මේ සම්මානය මා විස්මයට පත් කළා | සිළුමිණ

මේ සම්මානය මා විස්මයට පත් කළා

තිර පිටපතක් බඳු නවකතාවක්

 

මෑන් බුකර් ජූරි කමිටුව

මෙවර “මෑන් බුකර් ත්‍යාගය” දිනා ගන්නා ලද්දේ අමෙරිකානු ලේඛක ජෝර්ජ් සෝන්ඩර්ස් විසිනි. ඒ, සිය කුලුඳුල් නවකතාව වශයෙන් ප්‍රකාශයට පත්වූ “ලින්කන් ඉන් ද බාඩෝ” කෘතිය සඳහාය. මෙම නවකතාවට පාදක වී ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් ගේ 11 හැවිරිදි පුතු විලී 1862 වසරේදී ටයිපොයිඩ් උණ වැලැඳී ජීවිතයෙන් සමු ගැනීම ලින්කන් තුළ ඇති කළ කම්පනයකි.

සෝන්ඩර්ස්, මෑන් බුකර් ත්‍යාගය දිනා ගත්තේ එය හිමිකරගත් දෙවන අමෙරිකානු ලේඛකයා වශයෙනි. ඉකුත් වසරේදී පළමුවරට එය දිනාගත් අමෙරිකානුවා බවට පත්වෙමින් ඊට හිමිකම් කීවේ පෝල් බෙටීය. ඒ, “ද සෙල්අවුට්” කෘතිය වෙනුවෙනි.

1980 එය ආරම්භයේ සිට 2014 වර්ෂය දක්වා ම මෑන් බුකර් ත්‍යාගය සඳහා හිමිකම් කීමට හැකියාව තිබුණේ බ්‍රිතාන්‍ය හෝ පොදු රාජ්‍ය මණ්ඩලීය රටකට අයත් ලේඛකයකු හෝ ලේඛිකාවකට පමණි. එහෙත්, 2014 වර්ෂයේදී එම සම්මතය වෙනස් කෙරුණේ නිර්මාණය මිස ජාතිකත්වය අදාළ විය යුතු නැති බව පවසමිනි. කෙසේ වුවද කෘතිය ඉංගිරිසි භාෂාවෙන් පළවි තිබීම හා එක්සත් රාජධානියේදී ප්‍රකාශයට පත්ව තිබීම අවශ්‍ය විය.

මෙවර සම්මාන ලාභියා ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඬුල්ල “ලින්කන් ඉන් ද බාඩෝ” කෘතිය අැගැයීමට ලක් කළේ එය විශිෂ්ට මෙන් ම අපූර්ව නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමිනි. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි ද එහි ශෛලියේ ඇති විශේෂත්වය ඇතුළු කාරණා ද සමඟ එය නූතන නවකතාවේ පර්යේෂණාත්මක වෙනසක් සටහන් වන අවස්ථාවකි. එය සමඟ සැසඳිය හැකි නිර්මාණයක් මින් පෙර ප්‍රකාශයට පත්වී නොමැත.

සෝන්ඩර්ස් පවසන පරිදි ඔහුට ජනාධිපති ලින්කන් ගැන ලිවීමට අවශ්‍යතාවක් තිබී නැත. එසේ වුවද සිය පුතුගේ හදිසි අකල් සමුගැනීමෙන් ශෝකයට හා කම්පනයට පත් ලින්කන් ගේ හැසිරීම මේ කෘතියට අවශ්‍ය නිර්මාණවේශය ඔහු වෙත සපයා තිබේ. “මේ කතාව අවුරුදු 20 ක් තිස්සේ මගේ මනසේ ගොඩනැ‍ඟෙමින් තිබුණා.” යනුවෙන් ඔහු පවසන්නේ එම පසුබිම ගැනය. මෙය කෘතියක් බවට පත්වීමට මෙතරම් කලක් ගතවූයේ මන්දැයි බී.බී.සී. ය සෝන්ඩර්ස්ගෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ, “මගේ කතා තරමක් අඳුරුයි, ගූඪයි හරියට විද්‍යා ප්‍රබන්ධ වගේ”... වාර කිහිපයක් ම වෑයම් කළත් මීට කලින් ලියන්න බැරි වුණා...” යනුවෙනි.

කෘතියෙන් 1/3 ක් ලියා නිම කළ මෙය කිසිවකු හෝ කියවන කෘතියක් වනු ඇතිද යන ගැටලුවට සෝන්ඩර්ස් මැදි විය. එහෙත් ඔහු ගේ බිරිය පෝලා එය කියවා ඔහු දිරි ගැන්වීය. කෘතිය සම්පූර්ණ වූයේ එලෙසිනි. සෝන්ඩර්ස් පවසන්නේ තවමත් එය පාඨක ප්‍රජාව විවිධාකාරයෙන් බාර ගනු ඇති බවය. ඉන් ඇතැම් අයකු එය අද්භූත කතාවක් ලෙස දකිනු ඇත. ඔවුන් ඊට රුචි කරනු ඇත්තේ එබැවිනි. තවත් අයෙක් එය ඉතිහාසමය පසුබිම ප්‍රිය කරනු ඇත. කෙසේ වුවද මෙය ලින්කන් වඩාත් ප්‍රිය කළ පුතුගේ සමුගැනීම පිළිබඳ සැබැවින් ම සිදුවූ සත්‍ය කරුණු මෙන් ම සෝන්ඩර්ස් ගේ මනස් සිතුවම් ද නරූපිත ප්‍රබන්ධයකි.

ලින්කන්ගේ පුතුන් තිදෙනකු ම අකාලයේ ජීවිතයෙන් සමුගත්හ. ඉනුත් විලීගේ වියෝව ඔහුට වඩාත් තදින් දැනිණ. ලින්කන් ආර්යාව සිය පුතුගේ වියෝවෙන් පසු යළි ප්‍රකෘති තත්වයට පැමිණීමට අපොහොසත්වූ බව සඳහන් වේ.

විලී මිහිදන් කළ සොහොන් බිමට ගිය ජනාධිපති ලින්කන් සිය පුතු එහි තනිකොට ඒමට නොහැකිව ඔහු දෑතට ගෙන ශෝකවූ බවට රාවයක් ද පැතිරිණි.

“ලින්කන් ඉන් බාඩෝ” නවකතාව ගොඩනැ‍ඟෙන්නේ ජනාධිපති ලින්කන් සිය පුතුගේ සොහොන් ගැබ අසල ගෙවාදැමූ රාත්‍රියක් පසුබිම් කොට ගනිමිනි. සමස්ත ප්‍රබන්ධය පුරා දිග හැරෙන්නේ එම අඳුරු වේදනාබර රාත්‍රියයි. එහි බාඩෝ (bardo) යනුවෙන් දැක්වෙන්නේ තිබ්බතියානු බුදු දහමේ සංකල්පයකි. ඉංගිරිසියෙන් එය පාතාල ලෝකයක් බඳු යැයි අර්ථ විවරණය කෙරුණ ද මරණය සහ ඊළඟ ආත්මයේ උපත අතර ගතවන එම කාලය ගන්ධබ්බ අවධිය වශයෙන් බුදුදහමේ දැක්වේ. එසේ බලන කල “ලින්කන් ඉන් ද බාඩෝ” නවකතාව විලීගේ ගන්ධබ්බ අවදිය හා සම්බන්ධය. විලී එම පාතාල ලෝකයේ නැතිනම් ගන්ධබ්බ අවදියේ සිර වූ අයුරු එහි දැක‍්වේ. ඔහු මිය ගිය ද ඔහුට මරණය තෝරා ගැනීමට නොහැකි වේ. ඔහු අපේක්ෂා කරන්නේ සිය පියා තමන් ආපසු කැඳවාගනු ඇති බවයි. ලින්කන් ද සිය පුතුගේ වියෝව බාර ගැනීමට සිත එකඟ කර නොගත් බවද ඉන් පැහැදිලි වේ. සෝන්ඩර්ස් සිය ප්‍රබන්ධය දෙබස් ස්වරූපයෙන් ගොඩනඟයි. ලින්කන් පිය - පුතු සබැඳියාව මෙන් ම එම රාත්‍රිය විස්තර කරන්නේ අවතාර ලෙස පෙනී සිටින 166 දෙනෙකි. ඒ සියල්ලන්ගේ ම දෙබස් මෙහි ඇතුළත් ය. කතාව කියන්නේ ඔවුන් විසිනි. එය මේ නවකතාවේ වෙනස් ශෛලියට ප්‍රබල සාධකයකි. මෑන් බුකර් ත්‍යාග ප්‍රදානයේ ජූරිය පවා මුලින් සඳහන් කළ පරිදි මේ නවකතාව තිර පිටපතක් බඳුය. එය එක තැන ගල්වුණා වැනිව දිගහැරෙන ප්‍රබන්ධයක් නොවේ, අතිශයින්ම ගතිකය. “ලින්කන් ඉන් ද බාඩෝ” සිනමාවට නැඟීම සඳහා මේ වනවිටත් එකඟතා ඇතිවී අවසන්ය.

පුතුගේ වියෝවත් සමඟ ම වාගේ ජනාධිපති ලින්කන්ට අමෙරිකාවේ උද්ගතවූ සිවිල් යුද තත්වයට මුහුණ දීමට සිදුවිය. ලින්කන් පෞද්ගලිකව වෙළාගත් ශෝකය සහ ජනාධිපතිවරයා වශයෙන් යුද සමයක ඔහුගේ භූමිකාව සමඟ “ලින්කන් ඉන් ද බාඩෝ” නවකතාව එම අත්දැකීම් දෙක එකිනෙක සමීපව තබා ගොඩනඟයි. සිවිල් යුද්ධයේදී තරුණ ජීවිත දසදහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අහිමිවීම සහ ඔවුන් මරණය තෝරා ගත්තේ ද අකමැත්තෙන් වීම මෙහිදී සිහිපත් කරයි. කතාව ගොඩනඟන අවතාර 166 ද ඔවුන් ඒ වනවිටත් මළවුන් බව නොදනී.

මෙය සෝන්ඩර්ස් ගේ පළමු නවකතාව වුවද ඔහු සම්මානලාභී කෙටිකතා කරුවෙකි. තුරුණුවිය ඉක්ම ගිය පසු ලේඛනයට අවතීර්ණ වූ ඔහු කෙටිකතා සංග්‍රහ 4ක් හා කෙටි නවකතා 2ක් එළිදක්වා ඇත. එම නිර්මාණ අතරින් “ටෙන්ත් ඔෆ් ඩිසෙම්බර්” කෘතිය වඩාත් අලෙවි වූ කෘතිය ලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සම්මානයට ද ෆෝලියෝ ත්‍යාගයට ද උරුමකම් කීවේය.

සෝන්ඩර්ස්, මාධ්‍යවේදියකු ලෙස ඉකුත් අමෙරිකා ජනාධිපතිවරණයේදී “නිව්යෝර්ක්” සඟරාව වෙනුවෙන් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ආවරණය කිරීම ද සිදු කළේය.

මෙවර මෑන් බුකර් ත්‍යාගය තමන්ට හිමිවී ඇති බව ප්‍රකාශයට පත්වීමත් සමඟ එක්වරම විස්මයට පත්වූ බව කියා සිටි සෝන්ඩර්ස් එය තමාගේ ඉදිරි නිර්මාණ ජීවිතයට විශාල උත්තේජනයක් වනු ඇති බව පැවසුවේ උද්දාමයෙනි. මෑන් බුකර් ත්‍යාගය වෙනුවෙන් පිරිනැමෙන මුදල් ත්‍යාගය පවුම් 50,000 කි.

සම්මාන ප්‍රදානය සඳහා නවකතා 144ක් තෝරාගෙන තිබූ අතර ඉන් කෘතීන් 13ක් නිර්දේශිත දීර්ඝ ලැයිස්තුවට ඇතුළත් විය. ඒ අතර මීට පෙර බුකර් ත්‍යාගය දිනාගත් අරුන්දතී රෝයි මෙන් ම තවත් සම්මානලාභී නවකතාකරු­ෙවා් කිහිප දෙනෙක් ම වූහ. නිර්දේශිත කෙටි ලැයිස්තුවට කෘති 6ක් ඇතුළත් විණි. ඉන් තිදෙනකුම අමෙරිකානුවන්ය. සෝන්ඩ‍ර්ස් ඉන් එක් අයෙකි. අනෙක් දෙදෙනා පෝල්ඔස්ටර් සහ එමිලි ෆ්‍රීඩ්ලන්ඩ්ය. සෙසු තිදෙනා ෆියෝනා මොස්ලි, වොෂීන් හමීඩ් සහ අලි ස්මිත්ය.

සම්මානයට පාත්‍ර වන විට “ලින්කන් ඉන් ද බාඩෝ” කෘතියේ පිටපත් 10,000 ක් අලෙවි වී තිබිණි. එය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉක්තු වසරේ සම්මාන ලාභී කෘතිය සම්මානය ලැබීමෙන් පසු සතියක් තුළ කිහිප ගුණයකින් අලෙවිය වැඩි විය. මුදල් ත්‍යාගයට අමතරව සෝන්ඩර්ස්ට විශේෂ ගෞරවයක් ද ලැබිණි. ඒ බ්‍රිතාන්‍ය රාජකීය තැපෑල ලිපි හා පාර්සල මිලියනයක “2017 මෑන් බුකර්” සම්මානලාභී ජෝර්ජ් සෝන්ඩර්ස් ෙවත සුබ පැතුම්! යනුවෙන් සඳහන් විශේෂ තැපැල් මුද්‍රාව සලකුණු කිරීමය. සෝන්ඩර්ස් සිරා කෝස් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටී. ‘ටයිම්’ සඟරාව 2013 වසරේදී ලොව වඩාත් ම බලපෑමක් කළ හැකි පුද්ගලයන් 100 දෙනා අතරට ඔහු ද ඇතුළත් කර තිබිණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.