ගම් වැව් නම් ගම් | සිළුමිණ

ගම් වැව් නම් ගම්

 වියළි කලාපයේ බැඳ ඇති වැව්වලට විවිධාකාර නම් භාවිතා කෙරේ. වැව් බැඳීමට අණ දුන් හෝ වැව් බැඳීමේ කටයුතු එක එල්ලේම මෙහෙයවූ රජවරුන්ද රාජ කුමාරිකාවුන් ද ඇමතිවරුන්ද සෙසු රාජ පුරුෂයින්ද තම තමන්ගේම නම් තබා ඇති වැව් බොහෝය. ඒ ඉහළ පන්තිවල උදවියගේ නම්වලින් පමණක් නොව සාමාන්‍ය වැසියන් විසින් බඳින ලද වැව් වලට ඔවුන්ගේද නම් යොදාගැනීමට පෙර දවස අවසර දී තිබිණ. කුළු මී හරකුන් අල්වා හීලෑ කිරීමට පුරුදුව සිටි "මරිකාරයකු" බැඳි වැව "මරිකාරයාගම" විණි.

සත්ත්වයින්ගේ චර්යා සැලකිල්ලට ගෙනද වැව් බැඳ ඒවා නම්කොට තිබේ. ගෝමරයින් (අලීන්) ආ කඩවළක් නැතහොත් වෑකන්දක් බිඳී යෑමෙන් හෑරී සෑදුණු දියවළක් යළි වසා බැඳ දමා ඇති වැව ගෝමරයන්කඩවල ය. ඌරා පීනූ දියවල පසුව ඌරාපීනුවැව විය. කුළු මී හරකුන් නිතර දිය බීමට පැමිණි වතුර වළ කුළුමීවාකඩ වශයෙනුත් පෙතියන් යන මත්ස්‍ය වර්ගය රංචු පිටින් පීනා ගිය දිය පාර හරස් කොට බැඳි වැව පෙතියන්නේකඩ වශයෙනුත් හැඳින්විණි. කොක් පැටියකු තනිවී සිටි දියවලක් පසුව වැවක් වශයෙන් විශාල කොට බැඳ දමා ඊට කොක්පැටියා යයි නම් කළ බැව්ද ජනප්‍රවාදයෙහි එන්නකි.

රජු සහ රාජපුරුෂයින් විසින් වන සතුන් දඩයම් කිරීමේදී දඩයම් කළ සත්ත්වයිනට අත්වූ ඉරණම් සිහිකිරීමට බැඳි වැව්ද වෙත්. ගෝනුමැරියාව ඉන් එකකි. එසේම දඩයම් කාර්යයම දනවන වැව් අතර වලහාවිද්දවැව, ඊතල්විද්දවැව, ඊතල්වැටුණුවැව සහ දුන්නබැඳුණුවැව යනාදී නම්ද වෙත්.

ඇත්තවශයෙන්ම වියළි කලාපයේ වැඩිම වැව් ප්‍රමාණයකට යොදා ඇත්තේ ගස්වල නම්ය. අසීමිත වැව් සංඛ්‍යාවක් කුඹුක්වැව් ය. එසේම එකම වර්ගයකම ගස් බහුලවම පැවති තැන්වල ඒ ගස් සමූහයම දැනවෙන පරිදි ඇටවීරගොල්ලෑව, තඹලගොල්ලෑව, පිහිඹියගොල්ලෑව, ගල්වීරගොල්ලෑව, පළුගොල්ලෑව, තරණගොල්ලෑව ආදී වශයෙන් නම් කොට තිබේ. ගොල්ලෑවට "කැටිය" යයි කියූ හෙයින් වේවැල් බහුලවම වැවුණු පෙදෙසක බැඳි වැව "වේවැල් කැටිය" විය.

තවත් සමහර අවස්ථාවලදී වැවක් බැඳීමට පස් කැපීමේදී මතුවූ දුරාතීත පුරාවස්තු මෙන්ම ගල් කැටයම් ඇසුරෙන්ද වැව් ගම් නම්කර ඇත. පසට යටවී තුබූ රන් හැන්දක් මතුවූ තැන මුලින්ම රන්හැඳිගම වුවද කාලයාගේ ඇවෑමෙන් ඇතිවූ උච්චාරණ වෙනස නිසා අද එය කංහිඳිගම වී තිබේ. ඉරෙහි සහ හඳෙහි ලාංඡන කොටා තිබී ගලක් මතුවූ තැන බැඳි වැව හඳුන්වා ඇත්තේ ඉරහඳ කෙටූ වැව වශයෙනි. යක්ෂ ගෝත්‍රිකයින් විසින් ඉදිකරන ලදැයි සැලකෙන මැදවච්චිය අසල වැවක් හඳුන්වා ඇත්තේ යකාවැව වශයෙනි.

ජනප්‍රවාදයෙන් විද්‍යාත්මක පදනමකට

ඉහත සඳහන් කළ, අපට කිතිකැවෙන ගම් නම් ගැන සැහැල්ලුවෙන් සිතා සිටීමට වඩා එල්ලංගානුගත සමහර වැව්වලට යොදා ඇති භූ-විෂමතානුගත මෙන්ම ජල විද්‍යානුගත නම්වලට අප විසින් විශේෂතම අවධාරණයක් දිය යුතුව ඇත. එල්ලංගානුගත භූ-විෂමතාවයට සහ ජලවිද්‍යාවට අනුගතව බැඳි වැව් නම් ඇතැයි සඳහන් කළවිට ඔබ පුදුමයට පත්විය හැකිය. පරිපූර්ණ භූ-විද්‍යාත්මක මෙන්ම ජල විද්‍යාත්මක දැනුම සහිතවූ අතිත වාරි ඉංජිනේරුවරු වැව් ඉදිකළ බවට සැකයක් නොමැත්තේ වැව් ස්ථාන ගත කිරීමේදී ඔවුන් විසින් නිරවද්‍යව දක්වා ඇති කුසලතා සලකා බලන විටය.

අද අපි එල්ලංගාවක අවයව වශයෙන් සලකන මුදුන්න (summit), දිය බෙත්ම (watershed), මුදුන් ඇළ (axis stream), උඩාවත (upstream end), යටාවත (down stream), නිම්නපතුල (keel), දෑලවර (two main valley side slopes) සහ දෑලවර දියපාරවල් (side slope water paths) නැතහොත් දිය ඇල්ලවල් ආදියට අතීතයේදී කුමන නම් භාවිතා කළද හැකිතාක් දුරට එම එල්ලංගානුගත අවයව උපරිම අයුරින් ප්‍රයෝජනයට ගනිමින් වැව් ස්ථානගතකොට ඇති බැව් පෙනේ.

දෙණිය යනු එල්ලංගාවක ඉතා සූක්ෂ්ම නිම්නයකි (micro valley). මේවා හරස්කොට බැඳ ඇති වැව් වලට අද උපුල්දෙණිය, තෝරදෙණිය යන නම් භාවිතා කෙරේ. මේ ගම් අනාදිමත් කාලයක සිට පැවත එන ඒවාය. ඒවාට එදා මේ නම්ම භාවිතා කෙළේද එසේත් නැතිනම් වෙනත් නම් භාවිත කෙළේදැයි අපට හරි හැටිවම කිව නොහැකිය. නම් කිනම් ඒවා වුවත් ඒ වැව් ක්ෂුද්‍ර නිම්න හරහා බැඳ තිබීමේ සැකයක් නම් නොමැත.

එල්ලංගාවක උසම ස්ථාන (summit) ආසන්නව තරමක් බෑවුම් පෙදෙස්වල බැඳ ඇති වැව්වල උන්නතාංශය දනවමින් ඉහළගම, මුදුන්නේගම, කන්දේගම, ගල්කන්දේගම, උඩුගම, උඩගම සහ උඩංගාව යන නම් භාවිතා කර තිබීම සුවිශේෂිතය.

එල්ලංගාවක උඩාවතේම නැතිනම් මුදුන්නේ සිට නිම්න පතුල (keel) හරහා බැඳ ඇති වැව්වල, සමහරවිට මුදුන්න ආසන්නයේම වූ වැවක් හෝ වැව් දෙකක් හෝ හැර සෙසු වැව් ක්‍රමයෙන් විශාලවන ගම්වැව්ය. ඉඳහිට එල්ලංගාවක දෑලවරින් මුදුන් ඇළට (axis stream) කෙළින්ම හෝ මුදුන් ඇළ හරහා බැඳ ඇති වැව්වලට හෝ බස්නා දිය පාරවල් හරස්කොට බැඳ ඇති පුංචි වැව් හඳුන්වන්නේ ඔලගම් වැව් වශයෙනි. සාමාන්‍යයෙන් මේ කුඩා වැව් වැඩිමහළු සහෝදරයකු පෝෂණය කරන කුඩා සහෝදර පිරිසක් මෙන් මහ වැවක් පෝෂණය කෙරුවද භූ-විෂමතා අවහිරයක් නොමැතිනම් ඒ කියන්නේ ලොකු සහෝදර වැවේ මට්ටමට පහත මට්ටම්වල එම පුංචි සහෝදර වැව් ඇත්නම් ඒවා වැඩිමහල් සහෝදර වැවකින් පෝෂණය කෙරෙන තැන්ද වෙත්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වත්මන් රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කපිරිග්ගම මහ වැවෙන් පැණිකෑව සහ අන්දරවැව ඉහත කාලයකදී පෝෂණය වූයේ මේ ආකාරයටය.

සමහර අවස්ථාවදී එල්ලංගාවක එක් ඇළවරකින් එහි මුදුන් ඇලට හෝ මුදුන් ඇළේ වැවකට තාවකාලිකවුවද තරමක් වේගයෙන් ඇල්ලක මෙන් දිය බස්නාවක් හරහා බැඳ ඇති වැවක් ඇල්ලේවැව (නැතහොත් ඇල්ලවැව) වශයෙන් හඳුන්වන වැව්ද ඇත.

මහ කනදරාවේ වැවට එතරම්ම නොදුරෙන් පිහිටි මහපොතාන වැව, පොතාන වශයෙන් හැඳින්වෙන විශාල තැනිතලා ප්‍රදේශයක බැඳ ඇති වැවකි. සමහර පටු ක්ෂුද්‍ර නිම්න හරහා බැඳ ඇති වැවක වෑකන්දේ සිට උඩාවතට බොහෝ දුරක් යනතෙක් දිවක් මෙන් දික් කෙරෙන ජල ගිලුමක් පැරැණියන් විසින් හඳුන්වා දී ඇත්තේ ”දිගිලිය” යනුවෙනි. කහටගස්දිගිලිය එවැන්නකි.

එල්ලංගාවල භූ-විෂමතා මෙන්ම ඒවාහි ජලාපවහනය ගැන මේ දක්වාම අපි ලබා ඇත්තේ අවම දැනුමකි. අපට ඇති මේ ඡායා මාත්‍ර දැනුම වඩවඩාත් පර්යේෂණවලට භාජනයකොට එල්ලංගානුවල ජලාපවහනගතව වැව් ස්ථාන ගත කිරීමේ පෙර පැවති විද්‍යාත්මක දැනුම් ප්‍රතිවර්ධනය කරගත යුතුවම තිබේ. එම දැනුම් ප්‍රතිවර්ධනය අනාගතයේදී සමස්ත එල්ලංගානුගත සංවර්ධනය කිරීම් සඳහා මහෝපකාරී වනු ඇත.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.