ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාවයි | සිළුමිණ

ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාවයි

 ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික මෙන්ම ප්‍රවර්ධන කේන්ද්‍රස්ථානය බවට පත් වීමට සුදුසුම ස්ථානය ශ්‍රී ලංකාව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

' අපගේ නගරය, අපේ අනාගතය: තිරසාර සංවර්ධනය සඳහා දේශීය විසඳුම් බෙදා දීම ' තේමාව කර ගනිමින් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති '2017 සිටිනෙට් කොළඹ කොංග්‍රසය' නිල වශයෙන් විවෘත කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

2050 වසර වන විට ඉහළ ආදායම් මට්ටමේ ජනගහනය අවම වශයෙන් මිලියන 500 කින් වර්ධනය වනු ඇති බවට විශ්වාස කෙරෙන අතර ඒ අනුව ඉන්දියානු සාගරයේ ආර්ථික මෙන්ම ප්‍රවර්ධන කේන්ද්‍රස්ථානය බවට පත් වීමට සුදුසුම ස්ථානය ශ්‍රී ලංකාව බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා අවධාරණය කර සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මූලිකත්වයෙන් පිහිටුවූ වත්මන් රජය සීග්‍ර ආර්ථික වර්ධනයක් රට තුළ ඈති කිරීම සදහා කැප වී සිටින බවයි. 2050 වසර වන විට මෙරට ඉහළ ආදායම් මට්ටමේ ජනගහනය අවම වශයෙන් මිලියන 500 කින් වර්ධනය වනු ඇති බවට විශ්වාස කෙරෙන බවද ඒ අනුව තම රජය ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සදහා වන මූලික සැළසුම් සියල්ල මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවද අගමැතිවරයා සඳහන් කළේය.

ඔහු මේ අදහස් ප්‍රකාශයට පත් කරන ලද සිටිනෙට් කොංග්‍රසය 1987 වසරේ ආරම්භ වූ සමුළුවක් වන ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයකු සහ කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරයි. 2017 සිටිනෙට් කොංග්‍රසයේ සත්කාරකත්වය කොළඹ මහ නගර සභාව සිදු කළ අතර ආසියා පැසිෆින් කලාපයේ රටවල් 22ක නගරාධිපතිවරුන් සහ උප නගරාධිපතිවරුන් ඇතුළු නියෝජිතයින් 138කට වැඩි වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ මෙවර සමුළුවේ සභාපතිත්වය දැරුවේ දකුණු කොරියාවේ සෝල් නගරයයි. සිව් වසරකට වරක් පැවැත්වෙන මෙම කොංග්‍රසය 2017 වසරේ දී සිය 30 වැනි සංවත්සරය සෑමරීමද විශේෂත්වයකි.

'2017 සිටිනෙට් කොළඹ කොංග්‍රසය' විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. මෙවර සිටිනෙට් සමුළුව කොළඹ දී පැවැත්වීම හා සත්කාරකත්වය පිරිනැමීමට හැකි වීම පිළිබඳ සතුටට පත්වෙනවා. අවාසනාවට මේ වන විට පළාත් පාලන මැතිවරණ සඳහා සූදානම් වන බැවින් අප රටේ පළාත් පාලන ආයතන දැනට ක්‍රියාත්මක වන්නේ නෑ. කොහොම වුණත් ලබන වසරේ ජනවාරි මාසය අවසානයේ දී එම පළාත් පාලන ආයතන සඳහා සාමාජිකයින් තෝරා පත් කර ගෙන ඒවායේ මෙහෙයුම් ආරම්භ කෙරෙනවා. කෙසේ වෙතත් අපට හැකියාව තිබෙනවා කොළඹ නගරය හා අනෙකුත් නගර වල ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීමට.

ආසියාවේ ආර්ථික වර්ධනයත් සමග නගර වල එකතුව එම වර්ධනයට බල පෑ අයුරු පසුගිය දශක දෙක තුන ඇතුළත අපට දක්නට ලැබෙනවා. ඉන්දියන් සාගරයේත් පැසිෆික් කලාපයේත් ආසියාවේ සියලු කොටස් වල රටාව මෙයයි. නාගරිකරණය ආර්ථිකයට බලපාන්නේ කෙසේදැයි අප විමසා බැලිය යුතුයි. එමෙන්ම ඒ සඳහා වඩාත් අවශ්‍ය සම්පත් දායකත්වය ලැබෙන අයුරු පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත්. ඒ අතර එහිදී එන අභියෝග වලට මුහුණ දීම, සංරක්ෂණය ආදී කරුණුවලට ඔබ අප ප්‍රමුඛත්වය ලබා දෙනවා දැයි විමසා බැලිය යුතුයි.

තිරසර සංවර්ධනයේ දී කිසියම් රාමුවක් තුළ කටයුතු කිරීමට අප සියලු දෙනාට සිදු වෙනවා. මේ සෑම දේ අපගේ අත්දැකීම්. ස්වභාවික ව්‍යසනවලට අමතරව බලාපොරොත්තු නොවූ ව්‍යසන වලට ඔබගේ නගරය මුහුණ දිය හැකියි. අපගේ අත්දැකීම් වලට අනුව මේ සියලු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි.

ශ්‍රී ලංකාවට හොඳම වරාය නගරය තිබෙනවා. එය රටේ බස්නාහිර සහ වයඹ ප්‍රධාන නගර සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර තිබෙනවා. කොළඹ සිට මෑතකදී විවෘත කළ හම්බන්තොට වරාය දෙසට පුළුල් මාර්ග විවෘත වෙනවා. ඒ මාර්ග යටිතල පහසුකම් සැපයීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට සිට කොළඹ දක්වා දිවෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඊට සම්බන්ධ වෙනවා. මෙම මාර්ග ජාලය මගින් කොළඹ සහ හම්බන්තොට වරාය දෙක සම්බන්ධ වනවා. එසේම කටුනායක සහ හම්බන්තොට ගුවන් තොටුපොළ දෙක සම්බන්ධ කෙරෙනවා. ඊට අමතරව මෙම ජාලයේ කේන්ද්‍රස්ථානයක් ලෙස මහනුවර නගරය සම්බන්ධ වෙනවා. කොළඹ කර්මාන්ත කේන්ද්‍රස්ථානය බවටත් හම්බන්තොට ප්‍රධාන කාර්මික සහ ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ලෙසටත් වැඩි දියුණු කරනවා. ඒ අතර විශාල සංචාරක සහ තොරතුරු තාක්ෂණ ප්‍රදේශයක් ලෙස මහනුවර දියුණු කිරීම අපගේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවෙන් 30%-35% ක් පමණ මෙම කේන්ද්‍රස්ථාන වලට අයත් වෙනවා.

මෙම සැලැස්ම අනුව සම්පූර්ණ බස්නාහිර ප්‍රදේශය මහනගර සංවර්ධන සැලැස්ම යටතේ විශාලතම නාගරීකරණ ප්‍රදේශය බවට පත් කිරීමට කටයුතු කරනවා. මෙහිදී දේශපාලන මෙන්ම මූලික ගැටළු රැසකට මුහුණ දීමට සිදු වෙනවා. මෙය එක ප්‍රධාන නගරයක් කිරීමේ අරමුණින් සිදු වන්නේ නෑ. සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එනම් අධ්‍යාපන, ප්‍රවාහන, පරිසර, සෞඛ්‍ය ආදි ක්ෂේත්‍ර ‍ආවරණය වන ආකාරයටයි යෝජිත මහනගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ.

මෙහිදී අපට දැකිය හැකි හා අප ආරම්භ කරන දේ වලට අදාළ යටිතල පහසුකම් සේවා එනම් ජල සැපයුම, ඉන්ධන වැනි සියලුම සැපයුම් හා සේවා පිළිබඳව අවධානය යොමු වෙනවා. මෙම යටිතල පහසුකම් සඳහා පොදු වේදිකාවක් ඇති කිරීම තුළින් පොදු සැකසුමකට යා හැකි වනවා. ඔවුන් දිනපතා සාකච්ඡා මර්ගයෙන් එම අවශ්‍යවතා සඳහා වන ගැටලු නිරාකරණය කර ගත හැකියි. පළාත් පාලන ආයතන සහ රජය අතර සම්බන්ධතාව මෙහි සාර්ථකත්වය කෙරෙහි අනිවාර්යයෙන්ම බලපානවා. මෙහිදී පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා. සාකච්ඡා තීන්දු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ කාර්යභාරය ඉතා වැදගත්.

මෙවර පැවැත්වුණු සිටිනෙට් සමුළුවේදී ආසියා පැසිපික් කලාපය තුළ පිහිටි නගරවල නගර පාලන කටයුතු වලට විසදුම් ලබා දීම සම්බන්ධයෙන් තේමාවන් රැසක් ඔස්සේ විවිධ සැසි පැවැත්වුණි. මෙම අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතාද සහභාගී වුණු අතර ඔහු කොළඔ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේදී නගර පාලනයට ලබා දුන් විසදූම් සම්බන්ධව ඉදිරිපත් තළ අදහස් මෙම සමුළුවට සහභාගී වුණු විවිධ රටවල නගරාධිපතිවරුන් ඇතුළු පළාත් පාළන ආයතන ප්‍රධානීන්ගේ විශේෂ අවධානයට ලක් වුණි.

චන්දිමා එදිරිමාන්න
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.