රස ගෙන දී කුස පුරවන නිශා යම රැජන | සිළුමිණ

රස ගෙන දී කුස පුරවන නිශා යම රැජන

 නිරෝගී දිවි පැවත්මක් උදෙසා පලතුරු ආහාරයට එක් කර ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි.එහෙයින්ම පලතුරු සඳහා ලොව පුරා ඇත්තේ ඉහළ ඉල්ලුමකි.අඹ ,කෙසෙල් ,අලිගැටපේර ආදී පලතුරු සාමාන්‍ය භාවිතයේ ඇති ප්‍රකට එ්වා.එහෙත් මේ වනවිට දෙස් විදෙස් වෙළෙඳපොළහි ශීඝ්‍රයෙන් ප්‍රචලිත වන පලතුරක් ලෙස ඩ්‍රැගන් පෘට් හැඳින්විය හැකිය.මෙය අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයකි.කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් ආකර්ෂණීයම පලතුර හිමි ශාකය මෙන්ම මෙහි හටගන්නා පුෂ්පය "රාත්‍රියේ රැජන"ලෙසද හඳුන්වනු ලබන්නේ එහි ඇති සුන්දරත්වය නිසාමය.මෙයට ඇත්තේ බාහිර ආකර්ෂණයක් පමණක්ම නොව ආකර්ෂණීය මිලක්ද වෙළෙඳපොළ තුළ පවතී.පෝෂණ ගුණයද ඉහළය.මෙය වගාකරුවන්ට ඉක්මන් ප්‍රතිලාභ ලැබිය හැකි වගාවකි.හිතකර වගා තත්ත්ව යටතේදී සිටුවා වසර දෙකකින් පමණ ඵලදාව ලබා ගත හැකි අතර සිටුවා පස් වසරක් ඇතුළතදී උපරිම ඵලදාවකට හිමිකම් කිව හැකිය. පතොක් කුලයේ ශාකයක් නිසා එය නියඟයට වුවද මැනවින් ඔරොත්තු දෙන අතර අවම පාංශු ගුණාත්මක තත්ව යටතේ වුවද නොනැසී පවතී. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ අතිරේක ජල සම්පාදනය යටතේ මෙන්ම පහතරට තෙත් කලාපයේත්, අතරමැදි කලාපයේත් වගා කළ හැකිය.එමෙන්ම කෘෂි වන වගා පද්ධති සඳහාද හඳුන්වා දිය හැකි ධන උත්පාදක ශාකයකි.තවද ලවණ පසට මෙන්ම වැලි සහිත පසට ඔරොත්තු දීමේ හැකියාව නිසා මෙරට වෙරලබඩ ප්‍රදේශ ආශ්‍රිතව වගා කිරීමේ විභවයක්ද පවතී.

 පස සහ දේශගුණය.

විවිධාකාර පාංශු තත්ත්ව යටතේ ඩ්‍රැගන් පෘට් වගා කළ හැකිය.එහෙත් හොඳින් ජල වහනය වන පසක් තිබීම අත්‍යවශ්‍ය වේ. වඩාත් යෝග්‍ය වන්නේ කාබනික ද්‍රව්‍ය පොහොසත් ලෝම පසයි.සුදුසු උෂ්ණත්වය වන්නේ සෙල්සියස් 20-30ක පරාසයක් වන අතර වසරකට මිලිමීටර් 500-2000 ක වර්ෂාපතනයක් යටතේදී ඩ්‍රැගන් පෘට් හොඳින් වගා කළ හැකිය.එමෙන්ම අධික වර්ෂාපතනයකට හසු වීමෙන්

පුෂ්ප බිම වැටීමත් පලතුරු කුණු වීමත් දැකිය හැකිය.පැහැදිලි වියළි හා තෙත් දේශගුණික තත්ත්ව මාරුවෙන් මාරුවට තිබීම ඩ්‍රැගන් පෘට් වගාව සඳහා වඩාත් සුදුසුය.

 රෝපණ ද්‍රව්‍ය සහ පැළ සිටුවීම.

බීජ හෝ දඬු කැබලි මඟින් පැළ ලබා ගත හැකිය.මේ අතරින් වානිජ වගාවකට වඩාත් සුදුසු දඬු කැබලි මගින් පැළ ලබා ගැනීමයි. මන්ද එය ලාබදායි මෙන්ම පහසුම ක්‍රමය වන අතර ලබෙන පැළ මවු ශාකයට සමාන ලක්ෂණයවලින් යුක්ත වේ.උසස් ලක්ෂණ සහිත මවු ශාකයකින් ලබා ගන්නා සෙ.මී. 15 - 20 පමණ දිග නීරෝගී දඬු කැබලි සිටුවීමට ප්‍රථම දිලීරනාශක ප්‍රතිකාරකයක් සිදුකිරීමෙන් අනතුරුව සිසිල් වියළි ස්ථානයක දින 5-7ක් තබා සිටුවීමෙන් පසුකාලීනව ඇති විය හැකි දිලීර රෝග ඇති වීම වලක්වාලීමට හැකිය. වියළි ගොම : මතුපිට පස් : වැලි : 1 : 1 : 2 අනුපාතයෙන් සැකසූ මිශ්‍රණයක් සහිත හොඳින් ජලවහනය වන බඳුනක සිටුවීම කළ යුතුය. මේ බඳුන් සෙවණේ තැබීමෙන් දඬු කැබලිවල මුල් අද්දවා අනතුරුව අතු රිකිලි ආපසු පැළ දැඩි කිරීමෙන් එනම් ක්ෂේත්‍රයේ දී පරිසර තත්ත්වයන්ට හුරු කිරීමෙන් පසුව පැළ සිටුවිය යුතුය.මෙහිදී පැළ සිටුවීම සඳහා සෙ.මී. 60 x 60 x 60 ප්‍රමාණයට වළවල් කපා ගත යුතුය.පැළ අතර පරතරය මීටර් 2 x 2 වීම වඩා යෝග්‍ය වේ.පසට කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 10ක් පමණ එක් කිරීමත් වැදගත්‍ ය .කුඩා ගඩොල් කැබලි එක් කිරීමෙන් ජල වහනය දුර්වල පසක් වුවද වගාවට යෝග්‍ය පරිදි වැඩිදියුණු කරගත හැකිය.

 පැළ නඩත්තුව සහ පුහුණු කිරීම

මේ ශාකය වැඩීම සඳහා අධාරකයක් අත්‍යවශ්‍ය වේ. එහෙයින් පැළය ආසන්නයේ 5' - 6' උස ආධාරකයක් සිටුවිය යුතුය. මේ සඳහා කොන්ක්‍රීට් කනු භාවිත කළ හැකිය.පසුව කඳ වැඩීමේදී කඳ සහ ආධාරකය එකිනෙකට ගැට ගසමින් ශාකය ඉහළට නැගීමට උපකාර කළ යුතුය.පාර්ශ්වික කඳන් සීමා කල යුතුය. ආධාරයකයට වඩා ශාකය උස් වන අවස්ථාවලදී ශාකය සමතුලිතව පවත්වා ගැනීමට ආධාරයකයට ඉහළින් රවුමක් ලෙස සැකසූ කම්බි ආධාරකයක් තැබීමෙන් අමතර කඳන් එයින් එල්ලා වැටීමට සැලැස්විය හැකිය.පලිබෝධහානිය බෙහෙවින් අල්පය.වවුලන් මීයන් පලතුරු මැස්සන් ආදී පලතුරු වගාවේ පොදු සතුරන්ගේ හානි පැමිණියද එවා පහසුවෙන් යාන්ත්‍රික ක්‍රම මඟින් මඟහරවාගත හැකිය.වල්පැළවලින් තොරව ක්ෂේත්‍රය පවත්වා ගැනීමත් වැදගත් වේ.

 අස්වැන්න නෙළීම සහ ගබඩා කිරීම.

ඩ්‍රැගන් පෘට් ක්ලයිමෙක්ටේරික් නොවන කාණ්ඩයේ පලතුරකි.එහෙයින් සුදුසුම අවදියේදී නෙළීම කළ යුතුය. සුදුසුම කාලය නම් මල් පොහොට්ටු හටගෙන දින 40-50 පමණ ගතවූ විටදීය.සාමාන්‍යයෙන් ජූලි සිට දෙසැම්බර් අතර කාලයේදී අස්වැන්න නෙළීම සිදුකෙරේ.

නෙළීමට සුදුසු කාලය ඉක්මවා නෙළන පලතුරු වල ජීව කාලය අඩු අතර ඉක්මනින් කුණු වේ.එමනිසරැගන් පෘට් ආශ්‍රිත නිෂ්පාදන

වෙළෙඳපොළ වටිනාකම ප්‍රධාන වශයෙන් ඇත්තේ මෙහි ඵලයටයි .නැවුම් පලතුරක් ලෙස කෙළින්ම ඉදුණු ඵලය ආහාරයට ගත හැකිය.එය සීත කර අහාරයට ගැනීමෙන් එහි රසය තවත් වැඩි වේ.එමෙන්ම මල්පොහොට්ටු පිස ව්‍යාංජනයක් ලෙසද ආහාරයට ගත හැකිය.

තවද ජෑම් , බීම වර්ග ,යෝගට් , ජෙලි, සිරප් වර්ග ආදීය සෑදීමට යොදා ගනිති. අවන්හල් වල පලතුරු සලාද සඳහාත් විශේෂ ආකරයේ පිට්සා වර්ග පිසීමටත් යොදාගැනීමේ ප්‍රවණතාවක් පවතී.එමෙන්ම මැලේසියාවේ විශේෂ වයින් වර්ග නිෂ්පාදනයටද ඩ්‍රැගන් පෘට් භාවිතය කෙරේ.රතු සහ රෝස පැහැති ඩ්‍රැගන් පෘට් ප්‍රභේදයන් අහාර වර්ණක ලෙසද යොදා ගැනේ. එමෙන්ම මෙහි බාහිර ආකර්ෂණීයත්වය හේතුවෙන් විසිතුරු ශාකයක් ලෙසද ඉල්ලුමක් පවතී.

 බාධක සහ පිළියම්

ප්‍රධාන බාධකය නම් වගාව ආරම්භ කිරීම සඳහා වැඩි මුදලක් ආයෝජනය කිරීමට සිදුවීමයි.

මන්ද ආධාරයක් ලෙස කොන්ක්‍රීට් කණු භාවිතයේදී ඒ සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වේ.එහෙත් වෙනත් පලතුරු බෝග මෙන් නොව ඩ්‍රැගන් පෘට් ඉක්මන් ඵලදාවක් ලබාදෙන අතර එය ඉහළ මිලකට අලෙවි කළ හැකිය.එහෙයින් වැය වන මුදලට වඩා වැඩි ලාබයක් ඉතා ඉක්මනින් නැවත ලබගත හැකිය.

 වෙළෙඳපොළ

මේ සඳහා දේශීයව මෙන්ම විදේශීයව හොඳ වෙළෙඳපොළක් පවතී.

වර්තමානයේ මෙහි ප්‍රධාන සැපයුම්කරු ලෙස වියට්නාමය ප්‍රමුඛස්ථානයේ සිටියි.චීනය ,ජපානය ආදී රටවල් මෙන්ම යුරෝපයේද මේ සඳහා හොඳ ඉල්ලුමක් පවතී.දේශීය වෙළෙඳපොළ තුළ කිලෝග්‍රෑම් එකක් රුපියල් 350ක පමණ මිලකට පහසුවෙන් අලවි කළ හැකිය.එහෙයින් මෙය වගාකරුවන්ට ලාබ ලැබිය හැකි කදිම නිෂ්පාදන අවස්ථාවකි.

උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම පීඨය
රුහුණ විශ්වවිද්‍යාලය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.