මුහුදු රළ හා මුසු වූ කවි රළ | සිළුමිණ

මුහුදු රළ හා මුසු වූ කවි රළ

එයා මුහුදු රළ ගැන විශේෂඥ‍ෙයක්

තුෂාර ද සිල්වා කවියා පිළිබඳ ව මීට ටික කලකට පෙර එසේ මා සමඟ ප්‍රකාශ කළේ මාධ්‍යවේදී සමන් සී. ලියනගේ සොහොයුරා ය. මෙය උපහාස කියුමකි. මේ දිනවල පැවැත්වෙන සමාජවාදීන්ගේ තරුණ සමුළුවක් සඳහා ලංකාව නියෝජනය කරමින් සෝවියට් දේශයට ගිය ඇතැම් මහල්ලන් සමඟ තරුණයකු ලෙස ගමන් ගත් ඔහු එකල ලියූ ඇතැම් කවි පුවත්පත් කවි පිටුවල පළ විය. කොඩිගලකන්ද එසේ ලියූ සාර්ථක රචනයකි. සමන්ගේ ප්‍රකාශය උද්ධෘත කොට ගත්තේ ඔහු පිළිබඳ ලිවීමට නොව තුෂාර ද සිල්වාගේ සාහිත්‍ය භාවිතය මාතෘකා කොට ගැනීම පිණිස ය. තුෂාර වෘත්තියෙන් නීතිඥයෙකි; හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි; කවියෙකි; බුද්ධිමය දේපළ විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ප්‍රාමාණික දැනුමැත්තෙකි. මේ දිනවල ඔහු එම විෂය ආශ්‍රිතව තම ආචාර්ය උපාධි නිබන්ධය සම්පාදනය කරමින් සිටී. මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම්, සමථ මණ්ඩලය බුද්ධිමය දේපළ හා ප්‍රකාශන අයිතිය යනාදි ශාස්ත්‍රීය පොත් ද, පංචයුධ කුමාරයා, ඉගිළෙන කණකොක්කු, ඉද්දමලී කව් මුතුමිණි යනාදී ළමා හා යොවුන් සාහිත්‍ය පොත් ද මුහුදු රළ වගේ, මුදු දම කඳුළු බිඳුවකි, හේමමාලි (සම සංස්කරණ) යනාදී කාව්‍ය සංග්‍රහ ද ඔහු පළ කර ඇත. ‘මුහුදු ම කඳුළු බිඳුවකි,’ ඔහුගේ අභිනව කාව්‍ය සංග්‍රහයයි. සමන් සී. ලියනගේ සඳහන් කළ පරිදිම කවියෙහි දී ඔහු මුහුද පිළිබඳ විශේෂඥ‍ෙයකි. ඔහුගේ කවිවලින් බොහොමයක, මුහුද පිළිබඳ අත්දැකීම් අන්තර්ගත වේ.

ඔහුගේ උපන්ගම හික්කඩුවේ නාරිගම යි. ඔහුගේ නිවස පිහිටියේ වෙරළාසන්නයේ ය‍. මුහුදු රළ චණ්ඩ වන සමයෙහි රළ බිඳිති නිවෙස මායිම දක්වා ඉහිරේ. නැඟී බිඳී විසිරෙන පෙණ කැටි තුෂාරගේ මනස් සිතුවමෙහි සදාතනික රේඛා සටහන් කර ඇති බව පෙනේ. “මම මුහුද” ඔහුගේ අලුත් කවි පොතෙහි ඇති කවියකි.

පුංචි දියණිය
හිතනව ද ඔබ
කිසිවෙකු නොදුටු බව
සොරකම් කරනු
වෙරළෙන් පුංචි සිප්පි කටුවක්
රැගෙන ගියත්
අත්ලෙහි සඟවගෙන
හෙමින් හෙමින්
අඩි තිය තිය
වෙරළටත් නොදැනෙන ලෙස
මට පිටුපස හරවාගෙන
කමක් නෑ
ඉවත බලන් ඉන්නම් මම
හිත රි‍ෙදන නිසා
දුටු බව දැන ගත්තොත් මට
මා දන්න බොහෝ රහස්
ඒ වගයි
කියා ගන්න බැරි
කිසිවෙකුට

මේ වනාහි අතිශයින් සියුම් වූ කාව්‍ය චින්තාවකි. තුෂාරගේ මෙබඳු කවිවල ස්වභාවය වන්නේ මුහුද ආශ්‍රිත අත්දැක‍ිම් රළෙහි පෙනුම හා නාදයට සීමා නොකර ජීවන අත්දැකීමක් බවට සංරචනය කිරීම ය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අදහසක් මෙහිදී සිහිපත් වේ‍‍. කවිය යනු අහස් විමනක් නොවේ යැයි ‍ඔහු ක‍ීය. දෙව්ලොව දිවිය විෂය කරගත් කවියක වුව ද දෙපා මහ පොළොවෙහි පිහිටුවිය යුතු බව ඔහුගේ අදහස විය. තුෂාර කවියා එම සත්‍යය පාදක කොට ගෙන තිබේ. මුහුද ආශ්‍රිත ඔහුගේ කාව්‍ය චින්තා ජීවන සංදේශනා පිළිබඳ හැඟීමක් ඇති කරන සියුම් වියමන් වැන්න. ‘වැඩිහිටි වැටකේ පඳුර’ ද සියුම් කාව්‍ය චින්තාවලියකි.

උදෑසන ම
වෙරළට බසින
තනිකඩ මරක්කලැහේ
පිළිගන්න
හැඳ සුදු ම සුදු ඔසරිය
හිඳී කන්‍යා සුදු වැල්ල
සුළඟ ද සෙමින් අතු ගා රොඩු බොඩු
අන්දවා සුදු ඔසරිය
පිරිසිදු කරයි
සාරි බෝඩරය
මුහුද ද
හැඳ නිල් පැහැ ඔසරිය
නගා කිරි පබළු සිහනව
පෙරළි පෙරළී
සම්බාහනය කරයි පා යුග
උදේ පිපි
බිම් තඹුරු මල්
නො දැන කිසි හොඳ නරකක්
බරට සීතල පිනි බිඳුවක
හාදුවක් තබයි වැලි කැටයකට
රෑ නොදන්නව ඇති ඔබ
මුහුදු ලිහිණින්
ලැග කළු ගල් තඩිවල
නටපු විජ්ජුම්බර
සියලු දේ හඳුනන
වැඩිහිටි වැටකේ ගස්
රැහැන මුදන තෙක් ඔරු කඳෙහි
දැන ගෙන ම නැවත නැවත ද
ගැට ගැසෙන බව
හවසට

කවියා නිතර දකින සොබා දහමේ වස්තූන් හා‍ මිනිස් ජීවිත ඇසුරු කරගෙන ජීවිතය පිළිබඳ පොදු සත්තාවක් විශද කරයි. ජීවිතයෙහි සුන්දරත්වය, සංකීර්ණත්වය හා පතුලක් නැති ගැඹුර පිළිබඳ අවධානයකින් යුක්තව සිත එකඟ කරගැනීමෙන් හොඳ කවියකු වීමේ ස‍ූදානම ඇති කරගත හැකි යැයි මාර්ටින් වික්‍රමසිංහයන් කී පරිදි ම කවියා කිසියම් විදර්ශනාවක් වඩනු වැන්න.

‍ඔහුගේ කාව්‍යානුභූතීන් මුහුදට ම සීමා නොවේ. වෘත්තීය ජීවිතයෙහි ඇතැම් අත්දැකීම් ද කවියට පිවිසේ. ‘වරෙන්තුව’ එබඳු සාර්ථක කවියකි.

සිර කර තබන්නට ඔබ
මගේ හද තුළ ම
වරෙන්තුවක් ඇත මට
කණ අත්සනක් ලෙස
ලේ සලකුණක් තිබෙන
රැගෙන වරෙන්තුව දෝතට
ඇවිද ගියෙමි දොරින් දොර
අන්තිමේදී ඔබ හමු වූයේ
ගුළි ගැහී මගේ හදවත තුළ ම
නිදහස් කරන්න ද ඔබ
විවර කර හදවත
මා අත ඇති වරෙන්තුව
ඉඩ නොදෙයි මට එයට

සත්‍ය වශයෙන් ම ‘මුහුදු රළ වගේ’ කෘතියට වඩා බොහෝ ඉදිරියට පැමිණි කෘතියක් ලෙස ‘මුහුද ම කඳුළු බිඳුවකි’ සඳහන් කළ හැකි ය. අනුභූතික විචිත්‍රත්වය අතින් ද කාව්‍යමය රීතීන්හි උත්කෘෂ්ට බව අතින් ද මේ කෘතිය තුෂාර ද සිල්වාගේ කවියෙහි පරිණත අවස්ථාවක් බව ඔහුට සුබ පතමින් පවසමි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.