රුසියානු සාහිත්‍යයේ රතුරෝස මල | සිළුමිණ

රුසියානු සාහිත්‍යයේ රතුරෝස මල

වර්ෂ 1852 දී සිදු වූ නිකොලායි ගොගොල්ගේ අභාවයත් සමඟ බොහෝ රුසියානුවන්ගේ විශ්වාසය වූයේ එම අඩුව ඉවාන් ටර්ගිනිව් අතින් පිරවෙනු ඇතැයි කියාය. එහෙත්, සිදුවූයේ අනෙකකි. ටර්ගිනිව් සාර් පාලනය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඊට හේතු වශයෙන් ඉදිරිපත් වූයේ ගොගොල් සිහි කරමින් ඔහු ලියූ සටහනකි. මේ ප්‍රකාශිත හේතුව බොරුවක් බව රහසක් නොවිණි. අත්අඩංගුවට ගැනීමට සැබෑ හේතුව සාර් පාලනය විවේචනය කරමින් ඔහු ලියා තිබූ දෑය.

රුසියානු ග්‍රාමීය ජීවිතයේ පැතිකඩ විවර කරමින් ටර්ගිනිව් 1847 - 1851 වකවානුවේ ලියූ ලිපි එකතුවක් ‘ස්කෙචස් ෆ්‍රොම් අ හන්ටර්ස් ඇල්බම්” මැයෙන් වර්ෂ 1852 දී ප්‍රකාශයට පත්විය. ගොගොල් හැරුණු විට ඔහු තරම් විචිත්‍රවත් ලෙස රුසියානු භාෂාව හැසිරවූ අන් ‍ලේඛකයකු නොවූ බව අතැම් විචාරකයන්ගේ අදහසයි. 19 වැනි සියවසේ රුසියානු ලේඛකයන්ගේ නිර්මාණ ඉංගිරිසියට පරිවර්තනය කිරී‍ෙම්දී එම පරිවර්තන කාර්යය අතිශයින් ම දුෂ්කර එකක් වූ‍යේ ටර්ගිනිව් ගේ නිර්මාණ සම්බන්ධයෙනි. හේතුව ඔහුගේ භාෂා ශෛලියයි. ඇන්ටන් චෙකොව් ගේ වච‍නයෙන් එය විශ්මයජනක ලෙස භාෂාව භාවිත කිරීමකි. ඔහු ගේ “ෆාදර්ස් ඇන්ඩ් සන්ස්” නවකතාව 19 වැනි සියවසේ ලියැවුණු නවකතා අතරින් විශිෂ්ටතම කෘතියක් ලෙස සැලකේ. කෙසේ වුවද සෙසු සමකාලීන දැවැන්තයන් වූ ෆ්යොදර් දොස්තයෙව්ස්කි හා ලියෝ තොල්ස්තෝයිගෙන් ටර්ගිනිව් වැසී තිබූ බව ද මතයකි.

රුසියාවේ ඔරෙල් පළාතේ ඉඩම් හිමි ධනවත් පවුලක දරුවකු ලෙස ටර්ගිනිව් උපත ලැබීය. ඔහුගේ පියාගේ අභාවයත් සමඟ දේපළ පාලනය මෙන් ම නිවසේ පාලනය ද පැවරුණේ මව වෙතය. ඇය අනුකම්පා‍විරහිත නපුරු ගති ඇති ගැහැනියකි. උඩඟු බවෙන් පිරීගිය ඈ දරු දෛදනා මත පවා සිය ආධිපත්‍ය පැතිරවීය. මවගේ ස්වභාවය ටර්ගිනිව් ගේ ජීවිතයට දැඩි බලපෑමක් ඇති කළේය. ඔහුගේ නිර්මාණවලදී හමුවන ඇය දුෂ්ට, අයුක්ති සහගත, අධිපතිවාදී චරිතයකි. ටර්ගිනිව් අතිදක්ෂ රාජ්‍ය නිලධාරියකු වනු දැකීම මවගේ ආසාවක් විය. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ රැකියාවෙන් ඔහු ඉවත් වූ විට ඇය ඊට අප්‍රසාදය පළ කළේ ඔහුගේ වියදමට ලබා දෙන මුදල් කපා හරිමිනි. සිය අභාවයට මඳ වේලාවකට පෙර ඇය දිනපොතේ ලියා තැබූ සටහනකින් දරු දෙදෙනාගෙන් සමාව අයැද තිබිණි. තම පාපයන්ට දෙවියන් මෙන් ම දරුවන් ද සමාව දෙනු ඇතැයි ඇයගේ අපේක්ෂාව විය. ටර්ගිනිව් තේරුම් ගන්නා අන්දමට මව සම්බන්ධ ඛේදවාචකය නම් ඇය සිය පුතුන් දෙදෙනා තමාට ආදරය දක්වනු ඇතැයි අපේක්ෂා කිරීමය. මවගේ අභාවයෙන් පසු දේපළ නිරවුල් කිරීමත් සමඟ ටර්ගිනිව්ට ඩොලර් 5000 ක පමණ වාර්ෂික ආදායමක් ලැබිණි. එයින් ඔහු කළේ සංචාරයේ යෙදීමයි.

19 හැවිරිදි වියේ සිටියදී ඔහු ජර්මනිය බලා පිටත්ව ගියේ වර්ලිස් සරසවියට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණිනි. මේ ගමනේදී යාත්‍රාව ගින්නකට හසුවූ අතර ටර්ගිනිව් බිය ගුල්ලෙකු විලස ක්‍රියා කළේ යැයි රුසියාවේ ආරංචි පැතිරිණි. මේ සිදුවීම ඔහුගේ ජීවිත කාලය පුරා ම හොල්මන් කළ බව පෙනෙන්නට තිබේ. “අ ෆයර් ඇට් සී” කෘතියට පසුබිම් වුණේ මේ සිදුවීම සහ අත්දැකීම්ය.

සිවිල් සේවයේ යෙදී සිටි සමයේදී මුණගැසුණු යර්ෂියා වය‍ාඩෝ නම් ඔපෙරා ගායිකාවක සමඟ ඔහු ජීවිත කාලය පුරා ම ප්‍රේමයෙන් වෙළී සිටි බව සඳහන් වේ. ඇය විවාහක කාන්තාවක වූ අතර මේ සම්බන්ධය කාමුක එකක් නොවීය. ටර්ගිනිව් ගේ විශිෂ්ටම එහෙත් අසම්පූර්ණ ප්‍රේමය මෙයයි. තරුණ වියේදී ඔහුට සිය සේවිකාවන් සමඟ ප්‍රේම සබඳතා එකක් හෝ දෙකක් තිබී ඇත.

ටර්ගිනිව් ප්‍රංසයේ ජීවත් වූ සමයේදී ඔහු ලිවීමට දැඩි ලෙස උනන්දු විය. මේ කාලයේදී පළවූ “අ ස්පෝර්මිස්මන්ස් ස්කෙචස්” නම් කෙටිකතා සංග්‍රහය ඔහුට කීර්තිය රැගෙන ආවේය. ඔහු දැඩි ලෙස දඩයමට ප්‍රිය කළ අයෙක් විය. එම කෙටි කතාවලටද ඔහු ලැබූ එවැනි අත්දැකීම් පාදක වී තිබේ.

ටර්ගිනිව් රුසියාවෙන් නික්ම පැරසිය බලා පිටත්ව ගියේ ද මේ වකවානුවේය. දෙවසරකට ආසන්න කාලයක් ඔහු එහි ජීවත් වූයේ වයාඩෝට අයත් නිවෙසකයි. 1850 දී ඔහු ආපසු රුසියාවට පැමිණෙන විට දොස්තයෙව්ස්කි සයිබීරියාවට පිටුවහල්කොට තිබූ අතර බෙලින්ස්කි ජීවිතයෙන් සමුගෙන තිබිණි. මෑතක නික්ම ගිය ගොගොල්ට ප්‍රණාමයක් ලෙස “අ ස්පෝට්ස්මන්ස් ස්කෙචස්” කෘතිය සැලකිණි. එය ටර්ගිනිව් අත්අඩංගුවට ගැනීමට හේතුව වශයෙන් ප්‍රකාශ විය. ඔහු කෙටි කලක් අත්අඩංගුවේ ද තවත් දෙවසරක් පොලිසියේ සුපරීක්ෂාව යටතේ ද තැබීමට ක්‍රියා කෙරිණි. මේ කාලයේ ද ඔහු ලිවීම නතර කළේ නැත. ක්‍රිමියානු යුද්ධය නිමාවීමත් සමඟ නැවතත් බටහිර යුරෝපයට යෑමට ඔහුට අවස්ථාව උදා විය. එම ගමන්වලදී ඔහු ගෞරවයට පාත්‍රවූයේ අග්‍රගණ්‍ය රුසියානු ලේඛකයා වශයෙනි.

බර්ලිනයේ අධ්‍යාපනය ලැබූ සමයේ ඔහු කල්පනා කළේ රුසියාව බටහිරකරණයට ලක්විය යුතු බවය. දොස්තයෙව්ස්කි සහ තොල්ස්තෝයි මෙන් ම ටර්ගිනිව් ද ආගමික කාරණා ගැන සැලකිල්ලක් නොදැක්වූ තරම්ය. ඔහු නියෝජනය කළේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සමාජීය පාර්ශ්වයයි. 1855 දී ටර්ගිනිව්ට තොල්ස්තෝයි මුණගැසිණ. ඒ වනවිට ර්ගිනිව් ප්‍රකට ලේඛකයකුව සිටි නමුත් තෝල්ස්තෝයි ලේඛකයකු ලෙස ප්‍රකටව නොසිටියේය. එහෙත් ඔහුගේ ලේඛන කාර්යය ගැන ටර්ගිනිව් තුළ පිළිගැනීමක් තිබිණි. තොලස්්තෝයි ශ්‍රේෂ්ඨ ලේඛකයකු වනු ඇතැයි ටර්ගිනිව් තොල්ස්තෝයිගේ සොයුරියට ලියා දැන්වූයේය. තෝල්ස්තෝයි සහ ටර්ගිනිව් අතර ගොඩනැඟුණු මිත්‍රත්වය ඔවුන්ගේ පවුල් අතරට ද විහිදුණු අතර ජීවන කාලය පුරාවට ම පැවැතිණි.

ටර්ගිනිව්ගේ නිර්මාණවල ප්‍රේමයේ සුන්දරත්වය මෙන් ම තාරුණ්‍යය කේන්ද්‍රීය තේමා බවට පත්විය. ඒවා ඔස්සේ සිය සිහින සැබෑ කර ගැනීමට නොහැකි වූවෙක් ද මතුවිය. ඒ අන් කිසිවකුත් නොව ඔහුමය. ඔහුට සැබෑ කරගත නොහැකි වූයේ යර්ෂියා කෙරෙහි ජීවිත කාලය පුරාවට ම පැවැති දැඩි ආශාවය.

වර්ෂ 1862 දී ප්‍රකාශයට පත්වූ “ෆාදර්ස් ඇන්ඩ් සන්ස්” නවකතාව 19 වැනි සියවසේ නාස්තිකවාදී අදහස් දැරුවකු පිළිබඳ සම්භාව්‍ය චිත්‍රයක් පිළිබිඹු කරන්නේ යැයි සැලකේ. “නාස්තිකවාදියා” ය න යෙදුම මුලින් ම හඳුන්වා දුන්නේ ද ටර්ගිනිව් ය. මේ කෘතියේ කතා නායකයා එව්ජිනි බෂරොව් නම් තරුණ වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහුගේ මුවේ නිතර රැඳුණු “මං කාගෙවත් අදහස්වල හවුල්කාරයෙක් නෙවෙයි, මට මගේ ම අදහස් තියෙනවා” යන්න ටර්ගිනිව් ජීවිතයේ කේන්ද්‍රීය සාධකයක් විය. කෙසේ වුවද “ෆාදර්ස් ඇන්ඩ් සන්ස්” කෘතිය අසාර්ථක විණි. එය රුසියාවෙන් නික්මීමට ඔහු පෙළඹවූ අතර පළමුව ජර්මනියට ද අනතුරුව ලන්ඩනයට ද ගියේ ය. ලන්ඩනයේදී ඊට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. ඉන් පසු ඔහු පැරීසිය බලා ගිය අතර ජීවිතයෙන් සමුගන්නා තෙක් ම එහි ගත කළේය. ප්‍රංසයේ ජීවත් වූ අවදියේදී ප්‍රංස ලේඛක ගුස්ට‍ාව් ෆ්ලොබෙයා සහ ඔහු සමීප මිතුරන් බවට ද පත්වූහ.

මේ ශ්‍රේෂ්ඨ නවකතාකරුවා, කවියා කිසිදු සරසවියකින් උපාධි ලබා නැතත් 1879 දී ඔක්ස්ෆර්ඩ් සරසවිය ඔහුට සිවිල් නීතිය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමමින් ප්‍රණාම දැක්වීය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.