඩ ය. රියැදුරෝ මගීන් ගැන ද, පදිකයන් ගැන ද තඹ දොයිතුවකට නො සලකති. ඔව්හු අනෙකා පරයා යෑමේ බලවත් තරගයක යෙදී සිටිති. පොදු ව්‍යවහාරයට අනුව ඩ්‍රැයිවර්ලා ඊයේ යෑමට තිබූ ගමනක් අද යති. අධික වේගය, සංඥා නොසැලකීම, අපරික්ෂාකාරී රිය පැදවීම ඔවුන්ගේ පොදු ලක්ෂණ බවට පත් වැ තිබේ. මීට අදාළ ගීතයක් “T - 20” නම් ටෙලි නාට්‍යයේ වාදනය වෙයි.

“කහ ඉරි ළඟ ඉඳල බෑ
‍ඩබල් ඉරිත් නොකප බෑ”

මේ ගීතයෙන් කියැවෙන්නේ ඉලක්කය කරා ගමන් කිරීම සඳහා සියලු නීති - රීති හා සම්ප්‍රදායයන් කඩා - බිඳ දැමිය යුතු බව ය. එය නූතන ධනපති ලෝකයේ චින්තනය හා ස්වාභාවය බවට පත් වැ තිබේ. මේ ක්‍රියාවලියෙන් බිඳ වැටෙන්නේ ද, විනාශයට පත් වන්නේ ද මනුෂ්‍යත්වය යි.

කවියා ඉහත සිද්ධිය ඔස්සේ ප්‍රධාන තර්ක දෙකක් ගොඩනැඟීමට උත්සාහ කරන බව පෙනෙයි.

(I) සාමාන්‍ය පවුල්වල මනුෂ්‍යත්වය තිබේ.

(II) සරලත්වය තුළ සුන්දරත්වය තිබේ.

සිද්ධියට අදාළ පවුල ආර්ථික අතින් පොහොසත් නැති බව පෙනෙයි. ඔවුන් භාවිත කරනුයේ යතුරු පැදියකි. යතුරු පැදිය, පා පැදිය හා ත්‍රී‍රෝද රථය දිළිඳු ප්‍රජාවගේ වාහන ලෙස සැලකේ. නීතියට අනුව නම්; යතුරු පැදියක ගමන් කළ හැක්කේ දෙදෙනකුට පමණි. එය ද කළ යුත්තේ ආරක්ෂක හිස් වැසුම් පැළඳගෙන ය. දරුවාට ද පුංචි හෙල්මටයක් ලබාදී ඇත්තේ ආරක්ෂාව හා ආදරය පතාගෙන විය යුතු ය. ඔවුනට සැප කාර් නැත. ඒ අනුව යතුරු පැදියේ දරුවා ද තබාගෙන යා යුතුය. දරුවා සිටින්නේ තෙල් ටැංකිය මත ය. එය ආරක්ෂාකාරී පියවරක් සේ සැලැකිය හැකි ය. දරුවා ආරක්ෂා කරන ආකාරයෙන් ද, හෙල්මටය ලබාදීමෙන් පසු කවියාට දක්වන ප්‍රතිචාරයෙන් ද පෙනී යන්නේ මේ පවුල ළඟ මනුෂ්‍යත්වය රැඳී තිබෙන බව ය.

පුංචි උදව්වක් වෙනුවෙන් පෙරළා කෘතඥතාව දක්වන සිරිතක් නූතන සමාජයට නැත. එසේ කෘතඥතා දක්වන්නේ වුව ඒ කෘත්‍රීම ලෙස අකැමැත්තෙන් ය. උක්ත පවුලේ හැසිරීම අව්‍යාජ ය. මෙහි එන පියා “Thank you!” කියන්නේ නැත. ඔහු කියන්නේ “අනේ බොහෝම පින්!” කියා ය. ඉන් ප්‍රකට වන්නේ අපූරු අහිංසක ප්‍රතිචාර‍යකි. ඔවුන්ට ත්‍යාගයක් දෙන්නට හැකියාවක් නැත. උදව්වක් කළ හැකි වෙනත් ක්‍රමයක් ද නො තිබෙන්නට පුළුවන. එබැවින් හෘදයාංගම ආශිර්වාදයක් ඔවුන් වෙතින් පළ‍ වේ. බිරිය හැකිතාක් හිස පහත්කොට ආචාරශීලීත්වය පළ කරන්නී ය. කවියා ළඟ මෙන් ම මේ පුංචි පවුල ළඟ ද මනුස්සකම් තිබේ.

“අහා!

මේ සා සුවඳ ද මිනිස්දම්

හද පුරා විඳගතිමි සුවඳ මම”

බුදුන්ගේ දහමට අනුව අල්පේච්ඡතාව හෙවත් සරලතාව ය බුද්ධි මාර්ගයකි. ධනේශ්වර ආර්ථික ක්‍රමයේ පුපුරා යෑම ගැන විග්‍රහයක යෙදෙන ආචාර්ය ඊ.එෆ්. ෂූමාකාර් බෞද්ධ අර්ථ ශාස්ත්‍රයක් ගැන කතා කරයි. කුඩා - කුඩා ව්‍යාපෘති ඔස්සේ රටක ආර්ථිකය පොහොසත් කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේදැ’යි පොතක් ලියන ඩේවිඩ් බ්‍රව්න්ස්ටීන් එය කළ හැක්නේ පුංචි මිනිසුන්ට යැයි පෙන්වා දෙයි. ඔහුගේ කෘතියේ ආරම්භක ඡේදයෙන් විග්‍රහ කරන්නේ නොනිදන පුංචි මිනිස් කණ්ඩායම් ගැන ය. ඔව්හු අනලස් ව වැඩ කරති. සාමයෙන් අල්පේච්ඡ ජීවිත ගත කරති. කවියා අප වෙත ඉදිරිපත් කරන්නේ ද එවන් පුංචි පවුලකි.

මේ පුංචි පවුල කෙරෙහි සහෘදය ආකර්ෂණයක් ඇති වෙයි. සිද්ධිය මැවී පෙනෙයි. කවියා මනුෂ්‍යත්වය ඉල්ලා සිටී. කවියා පමණක් නො ව: සමස්ත සමාජය ම මනුෂ්‍යත්වය ඉල්ලා සිටී. කවියා මනුෂ්‍යත්වය සුවඳ යැයි කියා සිටී. එය සත්‍යයෙකි. මේ සුවඳ යනු සන්තෘෂ්ඨිය යි. නූතන සමාජය තුළ සතුට නැත. විශේෂයෙන් ඉහළ සමාජය අතර සතුට නැත. ඔව්හු අනෙකා පරයා යෑමේ තියුණු තරගයක යෙදී සිටිති. මේ තරගයෙහි නිමාවක් නැත. අවශ්‍යත­ාවල ප්‍රමාණයක් නැත. තරගය නිසා ම මානව සබඳතා බිඳ වැටී ඇත. අසහනය සමාජය පුරා පැතිර තිබේ. කවියා හඟවන්නේ මේ පුංචි පවුල ළඟ සැනසිල්ල ඇති බවකි.

කවියා ගේ සරල සුන්දරත්වය තුළ ම ගැඹුරු යටි පෙළක් ද තිබේ. ඉන් කියැවෙන්නේ මුළු මහත් සමාජයෙහි බහුතරයක් අසහනයෙන් කල් යවන බව ය. කෙනකුට ඇත්තේ පීඩනය යි. කෙනකුට ඇත්තේ කලකිරීමයි. පවුල් අවුල්, ඥාති සබඳතා බිඳවැටීම්, සතුරු බලපෑම් මේ අතර පවතී. සියල්ලට හේතුව මානව සබඳතා බිඳවැටීම හා මනුෂ්‍යත්වය සමාජයෙන් පලා යෑම ය. කවියා යෝජනා කරන්නේ මනුෂ්‍යත්වය අපට ගොඩනැඟිය හැකිය යන්න ය. ඔහු එය සුළු සිද්ධියක් ඔස්සේ පෙන්වා දී ඇත.

ගුණසිංහ හෙට්ටිආරච්චි කවියා සිය ප්‍රබන්ධයෙහි ලා භාවිත කරන අපූරු යෙදුම් කිහිපයක් ද පෙන්වා දිය යුතු ය. “මූණු තුනක් එක පෙළට” “අනේ බොහොම පින්” “තුති හිනාවක්” “පැන්නා හිනා යායක් මහ පාරට” ඉන් කිහිපයකි. මේ සියල්ලෙන් ම මතුවන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු කතාන්දරයකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.